ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වූ ඝාතනය කෙරුණු චාලි කර්ක් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට යූටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති එළිමහන් විවාදයක් අතරතුරදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ඔහු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක බලධාරීන් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
මූලික තොරතුරුවලට අනුව වෙඩික්කරු ගොඩනැගිල්ලක වහලය මත සිට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විමර්ශකයෝ සැක පළ කරති.
චාලි කර්ක් යනු කවුද?
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වන චාලි කර්ක්, එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
31 හැවිරිදි වියේ පසු වූ ඔහු දෙදරු පියෙකු වේ.
2012 වසරේදී, 18 හැවිරිදි වියේ පසුවූ චාලී කර්ක්, ලිබරල්වාදයට නැඹුරු අමෙරිකානු විශ්වවිද්‍යාල තුළ කන්සර්වේටිව් පක්ෂයේ දේශපාලන මතවාදය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කළ Turning Point USA ශිෂ්‍ය සංවිධානයේ සමනිර්මාතෘවරයෙකු වෙයි.
මිලියන ගණනක් වූ අනුගාමිකයින් සිටින සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු ලෙස ද චාලි කර්ක් ප්‍රසිද්ධියක් උසුලයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ට්‍රම්ප් ශෝක වෙයි
චාලි කර්ක්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංවේගය පළ කර තිබේ.
"මම චාලිට ස්තූති කිරීමට කැමතියි, ඔහු ඇදහිය නොහැකි පුද්ගලයෙක්, ඔහුගේ ආත්මය, මේ රටට ඔහු දක්වන ආදරය, ඔහු මෙතෙක් නිර්මාණය කර ඇති බලවත් ම තරුණ සංවිධානය ගොඩනැගීම සඳහා පුදුමාකාර කාර්යයක් කර තිබෙනවා," ට්‍රම්ප් පැවසීය.
ජනවාරි මාසයේ වොෂින්ටන්හි පැවති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට ද චාලි කර්ක් සහභාගී වූ අතර, ට්‍රම්ප්ගේ ධූර කාල දෙකෙහිදී ම ඔහු ධවල මන්දිරයට නිතර පැමිණි පුද්ගලයෙකු ද විය.
මේ අතර, චාලි කර්ක්ට ගෞරවය කිරීමක් ලෙස එළඹෙන ඉරිදා පස්වරු 6:00 වන තෙක් ඇමෙරිකානු ධජය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.














