ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් : ඉන්දියාවේ ව්‍යාප්තිය වෙමින් ඇති අංශභාග රෝගී තත්ත්වය ගැන අප දන්නේ කුමක්ද?

An Indian woman in blurred focus holds out a small photo of her daughter who died of Guillain Barre Syndrome during an outbreak in 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මීට පෙර ඉන්දියාවේ ගිලන්-බාරේ සින්ඩ්‍රෝමය පැතිරී ඇති අතර 2019 දී රටේ උතුරු ප්‍රදේශයේ එක් දරුවෙකු මිය ගොස් තිබේ. (සංරක්ෂිත ඡායාරූපය)
    • Author, සුතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු

පසුගිය මාසයේ බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ පාසල් ගුරුවරියක් තම හය හැවිරිදි දරුවා පාසැලෙන් ලබා දෙනු ලබන ගෙදර වැඩ ගැන කලකිරී සිටින ආකාරය දුටුවාය.

"මම සමහර වචන මකලා ඒවා නැවත ලියන්න කියලා එයාට කිව්වා. මම හිතුවේ එයා තරහ වෙලා කියලා. ඒ නිසා තමයි එයා පැන්සල හරියාකාරව අල්ලන්නේ නැත්තේ කියලා." ඇය ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පැවසුවාය.

පැන්සලක් අල්ලා ගැනීමට ඔහු දරන වෙහෙස, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්නායු සෛල වලට පහර දෙන දුර්ලභ ආබාධයක් වන ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් (GBS) හි පළමු රෝග ලක්ෂණය බව ඇය කිසිවිටෙක නොසිතුවාය.

දින කිහිපයක් ඇතුළත, එම පිරිමි දරුවාට ඔහුගේ අත් හෝ කකුල් සෙලවීමට නොහැකිවීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය. ඔහුගේ තත්වය නරක අතට හැරෙන විට, ඔහුට ආහාර ගිලීමට, කතා කිරීමට සහ අවසානයේ හුස්ම ගැනීමේ හැකියාව පවා නැති වූ අතර, ඔක්සිජන් ලබාදීමට ද සිදු විය. ඔහු දැන් සුවය ලබමින් සිටී.

කාර්මික නගර සහ ගම්වලින් සමන්විත අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් වන පූනේ හි ජනවාරි මස මුල සිට වාර්තා වූ ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් (GBS) රෝගීන් 160 දෙනා අතරට මෙම පිරිමි ළමයා ද අයත් වේ. මේ වන සැක සහිත මරණ පහක් වාර්තා වී ඇත. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව දැනට රෝගීන් 48 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර ඉන් 21 දෙනෙකු ඔක්සිජන් පහසුකම් මත පසුවේ. මේ අතර 38 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව සඳහන් වේ.

ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් (GBS) ආරම්භ වන්නේ පාදවල සහ අත්වල ඇතිවන හිරිවැටිමෙන් පසුව මාංශ පේශි දුර්වලතාවය සහ අස්ථි සන්ධි චලනය කිරීමේ අපහසුතා වලින් ය. සාමාන්‍යයෙන් අත් සහ පාද වලින් ආරම්භ වන රෝග ලක්ෂණ සති දෙක හතරක් තුළ නරක අතට හැරේ. සෞඛ්‍ය සේවාවේ බරපතලකම සහ ගුණාත්මකභාවය මත පදනම්ව, වාර්තා කරන ලද මරණ අනුපාතිකය සීයයට 03ත් 13 අතර වෙනස් වේ.

පූනේහි ඇතිවී තිබෙන රෝග ව්‍යාප්තියට කැම්පිලෝබැක්ටර් ජේජුනි නම් බැක්ටීරියාව සම්බන්ධ වී ඇති අතර එය ආහාර මගින් බෝවන ආසාදන සඳහා පොදු හේතුවක් වන අතර ලොව පුරා ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් (GBS) තත්ත්වය සඳහා ප්‍රධාන හේතුවක් වේ. මේ සම්බන්ධයෙන් ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 1990 ගණන්වල චීනයේ ග්‍රාමීය ප්‍රදේශයේ වන අතර, එහිදී බැක්ටීරියාව කුකුළන් තුළ දක්නට ලැබුණු අතර, සෑම මෝසම් කාලයකදීම කුකුල් මස් හෝ තාරා අපද්‍රව්‍ය මගින් දූෂිත වූ ජලයේ ක්‍රීඩා කරන ළමුන් අතර ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් පැතිරීම සිදු විය.

Campylobacter Is A Family Of Curved Gram Negative Bacteria.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පූනේහි ඇතිවී තිබෙන රෝග ව්‍යාප්තියට කැම්පිලෝබැක්ටර් ජේජුනි නම් බැක්ටීරියාව සම්බන්ධය

ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. බැංගලෝර් පදනම් කරගත් ජාතික මානසික සෞඛ්‍ය සහ ස්නායු විද්‍යා ආයතනයේ (NIMHANS) මොනොජිට් ඩෙබ්නාත් සහ මධු නාගප්පා, 2014 සහ 2019 අතර වසර පහක කාලයක් තුළ ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගීන් 150ක් පමණ අධ්‍යයනය කර ඇත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රෝගීන්ගෙන් 79% කට පෙර ආසාදනවල සලකුණු ඇති බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇති අතර කැම්පිලෝබැක්ටර් බැක්ටීරියාව සඳහා සිදුකරන තුන්වන පරීක්ෂණය ධනාත්මක වි තිබේ. සැලකිය යුතු කරුණ නම්, රෝගීන්ගෙන් 65% කට එක් ආසාදනයකට වඩා ඇති අතර, බැක්ටීරියා සහ වෛරස් සංකීර්ණ ආකාරවලින් අන්තර්ක්‍රියා කළ හැකි බවයි.

මෑතකදී, කැම්පිලෝබැක්ටර් බැක්ටීරියාව පැතිරීම ලොව පුරා වාර්තා විය. 2023 පළමු මාස ​​හත තුළ, පේරු හි ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් (GBS) රෝගීන් 200කට අධික සංඛ්‍යාවක් සහ අවම වශයෙන් මරණ හතරක් වාර්තා විය. මෙය ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට සහ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමට රජයට හේතු පාදක විය. සිද්ධීන් වලින් තුනෙන් දෙකක් කැම්පිලෝබැක්ටර් සමඟ සම්බන්ධ වී ඇත.

වඩාත් හොඳ සනීපාරක්ෂාවක් ඇති රටවල, කැම්පිලෝබැක්ටර් බැක්ටීරියාව මගින් අඩු ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති වන අතර, විශේෂඥයින් පවසන පරිදි ශ්වසන ආසාදන ද ඊට විශාල සාධකයක් වේ. රෝගය පැතිරෙන වෙනත් සාධක ද ඇත. උදාහරණයක් ලෙස, 2015 දී, බ්‍රසීලයේ සීකා වෛරසයට සම්බන්ධ ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගීන් පොකුරක් වාර්තා වී තිබුණි. දුර්ලභ වුවද, ඇතැම් එන්නත් මගින් ද ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් ව්‍යාප්තවිය හැකි අතර, 2021 දී, කොවිඩ් එන්නතක් හරහා එක්සත් රාජධානියේ ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගීන් සිය ගණනකට සම්බන්ධ විය.

"කැම්පිලෝබැක්ටර් බැක්ටීරියාව රෝගීන් සිය දහස් ගණනක් ඇති කරයි, එය සෑම විටම පරිසරයේ පවති " ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යා මහාචාර්ය හියු විල්සන් මා හට පැවසීය.

එහෙත්, ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගය ඇති කිරීම පහසු නොවන බව විද්‍යාඥයෝ පවසති.

සීනි ආලේපනයක් සහිත කැම්පිලෝබැක්ටර් බැක්ටීරියා වර්ගයක් ඇති අතර, දුර්ලභ අවස්ථාවන්හිදී, එහි ව්‍යූහය මිනිස් ස්නායු සෛලවල ආලේපනයට සමාන වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය කැම්පිලෝබැක්ටර් බැක්ටීරියාවට පහර දෙන විට, එය වැරදි ලෙස ස්නායු වලට පහර දී ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගී තත්ත්වය ඇති කරයි. මෙය සිදු වන්නේ කැම්පිලෝබැක්ටර් බැක්ටීරියාවෙහි සමහර වික්‍රියා වල ස්නායු සෛල වලට සමාන වැස්මක් ඇති නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය රැවටීමයි. කෙසේ වෙතත්, මෙම වැස්ම ඇත්තේ කැම්පිලෝබැක්ටර් බැක්ටීරියා කුඩා සංඛ්‍යාවක පමණි.

"පූනේහි, මෙම අණුක ලක්ෂණය සහිත කැම්පිලෝබැක්ටර් වික්‍රියාවක් සංසරණය වීමට ඉඩ තිබෙනවා, මෙම වික්‍රියාව සමඟ ආසාදන වැඩිවීම නිසා ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගීන් වැඩි සංඛ්‍යාවක් ඇති වේ," මහාචාර්ය විලිසන් පවසයි.

An employee working at a poultry farm in Koregaon Mul village, some 30 kilometres from the western Indian city of Pune.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පූනේ අසල කුකුළු ගොවිපලක්. ගෝලීය වශයෙන්, ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගීන් බොහොමයක් අවම ලෙස පිසින ලද කුකුළු මස් අනුභව කිරීමට සම්බන්ධ වී ඇත.

බොහෝ විශේෂඥයින් ඇස්තමේන්තු කරන්නේ කැම්පිලෝබැක්ටර් බැක්ටීරියා 100 කින් එකක් පමණ ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් අවදානම දරන බව සහ එවැනි වික්‍රියාවකින් ආසාදිත පුද්ගලයින් 100 දෙනෙකුගෙන් එක් අයෙකුට ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් ඇති වන අතර, සමස්ත අවදානම දළ වශයෙන් 10,000 කින් එකක් බවට පත් කරන බවයි.

මහාචාර්ය විලිසන් විස්තර කරන පරිදි එය පර්යන්ත ස්නායු පද්ධතිය හරහා නැඟී එන "උග්‍ර ස්නායු සුනාමියක්" ඇතිකරවන එකකි. එනම් එය ස්නායු පද්ධති වලට බලවත් ප්‍රහාරයක් එල්ල කරයි. ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මන්දගාමී වූ විට හානිය නතර වන නමුත් ශරීරයට තවදුරටත් හානිය අලුත්වැඩියා කිරීමට කාලය, වෛද්‍ය ප්‍රතිකාර සහ සහාය අවශ්‍ය වේ.

තත්වය වඩාත් නරක අතට හැරෙන්නේ ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් සඳහා ප්‍රතිකාරයක් නොමැති වීමෙනි.

ගිලන්-බාරේ සින්ඩ්‍රෝමය, ශරීරයේ කැම්පිලෝබැක්ටර් බැක්ටීරියාවට එරෙහිව ප්‍රතිදේහ නිපදවයි, නමුත් මෙම ප්‍රතිදේහ ස්නායු වලට ද පහර දෙයි. වෛද්‍යවරුන් මෙයට ප්‍රතිකාර කරන්නේ හානිකර ප්‍රතිදේහ ඉවත් කිරීම සඳහා රුධිරය පෙරීමේ ක්‍රියාවලියක් හරහා සිදු කරන "ප්ලාස්මා හුවමාරුව" සහ රෝගයේ බරපතලකම අඩු කිරීමට උපකාර වන "IVIG" (නිරෝගී රුධිරයෙන් සාදන ලද විශේෂ ප්‍රතිකාරයක්) භාවිතා කිරීමෙනි.

අනෙක් අභියෝගය නම් ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝග විනිශ්චය සඳහා තනි පරීක්ෂණයක් නොමැති වීමයි. රෝග විනිශ්චය, වෛද්‍යවරුන් පවසන පරිදි, ප්‍රධාන වශයෙන් සායනික ලක්ෂණ මත පදනම් වේ. එය පෝලියෝ, වෛරස් හෝ දුර්ලභ ස්නායු රෝග නිසා ද ඇති විය හැකි අංශභාගයේ ස්වරූපයක් ලෙස පෙනී යයි.

"රෝග විනිශ්චය යනු සායනික ලක්ෂණ රාශියකි. වැරදි රෝග විනිශ්චය හෝ රෝග විනිශ්චය නොවීම හෝ ප්‍රමාද රෝග විනිශ්චය පහසුවෙන් සිදු විය හැක," මහාචාර්ය විලිසන් පවසයි.

ඉන්දියාවේ පවතින අසමාන සෞඛ්‍ය සේවා පද්ධතිය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍යවරුන්ට ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝග විනිශ්චය කිරීමේ දුෂ්කරතා ඇති කරයි. ඇතැම් විට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම් පූනේ හි සිටීමට එක් හේතුවක් නම්, ප්‍රතිකාර වැඩිදියුණු කිරීමේ ප්‍රවණතා විශ්ලේෂණය කරන අතරම, රෝගීන් සොයා ගැනීමට, පරීක්ෂා කිරීමට සහ අධීක්ෂණය කිරීමට දේශීය සහ ජාතික සෞඛ්‍ය සේවකයින් සමඟ වැඩ කිරීමට හැකිවීමයි.

Pune Municipal Corporation Commissioner and Administrator Dr. Rajendra Bhosale visited Kamala Nehru Hospital and reviewed the various measures being implemented to prevent GBS disease. He also directed the concerned regarding further action.

ඡායාරූප මූලාශ්‍රය, Pune Municipal Corporation

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගීන් සඳහා විශේෂ වූ රෝහල් වාට්ටු පූනේහි ස්ථාපිත කර තිබේ.

බලධාරීන් පවසන්නේ ඔවුන් නිවාස 60,000 කට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කර, පරීක්ෂණ සඳහා ජල සාම්පල 160 ක් ලබාගෙන ඇති අතර, ජලය උණුකර පානය කරන ලෙසත්, නැවුම් සහ පිරිසිදු ආහාර අනුභව කරන ලෙසත්, "පරණ ආහාර සහ අර්ධ වශයෙන් පිසූ කුකුළු මස් හෝ එළුමස්" ආහාරයට නොගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා ඇති බවයි.

බොහෝ විට ලොව පුරා ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් රෝගීන් වාර්තා වී ඇත්තේ නොපිසූ කුකුළු මස් වලින් වන අතර, එය කොලරාව හෝ සැල්මොනෙල්ලා වැනි ජලය හරහා ද පැතිර යා හැකි බව විශේෂඥයෝ පවසති.

වීථි දෙපස ආහාර සේදීමට හෝ පිළියෙළ කිරීමට භාවිතා කරන අපිරිසිදු ජලය බැක්ටීරියාව පැතිරීම පහසු කරයි. පැහැදිලිවම, පූනේහි, විශාල පිරිසකට බලපාන සුවිශේෂී අණුක ලක්ෂණයක් සහිත කැම්පිලොබැක්ටර් වික්‍රියාවක් සංසරණය වෙමින් පවතී.

මෙම පැතිරීමට හේතුව දූෂිත ජලය නිසාද නැතිනම් ආසාදිත කුකුළු මස් නිසාද යන්න පැහැදිලි වී නොමැත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදේශනයක් මගින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කලබල නොවන ලෙසත්, අවිනිශ්චිතතාවයක් ඇති කර නොගන්නා ලෙසයි.