යාපනය, චෙම්මනි අස්ථි කොටස්: සිරුරු 19කට අයත් අස්ථි කොටස් හමුවෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, "හින්දු චාරිත්‍ර අනුව යම් කෙනෙක් භූමදාන කළත් අඩු ම තරමේ අඩි පහක්වත් වළ හාරලා තමයි භූමදාන කරන්නේ"
    • Author, බීබීසී සිංහල

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයේ සිදුකළ කැණීම්වලදී මේ දක්වා මිනිස් සිරුරු 19කට අයත් අස්ථි කොටස් හමුවී ඇතැයි කැණීම්වල නිරත නිලධාරීහු පවසති.

කැණීම් නිලධාරීන් පැවසුවේ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ සිදු කළ දෙවන අදියරේ කැණීම් කටයුතු සෙනසුරාදා (ජූනි 07) අවසන් කළ බව ය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ කැණීම් කටයුතුවල තෙවන අදියර ජූනි 26 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත බව ද කැණීම් නිලධාරීහු පැවසූහ.

කැණීම් ස්ථානයෙන් මතු කර ගත් අස්ථි කොටස් යාපනය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රණවන්ගේ අධීක්ෂණය යටතේ සුරක්ෂිතව තැබිය යුතු බවට ද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම ස්ථානයෙන් මතු කර ගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කැණීම් නිලධාරීන් ඉල්ලා ඇත්තේ, කැණීම් කටයුතු අවසන් වී නොමැති බැවින් තවත් දින 45ක පමණ කාලයක් කැණීම් සිදු කිරීමට අවසර දෙන ලෙස ය.

කැණීම් නිලධාරීන්ගේ ඉල්ලීම සලකා බැලූ අධිකරණය එහි කැණීම් කටයුතු ඉදිරියට කරගෙන යාමට අවසරය දී ඇති අතර, අධිකරණ නියෝග මත කැණීම් ස්ථානයේ තෙවන අදියර ජූනි 26 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත ය.

Chemmani

මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් උතුරේ සිවිල් සංවිධාන අවධානයෙන් පසුවන බව අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. නිරංජන් පවසයි.

පුරාවිද්‍යා විශේෂඥයින්, අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥයින්ගේ වාර්තා අනුව අදාළ අස්ථි කොටස් කුමන කාලයකට අයත් ද යන්න ගැන පළමුව අවබෝධයක් ලබාගත යුතු බව ඔහු පැවසුවේය.

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ, දෙවන අදියරේ කැණීම් කටයුතු ජූනි 02 වන දා ආරම්භ විය.

Chemmani

'හින්දු චාරිත්‍ර අනුව ආදාහනය කළා නම් අස්ථි කොටස් ඉතිරි වෙන්න විදිහක් නැහැ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් 'සැකයක්' ඇති වන බව උතුරු-නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාජා කනකරංජනී පවසයි.

"හින්දු චාරිත්‍ර අනුව අපි මිය ගිය අයගේ සිරුරු වැඩිපුර ම අදාහනය කිරීම තම යි කරන්නේ. සිරුරු ආදාහනය කළා නම් මිනිස් අස්ථි කොටස් ඉතිරි වෙන්න විදිහක් නෑ. ඒත් දැන් මේ හින්දු සුසාන භූමිය ළඟින් හමුවුණ මිනිස් සිරුරුවල අස්ථි කොටස් සම්පූර්ණයෙන් ම දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා."

ඇය සඳහන් කළේ, මෙම අස්ථි කොටස් අයත් සිරුරු හින්දු චාරිත්‍ර අනුව ආදාහනය කළේ නම්, අස්ථි කොටස් ඉතිරි වීමට ඇති සම්භාවිතාව ඉතා අවම බව ය.

"හින්දු චාරිත්‍ර අනුව ආදාහනය කළා නම් මේ අස්ථි කොටස් ඉතුරු වෙන්න විදිහක් නෑ. මේ අස්ථි කොටස් ඉතුරු වෙලා තියෙන්නේ මොකක් හරි හේතුවකින් මියගොස් භූමදානය කළ පිරිසකගේ අස්ථි කොටස්," ඇය පැවසුවා ය.

"අනෙක් කාරණය තමයි මේ අස්ථි කොටස් හමුවෙලා තියෙන්නේ අඩි දෙකක්, තුනක් ගැඹුරින්. හින්දු චාරිත්‍ර අනුව යම් කෙනෙක් භූමදාන කළත් අඩු ම තරමේ අඩි පහක්වත් වළ හාරලා තමයි භූමදාන කරන්නේ. අපේ සිරිත් විරිත් අනුව එක ම තැනක පුද්ගලයින් පස් හය දෙනෙක් එකවර භූමදාන කරන්නේ නෑ. මේ කාරණා දිහා බැලුවා ම පේනවා මේ වෙන යම් හේතුවක් මත වළ දාපු පිරිසකගේ අස්ථි කොටස් කියලා," ඇය තවදුරටත් සඳහන් කළා ය.

'අපිට සැකයි අපේ අතුරුදන්වූවන් මරලා වළ දාන්න ඇති කියලා'

Chemmani

යුද්ධය පැවති සමයේ පුද්ගලයින් අතුරුදන්ව ඇති බැවින් මෙම අස්ථි කොටස් අයිති පුද්ගලයින් කවුරුන් ද? යන්න දැන ගැනීමට අවශ්‍ය බව උතුරු-නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාජා කනකරංජනී පවසයි.

"මේ අස්ථි කාගේ ද කියලා දැනගන්න ඕනේ. මොක ද යුද්දේ කාලයේ විශාල පිරිසක් අතුරුදන් වෙලා ඉන්නවා. ඒ අය ගැන කිසි ම තොරතුරක් නෑ. අපිට සැකයක් තියෙනවා අතුරුදන්වූවන්ගේ අස්ථි කොටස් මෙතන ඇති කියලා," ඇය පැවසුවා ය.

ඇය අවධාරණය කළේ, ඔවුන් මේ සම්බන්ධයෙන් "අවධානයෙන්" සිටින බව ය.

"අපි අතුරුදන්වූවන්ගේ ඥාතීන් විදිහට කැණීම්වලින් හමුවන දේවල් ගැන හොයා බලනවා. අපේ නියෝජිතයින් කැණීම් කටයුතු ස්ථාන ගැන විමසිල්ලෙන් ඉන්නේ," ඇය පැවසුවා ය.

"අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ දක්වා රජයන් හරහා ලැබිලා නෑ. අපිට සැක යි අපේ අතුරුදන්වූවන් මරලා දාලා වළ දාන්න ඇති ද කියලා," යෝගරාජා කනකරංජනී වැඩිදුරටත් සඳහන් කළා ය.

අස්ථි කොටස් මුල් වරට හමුවීම

Chemmani

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදුකළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව යාපනය පොලිසිය පැවසුවේ ජූනි 2 වන දා ය.

මෙම සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබිණි.

අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව එහි කැණීම් කටයුතු ආරම්භ විය.

පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ අතර, වැසි තත්ත්වය අඩු වීමෙන් පසු යාපනය පොලිසිය, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් සිදුකිරීමට නියෝගයක් ලබා ගත්තේ ය.

අධිකරණය දුන් නියෝගය

කැණීම් ස්ථානය සම්බන්ධයෙන් යාපනය පොලිසිය, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අදාළ ස්ථානය විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවට අධිකරණය නියෝග කළ බව පොලිසිය සඳහන් කළේ ය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ 2025 මැයි මස 15 වන දා සිට 17 වන දා දක්වා අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් සිදු කළ අතර, එහිදී මිනිස් හිස් කබල් දෙකක කොටස් මතු කර ගැනීමට හැකි විය.

එහිදී වර්ෂාව හේතුවෙන් පළමු අදියරේ කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.

කැණීම්වල දෙවන අදියර

chemmani

මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැණීම් කටයුතුවල දෙවන අදියර ජූනි 2 වන දා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු විශේෂඥ කමිටුවක අධීක්ෂණය යටතේ ආරම්භ විය.

විශේෂඥ කමිටුව සිදුකළ කැණීම්වලින් ජූනි 4 වන දා තවත් අස්ථි කොටස් කිහිපයක් මතු කර ගත් බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.

මහාචාර්යවරයා පැවසුවේ, මිනිස් අස්ථි කොටස් කිහිපයක් මතු කර ගත් අතර, මිනිස් හිස් කබල් කොටස් කිහිපයක් ඇතුළු අස්ථි කොටස් කැණීම් තුළින් මතු කර ගත් බවය.

අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් කටයුතු එළැඹෙන ජූනි මස 10 වන දා දක්වා සිදු කිරීමට අධිකරණ අවසරය ලැබී ඇති බව ද ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පුරාවිද්‍යාව පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන්, යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි, යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නිලධාරීන්, යාපනය පොලිසියේ නිලධාරීන් පිරිසක්, බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් කැණීම් සිදුකරනු ලබයි.

"ඔය චෙම්මනි පැත්තේ යුද්දේ කාලයේ මැරුණ අයගේ සිරුරු වළ දාලා කියලා ඒ කාලයේ මිනිස්සු අතර කතාවක් තිබ්බා. ඒවා ගැන අපි හරියට ම දන්නේ නෑ. හැබැයි 1990 ගණන්වල ඉඳලා හමුදාවේ අය යි, එල්ටීටීඊ සංවිධානය යි එක්ක අවස්ථා ගණනාවක් යාපනයේ සටන් තිබ්බා. ඒ සටන්වලදි සිවිල් වැසියන්, හමුදාවේ අය, එල්ටීටීඊ සංවිධානයේ අය විශාල පිරිසක් මැරුණා," නම සඳහන් නොකරන ලෙසට ඉල්ලීම් කළ යාපනය වැසියෙක් පැවසුවේ ය.

Chemmani

උතුරු පළාතෙන් හමුවී ඇති සමූහ මිනීවළවල්

Chemmani

සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනීවළවල් හමුවූ අතර, අදාළ ස්ථානයන්හි කැණීම් කටයුතු විටින්විට සිදු කෙරිණි.

2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මිනීවළක් හමුවූ අතර, අදාළ සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ගණනකට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිණි.

ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයෙන් සමූහ මිනීවළක් 2018 වසරේ මතු කර ගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැනිණි. 2018 මාර්තු 26 වන දා සිට 2019 මාර්තු 07 දක්වා සමූහ මිනීවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.

මන්නාරම සමූහ මිනීවළ සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනාගාර තුළ කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450ත් 1650ත් අතර කාලයකට අයත් බව ය.

මන්නාරම සමූහ මිනීවළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සමූහ මිනීවළක් හමුවූ අතර, 2023 ජූනි 29 වන දා සමූහ මිනීවළ සම්බන්ධයෙන් වාර්තා විය. 2024 ජූලි 15 වන දා දක්වා කොක්කුතුඩුවායි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරනු ලැබීය.

එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් අතර, අදාළ සමූහ මිනීවළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැණීම් නිලධාරීහු නිගමනය කළහ.

කොක්කුතුඩුවායි සමූහ මිනීවළ හමුවීමෙන් පසුව යාපනය, චෙම්මනෙයි ප්‍රදේශයෙන් අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනිණි.