ශ්‍රී ලංකාවට පැමිණෙන ඈන් රාජකීය කුමරිය කවුද?

Anne Princess Royal

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය දෙදින නිල සංචාරයක් සඳහා ජනවාරි 10 වැනි බදාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඇගේ සැමියා වන වයිස් අද්මිරාල් ටිමති ලෝරන්ස් සමග පැමිණෙන කුමරිය ජනවාරි 12 වැනි සිකුරාදා දක්වා දිවයින තුළ රැඳී සිටිනු ඇත.

කුමරිය සහ සැමියා එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයයේ ඉල්ලීම මත මේ සංචාරයේ යෙදීමට නියමිත ය.

එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 75ක් සපිරීම නිමිතිකොට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජකීය කුමරිය ශ්‍රී ලංකාවට පිළිගනු ඇත.

දෙරට අතර නව සබඳතා සමරනු සඳහා, රාජකීය කුමරිය ඇගේ සංචාරය අතරතුරේ දී කොළඹ, මහනුවර සහ යාපනය යන ප්‍රදේශවල ප්‍රාදේශීය ප්‍රජාවන් හා ආගමික කණ්ඩායම් හමුවීමට නියමිතව තිබේ.

කවුද මේ රාජකීය ඈන් කුමරිය?

ඈන් රාජකීය කුමරිය, දෙවැනි එලිසබෙත් රැජිනගේ දෙවැනි දරුවා සහ එකම දියණිය යි. ඥාතීත්වය අනුව ඇය තෙවැනි චාල්ස් රජුගේ සහෝදරිය වෙයි.

උපතේ දී ඇය එක්සත් රාජධානියේ සිංහාසනය සඳහා වන අනුප්‍රාප්තික අනුපිළිවෙලේ තෙවැන්නිය වූ නමුත්, මේ වන විට 16 වැනි ස්ථානයට පත්ව සිටියි.

1987 ජුනි මාසයේ දී ඇයට 'රාජකීය කුමරිය' යන පදවි නාමය ප්‍රදානය කෙරිණි.

Royal family succession
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඈන් කුමරිය දෙවරක් විවාහ වී ඇත. ඇගේ පළමු සැමියා වන කපිතාන් මාර්ක් ෆිලිප්ස් ඇගේ දරුවන් දෙදෙනා වන පීටර් සහ සාරාගේ පියා වෙයි. ඇගේ දෙවැනි සැමියා වන්නේ වයිස් අද්මිරාල් ටිමති ලෝරන්ස් ය. ඔහු ද මෙවර ශ්‍රී ලංකා සංචාරය සඳහා රාජකීය කුමරිය සමග පැමිණීමට නියමිත ය.

මවුන්ට්බැටන්-වින්ඩ්සර් යන වාසගම නිල ලේඛනයක දී භාවිතා කළ පළමු රාජකීයයා වන්නේ ද ඈන් කුමරිය යි. කුමරිය කපිතාන් ෆිලිප්ස් සමග විවාහවීමේ දී විවාහ ලේඛනයට එම නම භාවිතා කළා ය.

ඇය 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් අශ්වාරෝහක ඉසව් සඳහා තරග කළා ය.

රාජකීය කුමරිය වයස අවුරුදු 18 දී මහජන කටයුතුවල යෙදීම ඇරඹුවා ය. ඇගේ පළමු කාර්යය වූයේ 1969 දී එංගලන්තයේ ශ්‍රොප්ෂයර්හි අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම යි.

එතැන් පටන් ඇය පොදුරාජ්‍ය මණ්ඩලය පුරා පිහිටි පුණ්‍යායතන හා සංවිධාන රැසක් සමග සැලකිය යුතු අන්දමේ, අඛණ්ඩ සබඳතා රැසක් ගොඩනගාගෙන ඇති අතර, රාජකීය පවුලේ අන් කවර සාමාජිකයෙකුට ද වඩා කාර්යයබහුල කාලසටහනකට අනුව කටයුතු කරයි.

රාජකීය කුමරිය 1970 වසරේ සිට Save the Children UKහි සභාපතිත්වය දරන අතර, එය ඇය සමීපව සම්බන්ධ වූ පළමු ප්‍රධාන පෙළේ පුණ්‍යායතනය යි.

කුමරිය එක්සත් රාජධානිය තුළ හා විදේශයන්හි පිහිටි පුණ්‍යායතන, සංවිධාන සහ හමුදා රෙජිමේන්තු 300කට අධික සංඛ්‍යාවක් හා සම්බන්ධවී සිටින අතර, ඇගේ සේවා දිවියෙන් විශාල කොටසක් නිල කටයුතු සහ සංචාරයන් සඳහා කැප කරයි.

මින් පෙර ලංකාවට පැමිණ ඇති එක්සත් රාජධානි රාජකීයයන්

  • එඩින්බරෝහි ආදිපාදවරයා සහ ආදිපාදවරිය

2018 ජනවාරි 31 දා එඩින්බරෝහි ආදිපාද එඩ්වර්ඩ් කුමරු සහ එම ආදිපාදවරිය (එවකට වෙසෙක්ස්හි අර්ල්වරයා සහ සිටුවරිය), ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දින සැමරුම් උත්සවවලට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණියහ.

ඔවුහු එවසරේ පෙබරවාරි පස්වැනිදා දක්වා ශ්‍රී ලංකා සංචාරයේ යෙදී සිටියහ. දෙවැනි එලිසබෙත් රැජින මෙම අවස්ථාව අළලා පණිවිඩයක් ද නිකුත් කළා ය.

  • ඈන් රාජකීය කුමරිය

1995 වසරේ මාර්තුවේ දී ඈන් රාජකීය කුමරිය ශ්‍රී ලංකාවට පැමිණියා ය.

ඒ, ඇය අනුශාසකත්වය දරන සේව් ද චිල්රන් ආයතය විසින් අනුග්‍රහය දැක්වෙන ව්‍යාපෘති පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ය.

  • තෙවැනි චාල්ස් රජතුමා සහ මෙහෙසිය

රජතුමා සහ මෙහෙසිය 2013 නොවැම්බර් මාසයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඊට පෙර, 2004 දෙසැම්බරයේ පැමිණි සුනාමියෙන් පසු 2005 පෙබරවාරි මාසයේ දී රජතුමා ශ්‍රී ලංකාවට පැමිණි අතර, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් පිරීම නිමිත්තෙන් 1998 පෙබරවාරියේ ද ලංකාවට පැමිණියේ ය.

  • දෙවැනි එලිසබෙත් රැජින හා එඩින්බරෝ ආදිපාදවරයා

දිවංගත දෙවැනි එලිසබෙත් රැජින හා දිවංගත එඩින්බරෝ ආදිපාදවරයා ද දෙවරක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ, 1981 ඔක්තෝබරයේ සහ 1954 අප්‍රේල් මාසයේ දී ය.