'දේශපාලනයට නොගැලපෙන ලැජ්ජාශීලී මිනිහෙක්': තම පුත් ඊලොන් මස්ක් ගැන එරල් මස්ක් කියයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, මරියා යෙෆ්ස්තාෆිවා
- Role, බීබීසී රුසියානු සේවය
ඊලොන් මස්ක් යනු, තාක්ෂණ ව්‍යවසායකයෙකු ලෙසින් මනා සබඳතාවන්ගෙන් යුතු, දේශපාලන බලයේ ඉහළ ම මට්ටමට පවා විශේෂ ප්‍රවේශයන් ලබාගත හැකි, ලොව ධනවත් ම පුද්ගලයා යි. බීබීසීය ඔහුගේ පියා වන එරල් සමග සම්බන්ධ වෙමින්, ඊලොන්ගේ ළමාවිය සහ ඉන් "නිල නොවන ඇමෙරිකානු ජනාධිපතිවරයා" ලෙසට සමහරෙකු හදුන්වන පුද්ගලයාගේ ජීවිතය හැඩගැසුණු ආකාරය පිළිබදව විමසීමක් කළේ ය.
"එයා මට මම මිල දී ගන්න හිටපු එන්ජින් දෙකේ ගුවන් යානය ගන්න සල්ලි එවල තිබුණා," යනුවෙන් තම බලගතු පුත්‍රයා සමග අවසන් ලෙසින් තමන් සම්බන්ධ වූ ආකාරය විස්තර කරමින් ඔහු පැවසීය. "මට සල්ලි ටිකක් මදි වුණා. ඒ නිසා ඒක ගන්න එයා මට සල්ලි ටිකක් එව්වා. මම ඉතින් ස්තුතියි කිව්වා."
එම පිළිසඳර සිදුවූයේ මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ දිනයට පෙර දා බව ඔහු කීය.
කේප් ටවුන්හි පිහිටි තම වෙරළබඩ නිවසෙහි සිට එරල් මා සමග සූම් (Zoom) හරහා සම්බන්ධ වූයේ සන්සුන් ආකාරයෙන් හා විශ්වාසයෙන් යුක්තව ය. ඊට සති කිහිපයකට පෙර දිනයකදී මා ඔහු අමතා ඊලොන්ගේ ළමාවිය සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර, ඊට පසුදා ම ඔහු "හරි" යැයි පවසමින් ඊට එකඟත්වය දැක්වීම මාගේ මවිතයට හේතු විය.
දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රෙටෝරියාහිදී 1971දී උපත ලැබූ ඊලොන් ඔහුගේ ඉන්ජිනේරු පියා සහ නිරූපිකාවක වන නමින් මේ නම් වූ මව විසින් ඇතිදැඩි කරනු ලැබීය. තම දෙමාපියන්ගේ දික්කසාදයෙන් පසුව ඔහු ප්‍රධාන වශයෙන් එරල් සමග ජීවත් වූයේ 1989දී කැනඩාවට සංක්‍රමණය වන තෙක් ය.
එරල් ඔහු සම්බන්ධයෙන් පවසන්නේ, ඊලොන් "ඉතාමත් හොඳ, ප්‍රශ්න ඇති නොකළ" සෑම විටකදී ම තමන්ට අවශ්‍ය දේ ලබාගත් දරුවෙකු වූ බව ය. "අංක එක" බවට පත්වන තෙක් තම පුත්‍රයා නොනවතින බව තමන් සෑම විටකදී ම දැන සිටි බවත් ඔහු කියා සිටී.
අද ඊලොන් සතුව Tesla, SpaceX, සහ X (පෙර ට්විටර්, සහ මේ වන විට ඔහුගේ කෘත්‍රිම බුද්ධි start-up සමග ඒකාබද්ධව තිබෙන) තිබේ. වෝල් ස්ට්‍රීට් සඟරාවට අනුව ඔහුගේ වත්කම පසුගිය පෙබරවාරි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 419.4ක් විය.
එමෙන් ම, ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ වඩාත් ම ප්‍රත්‍යක්ෂ උපදේශකයින්ගෙන් එක් අයෙකු වන අතර, අළුතින් පිහිටවූ රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ (Department for Government Efficiency - DOGE) ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.
ළමා කල වේදනා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තම පියා සමග වූ ඊලොන්ගේ සබඳතාව කලක් තිස්සේ සංකීර්ණ ස්වභාවයක් ගත් අතර, තම චරිතාපදානය රචනා කළ ඈෂ්ලි වෑන්ස් සමග ඔහු පවසා ඇත්තේ, තම ළමාවිය දුක්ඛිත වූ බව ය. "මම පාසලේදී විවිධ කණ්ඩායම්වල හිරිහැරවලට ලක්වුණා. ගෙදරට ආවට පස්සේ ඒක ඉතා අප්‍රසන්න දෙයක් වුණා," යනුවෙන් ඔහු යළි සිහිපත් කළේ ය.
තවත් එක් ජීවිත කථාවකදී ඔහුගේ සහෝදර කිම්බල් එහි රචක වෝල්ටර් අයිසැක්සන් හට පවසන්නේ, දරුවන් ලෙසින් තමන් සියලු දෙනා පියාගේ පරිභවයට ලක්වූ බව ය. "එයා අපට තදින් කෑගහලා, පැය ගණන් තරවටු කරලා - අපි කිසිම වටිනාකමක් නැති, දුක්ඛිත අය කියලා අපහාස කළා."
වසර 2017දී දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඊලොන් තම පියා සම්බන්ධයෙන් කියා සිටියේ, ඔහු "දරුණු මිනිහෙක්" යනුවෙනි.
ඒ පිළිබඳව එරල් කියා සිටියේ, ඊලොන් එසේ කියා සිටීමට හේතුව තමන් නොදන්නා බව ය. "දැන් මම එයාට ගොඩක් වෙලාවට කතා කරනවා. වෙලාව ආවම එයා සමාව ඉල්ලයි කියලා විශ්වාසයි."
"මතක තියා ගන්න ඒ ළමයින්ට තමන්ගේ තාත්තා එක්ක යම් විදිහක තරගයක් තිබ්බා කියන එක," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, හමුදා සේවය තම ජීවිතයට බලපෑ බව එරල් කියා සිටී. "ඔයා ගොළුබෙල්ලෙකුටත් වඩා යටහත් කෙනෙක් කියලා ඔයාට කියනවා. ඔයාව උඩට ගන්න ඔයාට සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලය විදිහට ඔයා ශක්තිමත් මිනිහෙක් වෙනවා," ඔහු දැඩිව කියා සිටී.
එරල් සහ ඊලොන් දෙදෙනා අතර විශාල සමානතා පවතී. ඔවුන් දෙදෙනා ම ව්‍යාපාරිකයන් වන අතර, දෙදෙනා ම විවාදාත්මක චරිත ද වෙයි. දෙදෙනාට ම දරුවන් සෑහෙන පිරිසක් සිටී. එරල් හට දරුවන් හත්දෙනෙකු සිටින අතර, ඊලොන් හට දරුවන් 14 දෙනෙකු සිටින බවට විශ්වාස කෙරේ.
තම වැඩකටයුතු හේතුවෙන් ඊලොන් තම ඇතැම් දරුවන් නොසලකා හරින බවට එරල් චෝදනා කරයි. නමුත්, දරුවන් සියලු දෙනාට ම එක හා සමාන සැලකිල්ලක් දැක්වීමට තමන් උත්සහ කළ බව ඔහු කියා සිටී.
එනමුත්, සම්මුඛ සාකච්ඡාව අතරතුරදී එරල් හට තම සිව්වන දියණිය මොහොතකට අමතක විය. ඇයගේ මව වන්නේ, එරල්ගේ හිටපු ඥාති දියණියක වන ජානා බෙසයිඩනවුට් ය. සිව් හැවිරිදි වියේදී මස්ක් පවුලට ජානා එක්වූයේ එරල්, ඇයගේ මව වන හෙයිඩි සමග විවාහ වීමත් සමගයි.
එරල් මුලින් ම පැවසුවේ, තමන්ට සිටින්නේ දියණියන් තිදෙනෙකු පමණක් බව ය. පසුව එය ඔහු නිවැරදි කළේ, "ඇය (සිව්වන දියණිය) ගැන තමන්ට බොහෝ විට අමතක වෙනවා," යැයි නුහුරු ලෙසින් සිනාමුසුව පවසමිනි.
ජානා සහ එරල්ගේ පළමු දරුවා බිහිවන විට ජානා 30 වන වියෙහි පමණ සිටි අතර, එරල්ගේ වයස අවුරුදු 70ටත් වැඩි විය.
ඔවුන්ට දාව දෙවන දරුවෙකු ද උපත ලැබූ නමුත්, මේ වන විට ඔවුන් දෙදෙනා වෙන්ව සිටී.
දෙදෙනා අතර සබඳතාව හේතුවෙන් එරල් හා ඊලොන් අතර සබැඳියාව කෙටිකාලීනව බිඳවැටුණේ ය. නමුත් මේ වන විට දෙදෙනා ම කතාබස් කරන යථා මට්ටමට එය පත්ව ඇති බව එරල් පවසයි.
දේශපාලනය සහ අපහාස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෝලන්තයේ විදේශ කටයුතු ඇමතිවරයා "පොඩි මිනිහෙක්" යැයි ඊලොන් පැවසූ කාලය මතක් කර දෙමින් මා එරල්ගෙන් අසා සිටියේ, තම පුත්‍රයා ප්‍රසිද්ධියේ මිනිසුන්ට නිග්‍රහ කිරීම නිසා ඔහු කනස්සල්ලට පත් වන්නේ ද යන්නයි.
"ඊලොන් හරි වෙනත් දරුවෙක් හරි කියන හැම වචනයක් ගැන ම මම වද වෙනවා. මොකද ඒ නිසා එයාලට ප්‍රශ්න ඇති වෙයි කියලා මට බයයි," යනුවෙන් එරල් පිළිතුරු දුන්නේය.
"වැඩිහිටියන්ට මෝඩයින් කියලා කියන්න එපා කියලා පොඩි කාලයේදී ම මම එයාට කිව්වා," යනුවෙන් එරල් අතීතය ආවර්ජනය කරයි. "එතකොට එයා කිව්වේ, ඇයි? ඒ අය මෝඩයිනේ."
"මම උත්තර දුන්නා එයාලා මෝඩයින් වුණත් ඒ බව ඔයාට එයාලට කියන්න බැහැ කියලා."
කෙසේ වෙතත්, දේශපාලන ලෝකයේදී ඊට වඩා වැඩි ඉඩහසරක් තිබෙන බව එරල්ගේ විශ්වාසය යි. "එක දවසක් මිනිස්සු එකිනෙකාට නම් කියා ගෙන ඊළග දවසේදී ගිවිසුම් ගහගන්නවා."
බලය සම්බන්ධයෙන් ඊලොන්ට තිබෙන පැහැදිලිව ම බලපෑම් කිරීමේ හැකියාව කෙසේ වෙතත්, තම පුත්‍රයා දේශපාලනයට නොගැලපෙන්නෙකු බව එරල්ගේ අදහසයි. "එයා තාක්ෂණයට දක්ෂ කෙනෙක්. ඒ වගේ අයට ඕනෑ ම දෙයක් තර්කානුකූල වෙන්න අවශ්‍යයි," විවිධ ආකාරයේ මිනිසුන් සමග වැඩ කිරීම ඊලොන්ට අපහසු කාර්යයක් බව ඔහු පවසයි. "ජනප්‍රිය නමුත් මුළුමනින් ම මෝඩ මිනිස්සු එක්ක ඔයාට වැඩ කරන්න සිද්ධ වෙනවා."
එහෙත්, සෑම දේශපාලකයෙකු ම එසේ නොවන බව එරල්ගේ මතය යි. ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අගය කරන දේශපාලකයින් ද සිටී. ඔවුන් අතර විශේෂ වන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ය.
"ජාත්‍යන්තර දේශපාලනය නෙවෙයි, මනුස්සයෙකු විදියට ගත්තා ම පුටින්ට ගරු නොකර ඉන්න අමාරුයි," යනුවෙන් එරල් කියා සිටී. "ඔහු කියන දේ විශ්වාස කරන්න බැරි විදිහට තර්කානුකූලයි. පුටින් මහත්තයාට ගරු නොකර ඉන්න එක ගොඩක් අමාරුයි."
ඊලොන් ද ඔහුගේ මතයට එකඟ වන්නේදැයි මා අසා සිටි විට එරල් කියා සිටියේ එය එසේ වන බව ය. පුටින් විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීම සම්බන්ධයෙන් මා සඳහන් කළ විට, රුසියාවේ ආක්‍රමණශීලී බවට පැහැදිලිව ම සාක්ෂි පැවතුණ ද ඔහු පැවසුවේයේ, "ඒක පටන් ගත්තේ කවුද කියලා කාලය කියයි," යනුවෙනි.
සම්මුඛ සාකච්ඡාව අතරතුරදී මා හට ඔහුගේ සිනහවන් සහ ඇස් කැරකවීම් කිහිපයක් ලැබුණේ බොහෝ විට ඔහුගේ දේශපාලන මතයන්ට අභියෝග කළ විටදී ය.
යුද්ධය මුල් භාගයේදී යුක්‍රේනයට ස්ටාර්ලින්ක් පහසුකම් සැපයීම නිවැරදි තීරණයක් වූ බවට එරල් විශ්වාස කළ ද, අර්බුදය දිග්ගැස්සීමත් සමග ඊලොන්ගේ මතය වෙනස් වූ බව ඔහු කියා සිටී. එම වෙනසට හේතුව ඊලොන්ගේ මුදල් පසුපස හඹා යාම බවට වන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි. "අපේ පවුලට හැම දෙයක් ම තියෙනවා. අපට තවත් සල්ලි ඕනෑ නෑ." බිලියඩ් මේසයක් පසුබිමින් තිබෙන ඉඩකඩ ඇති කාමරයක සිටිමින් මා අමතන ඔහු වේගවත්ව ඉගි දක්වමින් කිහිප වරක් ම පැවසුවේ, "අපට හැම දෙයක් ම තියෙනවා", යනුවෙනි.
සම්මුඛ සාකච්ඡාව අවසන් කරමින් මා ඔහුගෙන් අසා සිටියේ, ඊලොන් සම්බන්ධයෙන් ලෝකය නොදන්නා කරුණු තිබෙන්නේ ද යන්නයි.
විශ්වාසයෙන් යුක්තව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම තම පුත්‍රයාට කළ නොහැක්කක් බව එරල් කියා සිටී.
"අමාරුවේ වැටුණු බවක් ඔහුට දැනෙනවා. පිරිසක් ඉස්සරහ වේදිකාවක ඉන්න හැටි ගැන ඔහුට තවමත් ඉගෙන ගන්න දේවල් තියෙනවා," යැයි ඔහු පවසයි.
"එයාට කියන්න තියෙන දේ එයා පුළුවන් ඉක්මනින් කියලා දානවා."













