Starlink ඉන්ටර්නෙට් සේවාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ස්ටාර්ලින්ක් ඉන්ටර්නෙට් සේවාව මෙරට තුළ තහනම් කර ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් බන්දුල හේරත් පවසයි.
"අපි ලයිසන් දීලා තියෙනවා, ඒක එයාලා කරන්න ඕන. ලයිසන් එක අනුව අවුරුද්දක් ඇතුළත ඒ අය කරන්න ඕන. ඒකට එයාලට තව කාලයක් තියෙනවා," ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් බන්දුල හේරත් බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.
ශ්‍රී ලංකාවට Starlink රැගෙන ඒමේ අතීත කතාව
ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරන ස්ටාර්ලින්ක් ඉන්ටර්නෙට් සේවාව මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වූයේ, ඉකුත් වසරේ මැයි මාසයේදී ය.
එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ ඊලෝන් මස්ක් අතර ඉන්දුනීසියාවේදී සිදුවූ හමුවකින් අනතුරුව ස්ටාර්ලින්ක් ඉන්ටර්නෙට් සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා පළමු යෝජනාව ඉදිරිපත් විය.
ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් 9කට ස්ටාර්ලින්ක් සේවය ඇණවුම් කිරීමට ද මෙරට ජනතාවට අවස්ථාව ඇති බව ස්ටාර්ලින්ක් වෙබ් අඩවිය නිවේදනයක් ද පළකර තිබිණි.
මේ අතර, 2024 වසරේදී 28 වසරකට පසුව විදුලි සංදේශන පනත ද සංශෝධනයට ලක් කෙරුණු අතර ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරන ස්ටාර්ලින්ක් සේවයට මෙරට සිය සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් 2024 අගෝස්තු මස 12 වැනිදා බලපත්‍රයක් ද නිකුත් කරන ලදී.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
Starlink යනු කුමක් ද?
ස්ටාර්ලින්ක් ඉන්ටර්නෙට් සේවාව යනු පෘථිවි පෘෂ්ටයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථානගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ ඉන්ටර්නෙට් පද්ධතියකි.
ෆයිබර් ඔප්ටික් කේබල් භාවිත කිරීම වෙනුවට ස්ටාර්ලින්ක්, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරනු ලැබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සරලව පැවසුවහොත්, ස්ටාර්ලින්ක් විසින් රේඩියෝ තරංග හරහා ඉන්ටර්නෙට් දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවනු ලබන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි.
ෆයිබර් ඔප්ටික් කේබල්වලට ළඟා විය නොහැකි දූරස්ථ ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ඉන්ටර්නෙට් සේවාවට යොමු විය හැක.
ඇමෙරිකාවේ ස්ථාපිත ඊලෝන් මස්ක්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමක් වන SpaceX, පළමුව 2019 වසරේ මැයි මාසයේදී චන්ද්‍රිකා 60ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කර ඉන් අනතුරුව 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී Starlink ඉන්ටර්නෙට් සේවාව ආරම්භ කරන ලදී.
තාරකා විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසන පරිදි 2024 අප්‍රේල් වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 5,874ක් කක්ෂයේ තිබූ අතර ඉන් 5,800ක් තවමත් ක්‍රියාත්මකව පවතී.
මේ වන විට ස්ටාර්ලින්ක් සේවය ලබාගෙන ඇති රටවල් ගණන 100කට ආසන්න බව එම සමාගමේ වෙබ් අඩවියේ දැක්වේ.
එමෙන් ම, Starlink වෙබ් අඩවියේ නියාමන අනුමැතිය අපේක්ෂාවෙන් සිටින රටවල් ලෙස සෞදි අරාබිය, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, තුර්කිය සහ වියට්නාමය වැනි රටවල් ද ලැයිස්තුගත කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, TRCSL
ඉන්දියාවෙන් මෙතෙක් අවසර නොලැබුණු Starlink
ඉන්දියාවේ විශාලතම විදුලි සංදේශ සමාගමක් වන රිලයන්ස් ජියෝ සහ එම සමාගමේ ප්‍රතිවාදී සමාගමක් වන භාරතී එයාර්ටෙල්, ස්ටාර්ලින්ක් ඉන්ටර්නෙට් සේවාව එරටට ගෙන ඒම සඳහා ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරන ස්පෙක්ස් X සමාගම සමග වෙන ම ගිවිසුම් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් සේවය ඉකුත් මාර්තු මස 12 වන දා වාර්තා කළේ ය.
බොහෝ විශ්ලේෂකයින් පුදුමයට පත් කළ කරුණක් වූයේ, මෙම ඉන්දියානු සමාගම් දෙක සමග ඊලෝන් මස්ක් ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කරගෙන තිබීම යි.
ගිවිසුම්ගත වුව ද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට SpaceX සමාගමට හැකි වන්නේ, ඉන්දීය රජයෙන් ඊට අදාළ අනුමැතිය හිමිවුවහොත් පමණි.
SpaceX සමාගම 2021 සිට ඉන්දියාවේ සිය සේවා දියත් කිරීමට ඉලක්ක කර ඇතත්, ඉන්දීය රජයේ නියාමනයන් හේතුවෙන් එරට සිය සේවා ක්‍රියාත්මක කිරීමට මෙතෙක් අවස්ථාව හිමි වී නොමැත.














