හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදා හරිමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මොනවා ද?

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166කට අධික මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බදාදා (පෙබ. 18) නියම කළේ ය.

ඒ අනුව, සැකකරු රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේ ය.

මෙම නඩුවේ පළමු වන සැකකරු රනිල් වික්‍රමසිංහට ඇප නියම කිරීමේදී ඔහුට විදේශ ගමන් තහනමක් පනවා නොමැති බැවින් ඇප කොන්දේසියක් ලෙස මෙම සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට කටයුතු නොකරන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.

ඇප නියෝගය ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ කුමක් ද?

"පොදු දේපළ පනත යටතේ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ විට නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව පනතේ සඳහන් වේ. සැකකරුවෙකු ඇප මත මුදාහැරිය හැක්කේ අසාමාන්‍ය කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණි.

"නමුත් ඒ අසාමාන්‍ය කරුණු මොනවා ද යන්න නීතියෙන් පැහැදිලි කර නැත. එය නඩුවෙන් නඩුවට වෙනස් වෙයි. මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී මෙම සැකකරු හිටපු ජනාධිපති ලේකම්වරයා වේ.

"සැකකරු ඉහළ ම රාජ්‍ය නිලධාරියා වන අතර හිටපු ජනාධිපතිවරයාගේ දින දෙකක පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් මිලියන 16කට අධික මුදල් අනුමත කිරීම තුළින් ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත. රාජ්‍ය නායකයෙකුගේ සංචාර සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඒවා සිදුවන්නේ තෝරා ගත් අවස්ථාවලදී පමණි.

"ඒ නිසා එවැනි සංචාරයන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ජනාධිපති ලේකම්වරයා වශයෙන් සැකකරු සැලකිලිමත් විය යුතු ය. නමුත් මෙම නඩුකරය හා සම්බන්ධ කරුණු සලකා බැලීමේදී සැකකරු මුදල් අනුමත කිරීමේදී රාජ්‍ය නායකයාගේ සංචාරය පුද්ගලික සංචාරයක් ද? එසේත් නැත්නම් නිල සංචාරයක් ද? යන කාරණය පිළිබඳව සැලකිලිමත් වී නොමැති බව අධිකරණයට නිරීක්ෂණය වේ.

"සැකකරු වසර 37ක පළ පුරුදු රාජ්‍ය සේවකයෙකු බව ඇප ඉල්ලීමේදී සඳහන් විය. එසේ නම් ඔහුට වඩා වගකීමකින් කටයුතු කළ යුතු වේ. නමුත් රුපියල් මිලියන දහසයකට අධික මහජන මුදලක් අනුමත කිරීමේදී ඔහු වගකීමකින් යුතුව කටයුතු කර තිබෙන ආකාරයක් අධිකරණයට නිරීක්ෂණය නොවේ. ඉහළ ම රාජ්‍ය නිලධාරියා මේ ආකාරයෙන් කටයුතු කරන විට ඊට පහළ ස්ථරවල සිටින නිලධාරීන් සම්බන්ධයෙන් සිතා බැලීම ගැටලුසහගත ය," මහේස්ත්‍රාත්වරයා පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය:

"මෙම සිද්ධියේ පළමු වන සැකකරු වශයෙන් නම් කර සිටින රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ. රිමාන්ඩ් භාරයට පත් කළ එම සැකකරු පසුව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

"පසුව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් අධිකරණයට ඒවා තිබූ වාර්තාවක් පදනම් කරගෙන පුර්වගාමී මහේස්ත්‍රාත්වරිය එම සැකකරු ඇප මත මුදා හැර තිබිණි.

"එම සැකකරුට පවතින රෝගී තත්ත්වය පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් ද අධිකරණයට ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කර නොතිබිණි. ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලය ද එම වාර්තාව ඉදිරිපත් කළේ, අධිකරණ නියෝගයක් නොමැතිව යි.

"නමුත් පළමු වන සැකකරු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවට අනුව පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට ඇප නියම කර තිබිණි. නමුත් ඇප ලැබීමට පෙර එම සැකකරු ඒ ආකාරයෙන් ප්‍රතිකාර ලබා ගත් බවට වාර්තා වී නොතිබිණි.

"ඇප ලැබීමෙන් පසුවත් ඒ ආකාරයෙන් ප්‍රතිකාරයක් එම සැකකරු විසින් ලබා ගත් බවට වාර්තා ඉදිරිපත් නොවී ය.

"පළමු වන සැකකරුට පවතින අපරාධය වගකීම හා සංසන්දනය කිරීමේදී මෙම දෙවන සැකකරුට පවතින වගකීම ඊට දෙවැනි බව සඳහන් කළ යුතු යි. දෙවන සැකකාර සමන් ඒකනායක නමැත්තා දින 21ක් මේ වන විට රිමාන්ඩ් භාරය පසු වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකු එකා සමාන බව සඳහන්ව තිබේ.

"ඒ අනුව මෙම නඩුවේ පළමු වන සැකකාර රාජ්‍ය නායකයා, දෙවන සැකකාර ජනාධිපති ලේකම්වරයා සහ සාමාන්‍ය පුරවැසියා යන සියලු දෙනා ම නීතිය ඉදිරියේ එක හා සමාන බව සඳහන් කළ යුතු ය. අපරාධ වගකීම අතින් ගත් කළ ද පළමුවන සැකකාර වික්‍රමසිංහට වඩා මෙම සැකකරුට පවතින වගකීම ඊට දෙවැනි බව සඳහන් කළ යුතු යි.

"ඔහු සිදු කර තිබෙන්නේ ආධාර අනුබල දීම පමණි," ඒ අනුව මෙම කරුණු අසාමාන්‍ය කරුණු සේ සලකා මෙම සැකකරුට ඇප නියම කිරීමට තීන්දු කරන බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් ප්‍රකාශ කළේ ය.

'මානසික භීෂණයක් මැවීමට ඔවුන් උත්සහ කරනවා'

ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

"ස්වාමීනී, ඔබ තුමා පසුගිය නඩු දිනයේ සඳහන් කළා අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑ ම පුද්ගලයෙකුට අයිතියක් තිබෙන බවත් ඊට පස්සේ බාධා කිරීමක් නොකරන බවට. අපිත් ඒක පිළිගන්නවා.

"නමුත් මෙම නඩුවට සම්බන්ධ ඇතැම් නීතිඥයින් හා විශාරදයින් බව කියා ගන්නා පුද්ගලයින් සිදු කරන ප්‍රකාශ නිසා සාක්ෂිකරුවන්ට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඇතැම් පුද්ගලයින් මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා දුන් අරුණ ප්‍රනාන්දු නමැති සාක්ෂිකරුගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව පෙන්වමින් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා.

මෙවැනි ක්‍රියා කරන්නේ සාක්ෂිකරුවන් බිය ගැන්වීම සඳහා යි. මේ හරහා මානසික භීෂණයක් මැවීමට ඔවුන් උත්සහ කරනවා," මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

"සාක්ෂිකරුවන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් පියවර ගැනීමට ඕනෑ තරම් නීති ප්‍රතිපාදන පවතිනවා. ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙනවා.

"එවැනි ප්‍රකාශ "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසෙන්" වෙන් කර ගත හැකි, විමර්ශනවලට බාධා සිදු කරන ආකාරයේ ප්‍රකාශ නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට හැකියාවක් තිබෙනවා. එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කළ යුතු යි," ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

මෛත්‍රී වික්‍රමසිංහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට පෙබරවාරි 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස කොල්ලුපිටිය පොලිසිය මාර්ගයෙන් දැනුම් දීමට පියවර ගෙන ඇති බව ය.

ඉන් අනතුරුව මෙම නඩුකරය යළි අප්‍රේල් මස 29 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ද නියම කළේ ය.

එමෙන් ම විත්තිකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ නම් ඊළඟ දිනට පෙර එම කටයුත්ත සිදු කිරීම වඩා සුදුසු බව මහේස්ත්‍රාත්වරයා අවසන් වශයෙන් සඳහන් කළේ ය.

සමන් ඒකනායක යනු කවුද?

1958 අප්‍රේල් 12 වන දා උපත ලබා ඇති සමන් ඒකනායක හෙවත් ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර බණ්ඩාර ඒකනායක කුරුණෑගල, මල්කඩුවාව මහා විද්‍යාලයෙන් සහ කුරුණෑගල ලක්දාස් මහා විදුහලෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි.

1985 වසරේදී මුල් වරට රාජ්‍ය සේවයට එක්ව ඇති සමන් ඒකනායක, සිය තිස් වසරකට අධික සේවා කාලය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස හා කර්මාන්ත ඇතුළු අමාත්‍යංශ ගණනාවක තනතුරු හොබවා තිබේ.