'පලස්තීනය නොව සාමය වෙනුවෙන් දුන් ඡන්දයක්' - විදේශ අමාත්‍ය අලි සබ්රි

ගාසා තීරයේ ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධයෙන්, ඉකුත් ඔක්තෝබර් මස 26 වෙනිදා රැස්වූ එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.

ජෝර්දානය ඇතුළු රටවල් 40කට අධික සංඛ්‍යාවක් විසින් මෙම යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ලැබීය.

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සහ සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ එම යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ද ඡන්දය ලබාදුන්නේ ය.

යෝජනාව ඉදිරිපත් කිරීමට හේතුව කුමක්ද?

පුද්ගලයන් 1,400ක් මරුමුවට පත් වූ සහ අවම වශයෙන් පුද්ගලයන් 239ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගිය හමාස් ප්‍රහාරයෙන් පසු ඔක්තෝබර් 7දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලමින් තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් සම්මුතියකට එළඹීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවස්ථා හතරක දී අපොහොසත් විය.

යෝජනාවේ අන්තර්ගතය කුමක්ද?

ජෝර්දාන ගෙන ආ යෝජනාවට ඊජිප්තුව, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු සාමාජික රටවල් 45ක් සහාය දක්වා තිබුණි.

යෝජනාවෙන්, "ක්ෂණික, කල් පවත්නා සහ තිරසාර මානුෂීය සටන් විරාමයක්" ඉල්ලා සිටියි. එසේම සියලුම පාර්ශවයන් ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලවන ලෙස ද, ගාසා තීරයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා "අඛණ්ඩ, ප්‍රමාණවත් සහ බාධාවකින් තොරව" ලබා දෙන ලෙස ද යෝජනාවෙන් ඉල්ලා තිබේ.

බලෙන් රඳවාගෙන සිටින සියලුම සිවිල් වැසියන් “වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කිරීම” මෙන්ම, ජාත්‍යන්තර නීතියට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ මානුෂීය සැලකීම ඉල්ලා සිටින ලෙස ද එමඟින් යෝජනාකර ඇත.

සාමාජික රටවල් දරනු ලැබූ අදහස් මොනවාද?

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට පක්ෂව මෙන්ම විපක්ෂව ද රටවල් කිහිපයක් අදහස් දක්වන ලදී.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපතිධුරය හොබවන ඩෙනිස් ෆ්‍රෑන්සිස් අදහස් දක්වමින්, ප්‍රචණ්ඩත්වය “දැන් අවසන් කළ යුතුය” යනුවෙන් පැවසුවේ ය.

සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වහාම සහ කොන්දේසි විරහිත මානුෂීය සටන් විරාමයක් සහ ආධාර කොරිඩෝවන් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවයි.

ගාසා තීරයේ පලස්තීනුවන් බෝම්බවලට හසුව සිටින විටදී අපි මෙහි රැස්වී සිටින බව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීම අමතමින් පලස්තීනයේ නිත්‍ය නිරීක්ෂක රියාද් මන්සුර් පැවසුවේය.

" පවුල් පිටින් මරණයට පත්වන විට, රෝහල් සේවා අක්‍රීය වෙමින් පවතින අවස්ථාවක, නිවෙස් සහිත ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල වන අවස්ථාවක, ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්‍ෂිත ස්ථානයක් නොමැතිව ජනතාව එක් පෙදෙසක සිට තවත් පෙදෙසකට යන අවස්ථාවක අප මෙතන රැස්වී සාකච්ජා කරමින් සිටිනවා," ඔහු පැවසීය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් ඊශ්‍රායල නිත්‍ය නියෝජිත ගිලාඩ් එර්දාන්, මෙම යුද්ධය පලස්තීනයට එරෙහිව සිදුකරනු ලබන යුද්ධයක් නොවන බව පැවසීය.

“ඊශ්‍රායලය ජනඝාතක ජිහාඩ් හමාස් ත්‍රස්ත සංවිධානය සමග යුද්ධයක යෙදී සිටිනවා. එය නූතන නාසීන්ට එරෙහිව ඊශ්‍රායලයේ නීතිගරුක ප්‍රජාතන්ත්‍රවාදය,” ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමට යෝජනාවලිය ඉදිරිපත් කළ ජෝර්දානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අයිමාන් සෆාදී සභාව අමතමින්, අප සාමය වෙනුවෙන් නැගී සිටිය යුතු බව පැවසුවේ ය.

"සාමය සඳහා ස්ථාවරයක් ඇති කරන්න, ජීවිතය සඳහා ස්ථාවරයක් ඇති කරන්න, එය පැහැදිලි කරන්න, එය ස්ථිර කරන්න," ඔහු පැවසුවේ ය.

ශ්‍රී ලංකාව සහාය පළ කළේ ඇයි?

මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය කළ විමසීමක දී විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි, ගාසා තීරයේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ගෙන ආ යෝජනාවකට ශ්‍රී ලංකාව සහය පළකළ බව පැවසුවේ ය.

කුමන පාර්ශවයක් ප්‍රචණ්ඩත්වය සිදුකළ ද එයට ශ්‍රී ලංකාව විරුද්ධ වන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

"කිසිම ප්‍රශ්නයකට ප්‍රචණ්ඩත්වය විසඳුමක් නෙමෙයි. විශේෂයෙන් ගාසා තීරයේ ජීවත් වෙන අහිංසක පීඩාවට පත් ජනතාව මේ පීඩාවෙන් ගලවා ගැනීම සහ මානුෂිය ආධාර සැපයීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න කියලයි මේකෙන් කියලා තියෙන්නේ. එය සාධාරණ ඉල්ලීමක්. ඒ නිසයි රටවල් 120ක් මේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ. මම හිතනවා ඒක හරි දේ කියන එක."

"ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාවට විශ්වාස කළ දෙයක් තමයි ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය යන දෙපාර්ශවයටම තමන්ගේ රටක් හා ජාතියක් ඇති කරගෙන ජීවත් වෙන්න හැකියාව තියෙන්න ඕන කියලා. ඒකට කියන්නේ Two State Solutions කියන එක. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම පෙනී ඉදලා තියෙනවා.

"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී 1967 වසරේ මේ ගැන ගිවිසුමක් ඇතිකර ගෙන තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි මේකට ප්‍රධාන හේතුව ලෙස අපි දකින්නේ."

"මහජනතාවට අවශ්‍ය මානුෂිය ආධාර සැපයීම සිදුකළ යුතුයි. ඔවුන් ජීවත් වන්නේ ලබාදෙන ආධාර මත. ඒ වගේම ඔවුන්ව ඉලක්කකොට ප්‍රහාර එල්ල කිරීම සිදුනොකළ යුතු බව ද අප කියා සිටිනවා. ඒ මහජනතාව රැකගත යුතු යි. මේ මානුෂිය හේතුන් සැළකිල්ලට ගනිමින් තමයි අප මෙම යෝජනාවට සහය දැක්වූයේ," අමාත්‍යවරයා පැවසීය.

ඊශ්‍රායලයේ ප්‍රතිචාරය කුමක් වෙයිද?

මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සිත් පළුඳුවීමක් ඇතිවේදැ යි බීබීසී සිංහල සේවය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් විමසීය.

"එහෙම වෙන්න දෙයක් නැහැ. මේක සාමය වෙනුවෙන් දුන් ඡන්දයක්. අපි මේ ඡන්දය පලස්තීනයට පක්ෂපාතීව දුන්න ඡන්දයක් නෙමෙයි. මානුෂිය මෙහෙයුම් සහ ප්‍රචණ්ඩත්වය විසඳුමක් නොවනවා වගේම දීර්ඝකාලීන විසදුමක් අවශ්‍යයි කියන එක සම්බන්ධයෙන් පදනම් කරගෙන දුන්න ඡන්දයක්.

"ඊශ්‍රායලයට විශාලම සහයෝගය දක්වන අමෙරිකාව පවා දැන් කියනවා රටවල් දෙකක් ස්ථාපිත කිරීමේ ස්ථිරසාර විසඳුම තමයි මේකට අවසන් විසඳුම කියලා. මම හිතන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් වෙයි කියලා.

"ඒක තමයි ලෝකයේ රටවල් 120ක ස්ථාවරය. විශේෂයෙන් ප්‍රංශය, නොර්වේ, ස්පාඤ්ඤය වගේ රටවල් පවා යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා," ඔහු පැවසුවේ ය.

ජෝර්දාන මූලිකත්වයෙන් සාමාජික රටවල් 45ක් විසින් ගෙන එන ලද එම යෝජනාවට පක්ෂව රටවල් 120ක් හා විපක්ෂව රටවල් 14ක් ඡන්දය දුන් අතර, තවත් රටවල් 45ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය.

පක්ෂව ඡන්දය දුන් රටවල් අතර රුසියාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නවසීලන්තය හා නොර්වේ ද විය.

විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවලට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළත් විය.

එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, ජපානය, නෙදර්ලන්තය, පෝලන්තය, ජර්මනිය වැනි රටවල් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය.