රන් ආලේපිත T-56 ගිනි අවිය: නඩුවෙන් දුමින්ද දිසානායක මුදා හැරීමට හේතුව

ඡායාරූප මූලාශ්‍රය, Duminda Dissanayake
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා අද (ජූලි 29 වැනිදා) නියෝග කළාය.
- සිව්වන සැකකරු වන දුමින්ද දිසානායකට එරෙහිව ගිනි අවි ආඥා පනතේ 22 වන සහා 43 වන වගන්ති යටතේ චෝදනා එල්ල කලද එම චෝදනා දෙක පවරා පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත්ව නොමැති වීම
- දුමින්ද දිසානායකට එරෙහිව සෘජු හා පරිවේශනීය සාක්ෂි නොමැති වීම
- දුමින්ද දිසානායකගේ සේවකයා විසින් පළමුවන සැකකාරියට භාරදුන් බවට පැවසෙන බෑගයේ ප්‍රශ්නගත ගිනියවිය තිබූ බවට සාක්ෂි වලින් සනාථ වී නොමැති වීම
- පළමු වන සැකකාරියගේ ප්‍රකාශය මත පදනම්ව පමණක් මෙම නඩුව ඉදිරියට ගෙනයාමට නොහැකි වීම
යන කරුණු මත සිව්වන සැකකරු වන දුමින්ද දිසානායක මුදා හැරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින 1,2 සැකකාරියන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නැවත මෙම නඩුව නොවැම්බර් 6 වන දින කැඳවීමට නියමිත ය.
පළමුවන සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩත්, දෙවන සැකකාරිය වෙනුවෙන් නීතිඥ තීක්ෂණ පතිරණ සහ 4 වන සැකකරු වන දුමින්ද දිසානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, රවී මතුගම, වරුණ ජයසිංහ ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියේ ය.
වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන්ට කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක පසුගිය මැයි (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට
හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක (මැයි 23 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගිනි.
වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත T-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එදින අත්අඩංගුවට ගැණුනි.

රන් ආලේපිත T56 ගිනිඅවිය
වැල්ලවත්ත, ප්‍රදේශයේ ප්‍රමුඛතම නිවාස සංකීර්ණයකින් ටී- 56 ගිනි අවියක් සොයා ගැණුනේ පසුගිය මැයි 20 වැනිදායි.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සිය නිවසට ටී56 ගිනි අවියක් රැගෙන යන දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු මේ බව පොලිසියට දන්වා තිබිණි.
පසුව පොලිසිය පැමිණ අදාළ නිවස පරීක්ෂා කළේය.
නිවස පරීක්ෂා කිරීමෙන් පසු, ගමන් මල්ලක බහා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය පොලිසිය විසින් සිය භාරයට රැගෙන යනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන තිබේ.
දුමින්ද දිසානායක යනු කවුද?
දුමින්ද දිසානායක යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි.
ඔහු උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ වැඩිමහල් පුත්‍රයාය.
දුමින්ද දිසානායක පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ, 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ය.
ඒවන විට ඔහුගේ වයස අවුරුදු 21ක් විය.
මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ 2007 වසරේදී ඔහු වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් කෙරුණි. අනතුරුව කැබිනට් නොවන අමාත්‍ය ධූර දරූ ඔහු 2015 ජනාධිපතිවරණයෙන්දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කළේය.
සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරයට පත් කෙරුණි.
එම පාලන කාලය තුළ ඔහු විසින් කෘෂි කර්ම අමාත්‍ය ධූරය මෙන්ම වාර්මාර්ග, ජලසම්පත් කළමනාකරණ ඇතුළු අමාත්‍ය ධූර ද හොඹවන ලදි.














