කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලානය: වාර්තාගත උඩපන්දු ගිලිහී යාමට හේතුව කුමක් ද?

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිදුවෙමින් පවතින විස්මිත ප්‍රවණතාවක් පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී තිබේ.

ඒ, උඩපන්දු ගිලිහී යාමේ විස්මිත ආකාරයේ ප්‍රවණතාවක් මතුව තිබීම පිළිබඳව ය.

ඔක්තෝබර් 6 වන දා වන විට තරගාවලියේ එතෙක් පැවති තරගවලදී උඩපන්දු 62ක් රැකගෙන තිබුණු අතර ගිලිහී ගිය උඩපන්දු සංඛ්‍යාව 35කි.

ඒ අනුව, උඩපන්දු රැක ගැනීමේ සාමාන්‍යය 63.9%කි.

ඇතැම් උඩපන්දු රැක ගැනීමට අසීරු තත්ත්වයක පැවතිය ද, උඩපන්දු රැක ගැනීමේ සාමාන්‍යය නම් සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පවතී.

පසුගිය තරගාවලිවල උඩපන්දු රැක ගැනීම්

2023 වසරේ මෙම තරගාවලියේදී උඩපන්දු 50ක් රැක ගත් අතර, 11ක් ගිලිහී ගොස් තිබිණි. එහි උඩපන්දු රැක ගැනීමේ සාමාන්‍යය 82%ක් විය.

2020 වසරේ තරගාවලියේදී උඩපන්දු 48ක් රැකගෙන 6ක් ගිලිහී ගියේ ය. එහි සාමාන්‍යය 89%කි.

2018 වසරේ තරගාවලිය තුළ ද උඩපන්දු රැක ගැනීමේ සාමාන්‍යය 85%ක් ලෙස පැවතිණි.

මෙවර තරගාවලියේදී මෙතරම් උඩපන්දු ගිලිහී යන්නේ ඇයි?

සිවිල් නොසන්සුන්තාවන් හේතුවෙන් 2024 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය කෙටි දැනුම්දීමකින් බංග්ලාදේශයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යන ලදී.

ඩුබායි සහ සාර්ජා යන නගර දෙකෙහි තරග පැවැත්වෙන අතර ක්‍රීඩාංගණ දෙක ම මීට පෙර විශේෂයෙන් පිරිමි ක්‍රිකට් තරග සඳහා සත්කාරකත්වය ලබා දී ඇත.

Covid-19 මගින් බලපෑමට ලක්ව තිබූ අවස්ථාවලදී ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරග රැසකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය ලබා දී ඇති අතර, 2020 සිට තරගාවලියේ තරග 10කට වඩා සත්කාරකත්වය දැක්වූ ක්‍රීඩාංගණ 14න් අඩු ම උඩපන්දු රැක ගැනීමේ සාර්ථකත්ව අනුපාතය ඩුබායි සතුව තිබේ.

IPL තරග 39කදී උඩපන්දු 322කින් 93ක් ගිලිහී තිබේ - සාර්ථකත්ව අනුපාතය 77.5%කි.

එක් සාධකයක් නම් ඩුබායි ක්‍රීඩාංගණවල සවි කර ඇති නවීනතම විදුලි පහන් පන්දු රකින්නන්ට බාධාවක් විය හැකි බව ය.

"ගිනි වළලු" (ring of fire) ලෙස හඳුන්වනු ලබන ඒවා සාම්ප්‍රදායික පයිලෝන් මාදිලියේ ආලෝක කුළුණු මෙන් නොව ක්‍රීඩාංගණයේ රවුම් වහල මත සවි කර ඇත. එය ක්‍රිකට් ක්‍රීඩාංගණ නිර්මාණකරණයට නව සංකල්පයක් වන නමුත් අනෙකුත් ක්‍රීඩාවල - විශේෂයෙන් ම පාපන්දු ක්‍රීඩාංගණවල භාවිත වේ.

ඒවා පන්දු රකින්නෙකුගේ ඇසට පහළින් දිස්වන අතර වේගයෙන් ගමන් කරන සුදු ක්‍රිකට් පන්දුවක් හඹා යාම වඩාත් අපහසු විය හැක.

තරගාවලියේ මෙතෙක් අසාර්ථක ම උඩපන්දු රැක ගැනීමේ ප්‍රතිශතය ඇති කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වන අතර, ඔවුන් රැකගෙන ඇත්තේ, ඔවුන්ට ලැබුණු උඩපන්දු අවස්ථාවලින් 33% ක් පමණි. ඔවුන්ගේ තරග දෙක ම ඩුබායිහි ක්‍රීඩා කර ඇත.

උඩ පන්දු රැක ගැනීමේ හොඳ ම ප්‍රතිශතය ඇති කණ්ඩායම වන්නේ, සාර්ජාහි දිවා කාලයේ ක්‍රීඩා කළ ලෝක ශූර ඔස්ට්‍රේලියාව යි.

කෙසේ වෙතත්, සාර්ජා ක්‍රීඩාංගණයේ, ඇත්ත වශයෙන් ම තරගාවලිය තුළ වඩා නරක උඩපන්දු රැක ගැනීමේ අනුපාතයක් ඇත.

සාජාහිදී උඩපන්දු 32ක් සහ ගිලිහීයාම් 21ක් (රැක ගැනීමේ ගැනීමේ සාර්ථකත්වය 60.3%) සහ ඩුබායිහිදී උඩපන්දු 30ක් සහ ගිලිහීයාම් 14ක් (68.1%) සිදුවී තිබේ.

එහි ඇති භූමිය මෑතකදී ප්‍රතිසංවර්ධනය කර ඇති අතර, පෙර භාවිත කළ විදුලි පහන් වෙනුවට LED විදුලි පහන් යොදා ඇත.

උඩපන්දු ගිලිහී යාමට හේතුව විදුලි පහන් විය හැකි ය, එසේ නැතහොත්, ක්‍රීඩිකාවන් තවමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට පුරුදු වෙමින් සිටීම විය හැකි ය.

ඊට එකතු කළ යුතු තවත් දෙයක් නම්, ක්‍රීඩාංගණ දෙකේදී ම උඩපන්දු ද සමාන අනුපාතයකින් දිවා කාලයේදී පහත වැටීම ය. ඊට හේතුව දීප්තිමත් හිරු එළිය ද? දැවෙන උණුසුම ද? ක්‍රීඩාංගණයේ සැලසුම ද?

අපි නිශ්චිතවම නොදනිමු - එය නිශ්චිත නිගමනය කිරීමට අපට ඇති නියැදියේ ප්‍රමාණය සුළු ය. නමුත්, කෙසේ වුව ද, පසුගිය වසරේ පැවති කාන්තා ලෝක කුසලානයේ උඩපන්දු රැක ගැනීමේ ප්‍රතිශතයට සාපේක්ෂව මෙවර එය 18% කින් පහත වැටී ඇත.

ආරම්භක දිනයේ උඩපන්දු 13ක් ගිලිහෙයි

මේ අතර, තරගාවලිය ආරම්භ වූ දිනයේ පැවති තරග දෙක තුළදී පමණක් උඩපන්දු 13ක් ගිලිහී ගියේ ය.

ඒ, බංග්ලාදේශය උඩපන්දු 4ක්, ස්කොට්ලන්තය 3ක්, ශ්‍රී ලංකාව 3ක් සහ පකිස්ථානය 3ක් වශයෙනි.

මේ අතර, පකිස්ථානය සහ ඉන්දියාව අතර පැවති තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවක අතින් ගිලිහෙන උඩපන්දුවක් දැකීමෙන් පකිස්ථාන ක්‍රීඩාගාරයේ සිටි ක්‍රීඩිකාවක පුදුමයට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

අවසානයේ මතක් කළ යුතු දෙයක් තිබේ. එනම්, ‘උඩපන්දු තරග දිනවයි’ (catches win matches) යන පැරණි කියමන යි.