ඇමෙරිකාවේ පැසිෆික් හමුදා ප්‍රධානියා මෙරටට ආවේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, PMD
ඇමෙරිකාව සහ චීනය යන රටවල් දෙකේ ම නාවික හමුදා නියෝජිතයින් ශ්‍රී ලංකාවට එකවර පැමිණීම විශේෂ සිද්ධියකි.
පසුගිය දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, සෑම රටක් සමග ම සමාන සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, US Embassy - Sri Lanka
ඇමෙරිකාවෙන් එන නාවික හමුදා අණදෙන නිලධාරියා කවුද?
2021 වසරට පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ ම මට්ටමේ හමුදා සංචාරයක් සනිටුහන් කරමින් ඇමෙරිකානු නාවික හමුදාවේ තරු 4 අද්මිරාල්වරයෙකු වන සහ ඇමෙරිකානු පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් අද (ඔක්: 10වැනිදා ) දිවයිනට පැමිණියේය.
අද පස්වරුවේ ඔහු ජනාධිපති අනුර කුමාරදිසානායක හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය.
මෙම සංචාරයේදී අද්මිරාල් කේලර්, ‘සවිමත්, තිරසර, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා, ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගිතාව යළි තහවුරු කරනු ඇතැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අද්මිරාල් කේලර් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන ආරක්ෂක අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් වීම, ආපදා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ අන්තර් ජාතික තර්ජනවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා වන එක්සත් ජනපදයේ ඇති කැපවීම නැවත තහවුරු කිරීමට මෙන් ම ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා පවත්වනු ඇත.
ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ ඇති, දැඩි කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කෙරේ.
චීනයෙන් ආ රුවල් යුද්ධ නෞකාව
මේ අතර, මහජන චීන විමුක්ති යුද්ධ නාවික හමුදාවේ 'PO LANG' පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 08 උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Sail Training Vessel වර්ගයට අයත් ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, දිගින් මීටර් 86කි.
නැව් මුළුව පුහුණු වන නිලධාරීන් 35 දෙනෙකු ඇතුළුව 130 දෙනෙකුගෙන් සමන්විත වේ.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy
මෙම නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් මා වෙන්යොං සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ද පසුගිය දා පැවැත්විණි.
දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම නෞකාවේ නැව් මුළුව සහභාගී වීමට ද නියමිත ය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy
එමෙන් ම, මෙම පුහුණු රුවල් නෞකාව මෙරට රඳවා තිබෙන කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම නෞකාව තුළදී පැවැත්වීමට ද නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මෙම නිල සංචාරය අවසන් කරමින්, ‘PO LANG’ පුහුණු රුවල් යුද්ධ නෞකාව 2024 ඔක්තෝබර් මස 11 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.
චීන නෞකා මෙරටට පැමිණීම ආන්දෝලනයට ලක්වුයේ ඊට අසලවැසි ඉන්දියාව විරෝධය පළ කිරීම හේතුවෙනි.
2022 වසරේදී යුආන් වැන්ග් 5 නැමත චීන පර්යේෂණ නෞකාවක් හම්බන්තොට වරායට පැමිණියේය.
මෙය ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස හා තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින් ඉන්දියාව මතුකළ විරෝධය සමඟ චීන නෞකාවේ පැමිණීම ආන්දෝලාත්මක තත්ත්වයකට පත්විය.














