Q & A: කොවිඩ්වලින් ආරක්ෂා වෙන්න ඔබ දැන ගත යුතු කරුණු 7ක්

Covid SL

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/NurPhoto

    • Author, බීබීසී සිංහල

ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක හිස ඔසවමින් පවතින කොවිඩ්-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද සෞඛ්‍ය අංශවල අවධානය ඒ කෙරෙහි යොමුව තිබේ.

සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය සහ ඉන්දියාවේ කොරෝනාවෛරස් ආසාදිතයින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේ පැතිර යන්නේ, කොරෝනාවෛරස් ප්‍ර⁣භේදයක් වන NB.1.8.1 වෛරසය බව වෛද්‍ය අංශ පවසති.

'ශ්‍රී ලංකාවට එන්නේ නැහැ කියලා කියන්න බැහැ'

ආසියානු රටවල් කිහිපයක වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වන්නේ දැයි සොයා බැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ය.

ජනතාවට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව පැවසූ වෛද්‍යවරයා, කෙසේ වෙතත්, මෙම වෛරස් ප්‍රභේදය මෙරටට නොඑනු ඇති බව ඉන් අදහස් නොවන බව ද මැයි 28 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

"අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ඊයේ තමා ප්‍රධාන සාකච්ඡාව පැවැත්වුණේ. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණවක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ, ශ්‍රී ලංකාවට මේක එන්නේ නැහැයි කියලා. ආසියාවේ තමයි විශේෂයෙන් කොවිඩ් වැඩි වීමක් තියනේනේ."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගෙන ඇති පියවර

ප්‍රජාව තුළ වෛරසයට ඔරොත්තු දීමට ඇති හැකියාව අඩු වීම ඇතුළු සාධක කිහිපයක් හේතුවෙන් ආසියානු රටවල් කිහිපයක කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මීට දින කිහිපයකට ඉහතදී නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ජාතික මට්ටමින් සූදානම් වන බවත්, මහජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර තීව්‍ර කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

'දැනට කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක් නැහැ'

කොවිඩ්-19 සඳහා සායනික සම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරා ගත් රෝහල්වල අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, එම අවේක්ෂණයට අනුව දැනට කොවිඩ්-19 රෝගීන් වැඩිවීමක් පෙන්නුම් නොකරන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛය ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ⁣විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

මුඛ ආවරණ පැළඳීම සහ දෑත් සේදීම කළ යුතු ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කලාපයේ රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හමුවේ මෙරට ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව බීබීසි සිංහල සේවය ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ, ප්‍රජා වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය කසුනි අතපත්තුගෙන් කරුණු විමසීය.

"කොවිඩ් කියන්නේ සාර්ස් කියන වෛරස් කාණ්ඩයේ එකක්. ඒ වෛරස් කාණ්ඩය කාලෙන් කාලෙට ජනතාව අතර පැතිරීමක් දකින්න ලැබෙනවා. කොවිඩ් ඇතුළුව අනිකුත් ශ්වසන මාර්ගය ආශ්‍රිතව ආසාදනය වන වෛරස්වල පොදු ලක්ෂණ කිහිපයක් දක්නට ලැබෙනවා. කෙළ බිඳිතිවලින්, ශ්වසන මාර්ගයේ තියෙන තරලවලින් තමයි ඒවා පැතිරෙන්නේ. ඒ ආසාදන පොදු රටාවකට පැතිරෙන නිසා ඒවා වළක්වා ගන්නත් පොදු ක්‍රම කිහිපයක් තිබෙනවා."

"කොවිඩ් ගොඩක් පැතිරීගෙන යද්දී මාස්ක් දැමීම, මීටරයේ දුර තබා ගැනීම අත්‍යාවශ්‍ය තත්ත්වයක් වුණා. දැන් පවතින තත්ත්වය යටතේ කාට හරි කැස්ස, කිවිසුම වගේ දේවල් තියෙනවා නම්, බිඳිති ඈතට විසිරෙන්නේ නැති වෙන්න අතේ උඩ බාහුවෙන් ඇතුළු පැත්තට කිවිසීම, නැති නම් ටිෂූ එකක් හරි ලේන්සුවක් හරි පාවිච්චි කරලා ඒවා හරි විදිහට ඉවත දැමීමට පුරුදු පුහුණු වීම වගේ ම දෑත් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. ඒවා හරියට කළොත් කොව්ඩ් ඇතුළු ස්වසන රෝග පැතිරීම වළක්වා ගන්න පුළුවන්."

'රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්?'

"උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ තියෙන කෙනෙක් සෙනඟ ගැවසෙන තැනකට වගේ යනවා නම් මාස්ක් එකක් දාන එක අනිත් අයගේ ආරක්ෂාවට හොඳ යි. නමුත් දැන් නිරන්තරයෙන් මාස්ක් එක දාගෙන ඉන්න කියලා කිව්වේ නැති වුණාට අත් සේදීම, පෘෂ්ට පිරිසිදුව තබා ගැනීම වැනි සරල දේවල්වලට වඩාත් යොමු වීම සුදුසු යි."

කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයෙකු ආරක්ෂා විය යුත්තේ කෙසේ ද?

"අපිට කෘත්‍රිමව ප්‍රතිශක්තිකරණය ලැබෙන ක්‍රමයක් තමයි එන්නත්. එතනදී කරන්නේ, බලය දුබල කරපු වෛරස් ඇඟ ඇතුළට යවලා ඒකට ශරීරයේ ප්‍රතිශක්තිකරණය හැදෙන්න දෙන එක."

"පහුගිය කාලයේ කොවිඩ් පැතිරීම වැඩි වෙද්දි වැඩි දෙනෙක් කොවිඩ් වැක්සීන් එක ලබා ගත්ත නිසා සමස්තයක් විදිහට බලද්දී සෞඛ්‍ය ආරක්ෂාව හොඳ මට්ටමක පැවතීමට ඒක හේතු වුණා. ඒත්, කොවිඩ් වැක්සීන් එක ගත්ත නැති කෙනෙකුට පෞද්ගලිකව වැක්සීන් එකෙන් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ."

"කොවිඩ් වැක්සීන් ගත්ත නැති කෙනෙක්ට නිතර අත සෝදලා, සැක සහිත අය තමන්ගේ වටපිටාවේ ඉන්නවා නම් මාස්ක් එකක් පැළඳලා, පෘෂ්ට පිරිසිදු කරලා, ඒ වගේ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරල ඒ අයට තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්න පුළුවන්."

⁣කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයින් සම්පූර්ණයෙන් ම ආරක්ෂිත ද?

virus

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"කොවිඩ් කියන්නේ ලොකු වෛරස් කාණ්ඩයක කෑල්ලක්. හැම කාලෙක ම එන්නේ එක ම වෛරස් එක නොවෙන්න පුළුවන්. ඒ ඒ කාලයට සංසරණය වන වෛරස් වර්ගයට අනුව තීරණය වෙනවා දැනට ඇඟ ඇතුළෙ හැදී ඇති ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් ද කියන කාරණාව."

"ඒ ඒ කාලයට සංසරණය වන වෛරස් වර්ගය බලලා, පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිකරණය හැදිලා ද කියලා අධ්‍යයනය කරලා බලලා තමයි ඒ ගැන තීරණය කරන්නේ."

විදේශ සංචාරවල නිරත වන පුද්ගලයන් පිළිපැදිය යුතු උපදෙස්

"හැමෝම අල්ලන පෘෂ්ට ඇල්ලීම අවම කරලා, නිතර අත් පිරිසිදු කරලා, ගොඩක් සෙනඟ ඉන්න තැන්වල මාස්ක් එකක් පාවිච්චි කරලා, රෝග ලක්ෂණ තියෙන අයගෙන් ඈත් වෙලා ඉඳලා ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. විදෙස් සංචාරවලදී කොවිඩ් එන්නත් ලබාගෙන තියෙනවා ද කියන එක ඒ රටවල්වලදී බොහෝවිට සලකා බලනවා. ඊට අමතරව විදේශ රටකදී රෝග ලක්ෂණ පහළ වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු යි."

කොවිඩ් ව්‍යාප්තිය ඇති රටක සිට පුද්ගලයෙකු මෙරටට පැමිණයහොත් ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?

"කොවිඩ් පැතිරෙමින් තිබුණ කාලේ රට යන සහ රට ඉඳලා එන අය සම්බන්ධයෙන් කාලෙන් කාලෙට යාවත්කාලීන කරමින් මාර්ගෝපදේශ පැනෙව්වා. එහෙම එන කෙනෙකුට මොනවා හරි සැක සහිත රෝග ලක්ෂණ පහළ වෙනවා නම් වෛද්‍යවරයෙකු උපදෙස් ලබා ගැනීම සුදුසු යි."

"ඒ වගේ ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරයා (MOH), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කිරීම වැදගත් වෙනවා."

විදේශ සංචාරකයන් සමග නිරන්තරයෙන් කටයුතු කරන්නන් පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද?

"සංචාරකයන් සමග නිතර වැඩ කරන පුද්ගලයෙක් නම් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනෙ. මොක ද මේ දවස්වල අනිකුත් රටවල්වලත් ශ්වසන මාර්ග ආශ්‍රිත රෝග පැතිරෙන නිසා ඒ වගේ වෙලාවට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ."

"ඒ වගේ ම සංචාරකයින්ගේ තොරතුරු තබා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. ඒ හරහා රෝගය ව්‍යාප්ත වුණ විදිය සොයා ගන්න පහසු යි. එතකොට හදිස්සි තත්ත්වයක් ඇති වුණොත් ඉදිරියේදී කරන්න තියෙන දේවල්වලට ඒක ලොකු උදව්වක් වෙනවා."

"වායු සමීකරණය කරන ලද වාහනයක් ඇතුළේ හරි වාතාශ්‍රාය අඩු තැනක හරි ඉන්න වෙලාවට රෝග ලක්ෂණ තියෙන අය ඉන්නව නම් ඒ අවස්ථාව ගැන සැලකිලිමත් වෙලා මාස්ක් එකක් පැළදීම වැදගත්."

නිධන්ගත රෝග ඇති පුද්ගලයන් සහ වයස්ගත පුද්ගලයින් ආරක්ෂා විය යුත්තේ කෙසේ ද?

"නිධන්ගත රෝග සහ වයස්ගත කියන කාණ්ඩ ඕනෑ ම ආසාදනයකදී ටිකක් අධිඅවදානම් තත්ත්වයක ඉන්නේ. ඒ නිසා ඉතා ම වැදගත් දැනට යම් බෙහෙතක් පාවිච්චි කරනවා නම් ඒවා නිරන්තරයෙන් පාවිච්චි කිරීම. ඒ වගේ ම නිසි පෝෂණයක් පවත්වා ගැනීම වැදගත්."

"ඒ වගේ ම කැස්ස, හෙම්බිරිස්සාව හෝ වෙනත් ශ්වසන රෝග ලක්ෂණ එනවා නම් අනිත් අයට වඩා වයස්ගත හෝ නිධන්ගත රෝග ඇති අය ඉතා ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අයගේ ප්‍රතිශක්තිකරණය අඩු නිසා රෝග වැළඳුණාට පස්සෙ සංකූලතා ඇති වෙන්න තියෙන අවදානම ටිකක් වැඩි යි. ඒ නිසා තමන්ට සැකයක් තියෙනවා නම්, රෝගය තහවුරු වුණ කෙනෙක් එක්ක ළඟින් හිටියා නම් ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු වීම ඉතා ම වැදගත්."