ඇඩම් බ්‍රිටන්: සුනඛයින් ලිංගික අපයෝජනයට ලක් කළ බව පිළිගත් බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයා

 ඇඩම් බ්‍රිටන් තමන් විසින් ම සුනඛයින් විශාල ගණනක් මරණාසන්න වන තුරු වධ හිංසාවට ලක් කරන අයුරු රූගත කරනු ලැබ ඇත

ඡායාරූප මූලාශ්‍රය, SUPPLIED

    • Author, ටිෆනි ටර්න්බුල්
    • Role, බීබීසී පුවත්, සිඩ්නි

සතුන් සමග ලිංගිකව හැසිරුණු බවට සහ ළමා අපචාර අඩංගු අන්තර්ගතයන් සම්බන්ධ චෝදනා 60කට තමන් වරදකරු යැයි සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයෙකු පිළිගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු අධිකරණයකදී හෙළිව ඇත්තේ, ඇඩම් බ්‍රිටන් තමන් විසින් ම සුනඛයින් විශාල ගණනක් මරණාසන්න වන තුරු වධ හිංසාවට ලක් කරන අයුරු රූගත කරනු ලැබ ඇති බව ය.

අනතුරුව ඔහු එම දර්ශන ඉන්ටර්නෙට්හි පළ කර ඇති අතර ඒ හරහා ඔහු ළමා අපයෝජන සම්බන්ධ අන්තර්ගතයන් වෙත ද ප්‍රවේශ වී තිබේ.

බීබීසී සහ නැෂනල් ජියෝග්‍රැෆික් නිෂ්පාදන සඳහා සිය දායකත්වය සපයා ඇති ප්‍රමුඛ පෙළේ සත්ව විද්‍යාඥයෙකු වන බ්‍රිටන්ට පසු දිනක දඩුවම් නියම කෙරෙනු ඇත.

සඳුදා නොදර්න් ටෙරිටොරි ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයකදී, පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් ඔහුට එරෙහි චෝදනාවලට සම්බන්ධ සාක්ෂි සහ තර්ක ඉදිරිපත් කරනු ලැබී ය.

බ්‍රිටන් සිදු කළ අපරාධ පිළිබඳ බොහෝ තොරතුරු පළ කිරීමට නොහැකි තරම් අසැබි සහ "විකාරරූපී" වූ අතර විනිසුරුවරයා අධිකරණ ශාලාවේ සිටි පිරිස් වෙත ඉන් පිටව යන ලෙස පවා උපදෙස් දුන්නේ ය.

අගවිනිසුරු මයිකල් ග්‍රාන්ට්, ආරක්ෂක නිලධාරීන්ට සහ කනිෂ්ඨ අධිකරණ නිලධාරීන්ට අධිකරණ ශාලාවෙන් පිටව යාමට අවසර දීමේ දුර්ලභ පියවර ගැනීමට පෙර, නඩු විභාගය අතරතුර සඳහන් වන කරුණු හේතුවෙන් "දැඩි ලෙස කම්පනයට" පත් විය හැකි බවට අවධාරණය කළේ යැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය.

බ්‍රිටන්ට අවම වශයෙන් 2014 වසරේ සිට සතුන් කෙරෙහි "පරපීඩක ලිංගික රුචියක්" තිබී ඇතැයි පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, ඔහු තමන්ගේ ම සුරතල් සතුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට අමතරව, සුනඛයින් හිමි වෙනත් පුද්ගලයින්ට ඔවුන්ගේ සුරතල් සතුන් ලබා දෙන ලෙසට ද බලපෑම් කර තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහු මාර්ගගත වෙළඳපොළක් වන 'Gumtree Australia' භාවිත කර සංචාරක හෝ රැකියා කටයුතු හේතුවෙන් තම සුරතල් සතුන් බොහෝ විට අකමැත්තෙන් අතහැර දමා යාමට සිදුවන පුද්ගලයින් සොයා ගොස් ඇති අතර ඒ ඔස්සේ සතුන්ගේ නීත්‍යනුකූල අයිතිය ලබා ගැනීමට සාකච්ඡා කිරීම සඳහා ඔවුන් සමග "සම්බන්ධතා" ගොඩනගා ගෙන ඇත. ඔවුන් ඔවුන්ගේ සුරතල් සතුන් පිළිබඳ තොරතුරු දැන දැනීම සඳහා බ්‍රිටන් සම්බන්ධ කර ගන්නා අවස්ථාවලදී, ඔහු ඔවුන්ට "බොරු කතාවක්" පවසා එම සතුන්ගේ පැරණි ඡායාරූප ඔවුන් වෙත යැවීම සිදු කර තිබේ.

සැබවින් ම, ඔහු එම සතුන් අපයෝජනය කර ඇත්තේ, ඔහුට අයත් දේපළක ඇති රූගත කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සවි කර තිබුණු කන්ටේනර් පෙට්ටියක් තුළ සිට ය. අධිකරණයේදී හෙළි වී ඇත්තේ, ඔහු එය "වධකාගාරය" ලෙසින් හඳුන්වා ඇති බව ත්, සිය අපරාධ ඇතුළත් අදාළ දර්ශන ඉන්ටර්නෙට් වෙත මුදා හැර ඇත්තේ ව්‍යාජ නාම භාවිත කරමින් බව ත් ය.

එවැනි වීඩියෝවක් අවසානයේ 2022 අප්‍රේල් මාසයේදී බ්‍රිටන් අත්අඩංගුවට ගත් නොදර්න් ටෙරිටොරි පොලිසිය වෙත ලැබී තිබිණි.

අත්අඩංගුවට පත් වීමට පෙර ගත වුණු මාස 18ක කාලය තුළ ඔහු අපයෝජනයට ලක් කළ සුනඛයන් 42 දෙනෙකුගෙන් 39 දෙනෙකු මිය ගොස් තිබේ.

බ්‍රිටන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර දෙසැම්බර් මාසයේදී දඬුවම් නියම කිරීම සඳහා නැවත අධිකරණය හමුවට පැමිණෙනු ඇත.

බටහිර යෝක්ෂයර්හි උපත ලද බ්‍රිටන්, කිඹුලන් සම්බන්ධ කටයුතු ඇරඹීම සඳහා වසර 20කට පෙර ඔස්ට්‍රේලියාවට යාමට පෙර එක්සත් රාජධානියේ හැදී වැඩිණි.

සත්ව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සමගින්, 51 හැවිරිදි විය පසුවන ඔහු චාල්ස් ඩාවින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන තනතුරක් හොබවමින් සහ ඩේවිඩ් ඇටෙන්බරෝට සත්කාරකත්වය ලබා දෙමින් එම ප්‍රවීණ වැඩසටහන් ඉදිරිපත් කරන්නාගේ වාර්තා වැඩසටහන් මාලාවක් වන 'Life in Cold Blood'හි කොටසක් රූගත කිරීමට ඔහුට අයත් දේපළ ලබා දී ගෝලීය වශයෙන් කීර්තියක් අත් කරගෙන සිටි අයෙකු විය.