'යෙහෝවා සාක්ෂිකරුවන්' පිරිසක් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

"යෙහෝවා සාක්ෂිකරුවන්" නමැති ආගමික නිකායේ ආගමික ප්‍රචාරක කටයුතු වල නිරතව සිටියදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව එහි අනුගාමිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම තුළින් වලස්මුල්ල පොලිසිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි අද (මැයි 22 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"යෙහෝවා සාක්ෂිකරුවන්" නමැති ආගමික නිකායේ ආගමික ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී "කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව" එහි අනුගාමිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම තුළින් වලස්මුල්ල පොලිසිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි අද (මැයි 22 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

ඒ අනුව, එක් එක් පෙත්සම්කරුට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙස එවකට වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එස්.ජේ.බී. සුවාරිස්ට අධිකරණය විසින් නියෝග කරනු ලැබී ය.

ඊට අමතරව, රජය ඔවුන්ට රුපියල් 25,000 බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ, යෙහෝවා සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානයේ සාමාජිකයන් වන කල්‍යාණි ද සිල්වා, මාලා මල්කාන්ති, නිරූපා ඇන්තනි සහ අමා ලියනගේ යන පිරිස ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

පෙත්සම්කරුවන් සඳහන් කළේ, 2014 ඔක්තෝබර් 29 වන දින වලස්මුල්ල ප්‍රදේශයේ සිය ආගමික ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටියදී එම ස්ථානයට පැමිණි බෞද්ධ භික්ෂුවක් තමන්ට බැන වැදුණු බව ය.

ඉන්පසුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශ වාසීන් පිරිසක් එම භික්ෂුව සමග එක්ව තමන්ට බැන වැදුණු බවත් පෙත්සම්කරුවෝ පැවසූහ.

එම අවස්ථාවේදී තමන් පොලිසියට කතා කළ බවත් ජීප් රථ දෙකකින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් තමන් ආරක්‍ෂා කිරීම වෙනුවට ප්‍රදේශ වාසීන් සමග එකතු වී ඔවුන් ද තමන්ට බැන වදින්නට පටන් ගත් බවත් පෙස්සම්කරුවෝ චෝදනා කළහ.

ඉන් අනතුරුව කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා පොලිසිය තමන්ව අත්අඩංගුවට ගෙන වලස්මුල්ල පොලිස් ස්ථානයට රැගෙන ගිය බවත්, අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ බවත් පෙත්සම්කරුවන් සඳහන් කළේ ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සමකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතු වූ සාධාරණ කරුණු පෙත්සම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර නොමැති බව ය.

ඒ අනුව, පොලිසිය කළ එම අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව විනිසුරු මඩුල්ල තීන්දු කළේ ය.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.