ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලයත් සමග මිනිස් මොළය කුඩා වීමේ හේතුව පිළිබඳ අභිරහස
- Author, ජැස්මින් ෆොක්ස් ස්කෙලී
- Role, බීබීසී
මීට වසර 100,000කට පෙර විසූ හෝමෝ සේපියන් මානවයින්ගේ මොළයේ ප්‍රමාණයට වඩා නූතන මානවයින්ගේ මොළයේ විශාලත්වය 13%කින් පමණ කුඩා වී තිබේ. එයට හේතුව කුමක් ද යන්න තවමත් පර්යේෂකයින්ට ප්‍රෙහේළිකාවකි.
මානව විශේෂය අනෙකුත් සතුන්ගෙන් වෙන් වන්නේ, අප සතු "විශාල මොළය" හේතුවෙන් බව සාම්ප්‍රදායිකව සැලකේ. සිතීමට සහ නවෝත්පාදනය සඳහා අප සතු ධාරිතාව, පළමු සිතුවම නිර්මාණය කිරීමට, රෝදය නිපදවීමට සහ සඳ තරණය කිරීමට පවා අපට අවස්ථාව සැලසිණි.
නිසැකව ම, සමාන ශරීර විශාලත්වයක් සහිත වෙනත් සතුන් සමග සැසඳීමේදී, අපගේ මොළය අතිවිශාල එකකි. මානව විශේෂය අවසන් වරට චිම්පන්සියන් සමග පොදු මුතුන්මිත්තෙකු බෙදා ගත් දා සිට වසර මිලියන හයක කාලය තුළ මිනිස් මොළය හතර ගුණයකින් විශාල වී තිබිණි. කෙසේ වෙතත්, අධ්‍යයනවලින් පෙනී යන්නේ, විශාල මොළයක් ඇති වීමේ මෙම ප්‍රවණතාව හෝමෝ සේපියන් අවධියේ සිට පරිවර්තනයකට ලක්වී ඇති බව ය. මානව විශේෂයේ, පසුගිය වසර 100,000 තුළ මොළයේ විශාලත්වය අඩු වී ඇත.
නිදසුනක් වශයෙන්, 2023 වසරේ කළ අධ්‍යයනයකදී, නිව් යෝර්ක්හි පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ අමෙරිකානු කෞතුකාගාරයේ ෆොසිල විද්‍යාඥ සහ භාරකරු ඉයන් ටැටර්සෝල්, පුරාණ හොමිනින්වරුන්ගේ මොළයේ විශාලත්වය කාලයට අනුරූපීව නිරීක්ෂණය කළේ ය. ඔහු සිය නිරීක්ෂණ දැනට හඳුනාගෙන ඇති පැරණිතම විශේෂයෙන් ආරම්භ කර නූතන මානවයාගෙන් අවසන් කළේ ය.
විවිධ හොමිනින් විශේෂවල ආසියාවේ, යුරෝපයේ සහ අප්‍රිකාවේ විවිධ කාලවලදී ස්වාධීනව මොළයේ ප්‍රසාරණය ශීඝ්‍රයෙන් සිදුවූ බව ඔහු සොයා ගත්තේ ය. කාලයත් සමග මොළයේ විශාලත්වය වැඩි වූ විශේෂ අතර ඔස්ට්‍රලෝපිතෙකස් ඇෆරෙන්සිස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් සහ හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් යන විශේෂ ඇතුළත් වේ.
කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් මොළය විශාල වීමේ ප්‍රවණතාව නූතන මානවයාගේ පැමිණීමත් සමග වෙනස් විය. වර්තමාන පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිස් කබල අවසන් අයිස් යුගයේ ජීවත් වූ හෝමෝ සේපියන් විශේෂයේ හිස් කබලට වඩා සාමාන්‍යයෙන් 12.7%කින් කුඩා ය.
"අපට තියෙන්නේ විශේෂ හැඩයක් ගත්ත හිස් කබලක්. ඒ නිසා මුල් යුගයේ මානවයින්ව පහසුවෙන් හඳුනගන්න පුළුවන්. ඒ වගේ ම, මුල් ම කාලයේ මානවයින්ට තිබුණේ, අතිශයින් විශාල මොළයක්," ටැටර්සෝල් පවසයි.
ටැටර්සෝල්ගේ සොයා ගැනීම අන් අයගේ සොයා ගැනීම්වලට සමාන ය. උදාහරණයක් ලෙස, 1934 වසරේදී ඉලිනොයිස්හි චිකාගෝ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ ගර්හාඩ් වොන් බොනින් මෙසේ ලියා තිබිණි. "අවම වශයෙන් පසුගිය අවුරුදු 10,000 හෝ 20,000 තුළ යුරෝපයේ [මිනිස් මොළයේ] විශාලත්වයේ අඩුවීමක් පිළිබඳ නිශ්චිත ඇඟවීමක් තිබේ."
එසේ නම්, මෙම කැපීපෙනෙන අඩු වීම පැහැදිලි කළ හැක්කේ කෙසේ ද? ටැටර්සෝල් යෝජනා කරන්නේ, මොළයේ විශාලත්වය අඩු වීම, වසර 100,000කට පමණ පෙර ආරම්භ වූ බවට ය. එය මිනිසුන් වටපිටාව වඩා හොඳින් තේරුම් ගැනීම සඳහා වඩාත් වියුක්ත ආකාරයකින් සිතීම හෙවත් වඩාත් අවබෝධාත්මක චින්තනයේ සිට ඔහු "සංකේතාත්මක තොරතුරු සැකසීම" ලෙස හඳුන්වන මට්ටමට මාරු වූ කාල පරිච්ඡේදයට අනුරූප වේ.
"මානවයින් සංකේතාත්මක කෞතුක වස්තු සහ අර්ථවත් ජ්‍යාමිතික රූප සහිත කැටයම් නිර්මාණය කිරීමට පටන් ගත් කාලය මේක යි," ටැටර්සෝල් පවසයි.
ටැටර්සෝල් විශ්වාස කරන්නේ, චින්තන විලාසය වෙනස් වීමට හේතු වූ උත්ප්‍රේරකය වන්නේ භාෂාවේ නිරායාස සොයා ගැනීම බව ය. මිනිසුන්ට වඩ වඩාත් "ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට" ඉඩ සලසමින්, මෙය මොළයේ ස්නායු මාර්ග වඩාත් පරිවෘත්තීය කාර්යක්ෂම ආකාරයකින් ප්‍රතිසංවිධානය කිරීමට හේතු විය.
වෙනත් වචනවලින් කිවහොත්, කුඩා හා වඩා හොඳින් සංවිධිත මොළයට වඩාත් සංකීර්ණ ගණනය කිරීම් කළ හැකි වූ බැවින්, සරලව ම විශාල මොළයක් අනවශ්‍ය දෙයක් බවට පත් විය.
"මට පෙනෙන විදිහට, බොහෝ විට අපට පෙර පර්යේෂණ කරපු අය යම් ආකාරයක දෝෂසහගත ආකාරයකින් තොරතුරු සකස් කරලා තියෙනවා. ඔහු ඒ සන්දර්භය ඇතුළේ බුද්ධිය මැනලා තියෙන්නේ, මොළයේ විශාලත්වය අනුව යි. ඒ නිසා ඔබේ මොළය විශාල වන තරමට ඔබේ බුද්ධිය හීන වුණා," ටැටර්සෝල් පවසයි.
"ඒත් අපි හිතන විදිහ වෙනස්. අපි අවට ලෝකය ව්‍යුක්ත සංකේතමය වචන මාලාවක් බවට වෙන් කරලා, 'එසේ නම් කුමක් ද?' වැනි ප්‍රශ්න ඇසීමට එම සංකේත නැවත එක්රැස් කරනවා.
"මේ ආකාරයේ සංකේතාත්මක චින්තනයට පෙර පැවති ප්‍රමාණයට වඩා මොළයේ අභ්‍යන්තර සම්බන්ධතා සමූහයක් අවශ්‍ය වන්නට ඇති. මගේ යෝජනාව නම් මෙම අමතර සම්බන්ධතා තිබීමෙන් මොළයට වඩාත් කාර්යක්ෂම ආකාරයකින් ක්‍රියා කිරීමට ඉඩ සැලසෙන බවයි."
කෙසේ වෙතත් අනෙකුත් ෆොසිල විද්‍යාඥයින් තර්ක කරන්නේ, ටැටර්සෝල් යෝජනා කරනවාට වඩා මෑතදී මොළය කුඩා වීමට පටන් ගත් බව ය. එනම් සිදුවූ වෙනස භාෂාවට සම්බන්ධ කළ නොහැකි බව ය. ටැටර්සෝල් විසින් භාෂා ආරම්භය සම්බන්ධයෙන් (වසර 100,000 කට පෙර) සටහන් කර ඇති දිනය ද විවාදාත්මක ය.
"මම මේ න්‍යායට ගොඩක් කැමති යි. මම හිතන්නේ ඇත්තට ම ඒක විශිෂ්ට යි," කැලිෆෝනියාවේ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ විද්‍යාඥ ජෙෆ් මෝගන් ස්ටිබල් පවසයි.
"ඒත්, වසර 100,000ක් තරම් ඈත කාලයක සිට මොළයේ විශාලත්වය නැවත වැඩි වීම ආරම්භ වූ යම් අවස්ථාවකදී විශාලත්වයෙහි අඩුවීමක් සිදු වූ බව පෙන්විය හැකි දත්ත අප දැක නැත. ඒ කාලයේ යම් අඩුවීමක් තිබුණා. ඒත්, පස්සේ මොළයේ විශාලත්වය නැවත වර්ධනය වීමට පටන් ගත් නිසා දත්ත තවමත් එම උපකල්පනයට ගැලපෙන්නෙ නෑ."
ස්ටිබල් විශ්වාස කරන්නේ, වෙනස් වන දේශගුණයකට මිස භාෂාවට අපගේ කුඩා මොළය ගැන පැහැදිලි කිරීමක් කළ නොහැකි බව ය. 2023 වසරේ කළ අධ්‍යයනයකදී ඔහු පසුගිය වසර 50,000 තුළ හෝමෝ සේපියන් 298 දෙනෙකුගේ හිස් කබල විශ්ලේෂණය කළේ ය. පසුගිය වසර 17,000ක පමණ කාලයක සිට, එනම් අවසාන අයිස් යුගයේ අවසානයේ සිට, මිනිස් මොළය හැකිලෙමින් පවතින බව ඔහු සොයා ගත්තේ ය. ඔහු දේශගුණ වාර්තාව හොඳින් පරීක්‍ෂා කළ විට, මොළයේ ප්‍රමාණය අඩුවීම දේශගුණික උෂ්ණත්වය ඉහළ යාමේ කාල පරිච්ඡේදයන් සමග සහසම්බන්ධ වන බව ඔහු සොයා ගත්තේ ය.
"අපි දැක්ක දේ නම්, දේශගුණය උණුසුම් වන තරමට, මිනිසුන්ගේ මොළයේ ප්‍රමාණය කුඩා වන අතර, දේශගුණය සිසිල් වන තරමට මොළය විශාල වෙනවා," ස්ටිබල් පවසයි.
මිනිසුන්ට ඉක්මනින් සිසිල් වීමට ඉඩ සලසා දීමට විශාලත්වයෙන් කුඩා මොළයට හැකියාව තිබේ. උණුසුම් දේශගුණයේ සිටින මිනිසුන් උණුසුම අඩු කර ගැනීම සඳහා සිහින් සහ උස ශරීර පරිණාමනය වී ඇති බව දන්නා කරුණකි. අපගේ මොළය ද ඒ ආකාරයට ම පරිණාමය වූවා විය හැකි ය.
"මේ දිනවල උණුසුම වැඩි වුණොත් අපට ටී ෂර්ට් එකක් අඳින්න පුළුවන්, පිහිනුම් තටාකයකට පනින්න පුළුවන්, එහෙම නැත්නම් වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒත්, අවුරුදු 15,000කට කලින් මේ විකල්ප අපට තිබුණෙ නෑ," ස්ටිබල් පවසයි.
"මොළය අපගේ ශරීර ස්කන්ධයෙන් 2%ක් පමණ බරින් යුක්ත වුණත්, අපගේ පරිවෘත්තීය ශක්තියෙන් 20%කට වඩා පරිභෝජනය කරන බැවින් මොළය සියලු අවයවවල වැඩි ම ශක්ති පරිභෝජකයා යි. ඒ නිසා, මොළය, බලශක්තිය හා උණුසුම විශාල ලෙස පරිභෝජනය කරනවා නම්, එය දේශගුණයට ද අනුගත විය යුතු යි. අපගේ න්‍යාය වන්නේ, කුඩා මොළය වඩා හොඳින් උණුසුම අඩු කරන අතර උණුසුම අඩුවෙන් නිපදවන බව යි."
මෙම සොයා ගැනීම්වලින් යෝජනා කරන්නේ, වර්තමානයේ ශීඝ්‍රයෙන් උණුසුම් වන පෘථිවිය අපගේ මොළය තවත් හකුළුවා ලීමට හේතු විය හැකි බව ය.
සංකීර්ණ ශිෂ්ටාචාරවල නැගීම
ඇතැම් විට අපගේ හැකිළෙන මොළය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වඩාත් ම කැපී පෙනෙන න්‍යාය නම්, එහි ආරම්භය, අපගේ මුතුන් මිත්තන් දඩයම් කිරීම නවතා, සංකීර්ණ සමාජ ගොඩනැගීමට පටන් ගැනීම ය.
2021 වසරේදී, අමෙරිකාවේ ඩාර්ට්මවුත් විද්‍යාලයේ මානව විද්‍යාඥ ජෙරමි ද සිල්වා, මයෝසීන් හොමිනිඩ් රුදාපිතේකස් (වසර මිලියන 9.85 කට පෙර) සිට නූතන මානවයා (වසර 300,000 සිට 100 දක්වා) දක්වා වූ හිස් කබල්හි පොසිල විශ්ලේෂණය කළේ ය. මීට වසර 3,000කට පෙර, සංකීර්ණ ශිෂ්ටාචාරයන් මුලින් ම මතු වීමට පටන් ගත් කාලය තුළ ම (මොළයේ ප්‍රමාණය අඩුවීම වසර 20,000 ත් 5,000 ත් අතර කාලයකට පෙර සිදු වූ බවට තර්ක කරමින් ඔහු තම ඇස්තමේන්තුව සංශෝධනය කර ඇතත්) අපගේ මොළය කුඩා වීම ආරම්භ වූ බවට ඔහු ගණනය කර තිබේ.
ද සිල්වා යෝජනා කරන්නේ, සංකීර්ණ සමාජයන් සහ අධිරාජ්‍යයන් බිහිවීම යනු දැනුම හා කාර්යයන් ව්‍යාප්ත කළ වීමක් බව ය. මිනිසුන්ට තවදුරටත් සෑම දෙයක් ම දැන ගැනීමට අවශ්‍ය නොවූ අතර, ඔවුන්ට ජීවත් වීමට තවදුරටත් බරපතළ ලෙස සිතීමට අවශ්‍ය නොවූ හෙයින්, ඔවුන්ගේ මොළයේ ප්‍රමාණය අඩු විය.
කෙසේ වෙතත්, මෙම න්‍යාය ද අභියෝගයට ලක් විය.
"මීට වසර 3,000කට පෙර ඊජිප්තු වැසියන් කළ ආකාරයට ම සියලු ම දඩයම්කරුවන්ගේ සමාජ සංකීර්ණ වුණේ නැහැ. ඒත්, ඒ සමාජවලත් මොළයේ ප්‍රමාණය අඩු වී තිබෙනවා," ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ විද්‍යාව සහ අදහස් සම්බන්ධ දර්ශන ඉතිහාසය පිළිබඳ කෝන් ආයතනයේ මහාචාර්ය ඊවා ජැබ්ලොන්කා පවසයි.
සංකීර්ණ සමාජයන් බිහි වූ විට මොළය හැකිළුණ ද, කුඩා වූ මොළය අවශ්‍යයෙන් ම අනුවර්තන ප්‍රතිචාරයක් බව අවශ්‍යයෙන් ම අනුමාන කළ යුතු නැතැයි ජැබ්ලොන්කා තර්ක කරයි.
"වසර 3,000කට කලින් වඩා විශාල සංකීර්ණ සමාජ බිහි වුණා නම්, එය සමාජ පන්තිවල විශාල වෙනස්කම් සමග එකිනෙකට සම්බන්ධ විය හැකි යි. එහි ප්‍රතිඵලයක් විදිහට බහුතර ජනතාව දුප්පත් නම්, දරිද්‍රතාව සහ මන්දපෝෂණය වැනි දේවල් මොළයේ වර්ධනයට බාධාවක් වන බව අපි දන්න දෙයක්."
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව පරිණාමීය අධ්‍යයනය සඳහා වන ලිවර්හල්ම් මධ්‍යස්ථානයේ මාර්ටා ලාර් ද යෝජනා කර ඇත්තේ, පෝෂණ ඌණතාව ද අපගේ හිස්කබල හැකිළීම පැහැදිලි කරන බව ය. 2013 වසරේදී ඇය යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව පුරා ඇටකටු සහ හිස් කබල් විශ්ලේෂණය කළා ය. ඇය අනාවරණය කළේ, විශාලතම මොළය සහිත හෝමෝ සේපියන් විශේෂ අවුරුදු 20,000 ත් 30,000 ත් අතර කාලයේ වාසය කළ අතර, මිනිස් මොළය හැකිළීම ආරම්භ වී ඇත්තේ, අවුරුදු 10,000කට පෙරදී බව ය.
මෙම කාල රාමුව, අපගේ මුතුන් මිත්තන් දඩයම් කිරීම අතහැර ගොවිතැන් වෙත යොමු වූ කාලයට අයත් වේ. ඇය තර්ක කරන්නේ, ගොවිතැන මත යැපීමෙන් විටමින් සහ ඛනිජ ඌණතාවන් ඇති විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්ධනය අඩාළ විය හැකි බව ය.
මේ අතර, ඇතැම් විද්‍යාඥයන් යෝජනා කර ඇත්තේ, සුනඛයන් සහ බළලුන් වැනි ගෘහාශ්‍රිත විශේෂවල (ඔවුන්ගේ මිත්‍රත්වය සඳහා ඇති කරන ලද) මොළය ඔවුන්ගේ වනාන්තරවල සිටි මුතුන් මිත්තන්ට වඩා 10-15% කුඩා බව පදනම් කරගෙන, ස්වයං ගෘහාශ්‍රිතකරණයේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් හිස් කබල් කුඩා වී ඇති බව ය. පරිණාමීය දෘෂ්ටිකෝණයකින් මිත්‍රශීලී, සමාජීය මිනිසුන් වඩා සාර්ථක වූයේ නම්, කාලයට අනුරූපීව මොළය හැකිළෙන්නට ඇත.
"ස්වයං-ගෘහස්ථකරණ න්‍යාය මම පිළිගන්නෙ නෑ," ජැබ්ලොන්කා පවසයි.
"ස්වයං ගෘහාශ්‍රිතකරණය සිද්ධ වුණා නම්, ඒක වසර 800,000කට පෙර සිදු වූ දෙයක් විය යුතු අතර, එකල මිනිස් මොළය හැකිළුණු බවට කිසිදු සාක්ෂියක් නැහැ."
එසේ නම්, එය අපව යොමු කරන්නේ කුමන දිශාවකට ද? අවාසනාවන්ත ලෙස, මොළය හැකිළෙන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට, එය හැකිළීම ආරම්භ වූයේ කවදා දැයි නිශ්චිතව ම සඳහන් කළ යුතු ය. එහෙත්, ෆොසිල වාර්තාවලින් පෙනී යන්නේ, එය කළ නොහැකි කාර්යයක් බව ය. පැරණි ෆොසිල සොයා ගැනීම දුෂ්කර බැවින් වාර්තාව නව නිදර්ශක දෙසට දැඩි ලෙස නැඹුරු වී තිබේ. නිසි ලෙස සංරක්ෂණය කර නොමැති ඇතැම් විශේෂ සම්බන්ධයෙන්, අප දැනට රඳා පවතින්නේ, හිස් කබල් කිහිපයක් හෝ තනි හිස් කබලක් මත ය.
"අප දන්න කරුණක් නම් ප්ලයිස්ටොසීන යුගයේදී මිනිස් මොළය නියැන්ඩර්තාල් මොළයේ ප්‍රමාණයට සමාන වූ අතර එය වර්තමාන මිනිස් මොළයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් විශාල යි," ටැටර්සෝල් පවසයි.
"වසර 20,000කට වඩා පැරණි සියලු ම හෝමෝ සේපියන්වරුන්ගේ මොළයේ ප්‍රමාණයත් විශාල යි. ඒත්, ප්‍රමාණය අඩුවීම ආරම්භ වුණේ කවදා ද කියන එක සම්පූර්ණයෙන් ම පැහැදිලි නැති ප්‍රශ්නයක් වෙන්නේ වාර්තාව එතරම් සාර්ථක නැති නිස යි. අපි දන්නා එක ම දේ නම් ඒ කාලයේ මොළය විශාල වූ අතර වර්තමානයේ මිනිස් මොළය 13%කින් විතර කුඩා වී ඇති බව යි."
අප බුද්ධියෙන් පිරිහෙමින් සිටිනවා ද?
මොළයේ විශාලත්වය අඩු වෙමින් තිබේ නම්, මිනිස් බුද්ධිය සම්බන්ධයෙන් එහි අදහස කුමක් ද? ඔබ විශ්වාස කරන න්‍යාය මත පදනම්ව, කුඩා මොළයට අපව බුද්ධිමත් හෝ ගොළු බවට පත් කළ හැකි ය. එසේ නැතහොත් ඉන් බුද්ධියට කිසිදු බලපෑමක් සිදු නොවිය හැකි ය.
මොළයේ ප්‍රමාණය සියල්ල තීරණය නොකරන බව සත්‍යයකි. ශරීරයේ විශාලත්වය අනුව, පිරිමින්ගේ මොළය, කාන්තාවන්ගේ මොළයට වඩා 11%කින් විශාල ය. එහෙත්, පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ, කාන්තාවන්ට සහ පිරිමින්ට සමාන ඥානන ශක්තියක් ඇති බව ය. හෝමෝ ෆ්ලෝරෙසියන්සිස් සහ හෝමෝ නැලෙඩි වැනි කුඩා මොළ සහිත හෝමිනින් විශේෂවල සංකීර්ණ හැසිරීම් ඇති වීමට හැකියාව ඇති බවට මතභේදාත්මක සාක්ෂි තිබේ. මොළයක් රැහැන්ගත වී ඇති ආකාරය බුද්ධියේ අවසාන නිර්ණායකය බව ඉන් යෝජනා කරයි. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන්, ඔබේ සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව විශාල මොළයක් තිබීම බුද්ධිය සමග සහසම්බන්ධ වේ.
"අපගේ මොළයේ ප්‍රමාණය මේ වන විට සැලකිය යුතු ලෙස අඩුවෙමින් පවතින බවත්, වැඩි බුද්ධියක් සඳහා අප සතුව තිබූ හැකියාව හැකිළෙමින් පවතින බව හෝ වර්ධනය නොවන බවත් තාර්කික නිගමනයකට එළඹිය හැකි," බව ස්ටිබල් පවසයි.
"කොහොම වුණත්, පසුගිය වසර 10,000 තුළ අප කරලා තියෙන්නේ, කෞතුක වස්තු මත ඇති සංජානනය ඉවත් කිරීමට අපව පොළඹවන මෙවලම් සහ තාක්ෂණයන් නිර්මාණය කිරීම යි. අපට පරිගණකවල තොරතුරු ගබඩා කිරීමටත්, ගණනය කිරීම් සඳහා යන්ත්‍ර භාවිත කිරීමටත් හැකි යි. ඒ නිසා, අපගේ මොළය බුද්ධිය සහ බුද්ධි බලය සඳහා අඩු ධාරිතාවක් ලබා දෙනවා විය හැකි යි, නමුත් එයින් අදහස් කරන්නේ, මානව විශේෂයක් ලෙස අප තුළ සාමූහිකව අඩු බුද්ධිමත් බවක් වර්ධනය වන බව නෙවෙයි."