ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩෲස්: ඊශ්‍රායලය විසින් ආරක්ෂා කරන සිරියාවේ මුස්ලිම් ප්‍රජාව කවුද?
- Author, බීබීසී අරාබි සහ බීබීසී තුර්කි
දින ගණනාවක් පුරා ඇතිවූ ගැටුම් වලින් සිරියානු රජයේ හමුදාව සහ සුවෙයිඩා හි ඩෲස් සටන්කරුවන් අතර පසුගිය සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණි.
එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් කණ්ඩායමක් වන සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ ඉරිදා සිට "ඩෲස් කණ්ඩායම් සහ බෙඩොයින් තුවක්කුකරුවන්" අතර සටනේදී පුද්ගලයින් 1,120 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
එම කණ්ඩායම පවසන්නේ මිය ගිය පිරිස අතර රජයේ හමුදාව අතින් ඝාතනයට ලක්වූ සිවිල් වැසියන් 194 දෙනෙකු ද ඇතුළත් බවයි.
2025 මාර්තු 29 වන දින පිහිටුවන ලද සිරියාවේ නව රජය, ආයුද සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට සහ රටේ විවිධ වාර්ගික සහ ආගමික ප්‍රජාවන් සමඟ විශ්වාසය ගොඩනගා ගැනීමට කටයුතු කරමින් සිටියි.
අන්තර්කාලීන ජනාධිපති අහමඩ් අල්-ෂාරා එම ජන කණ්ඩායම් ආරක්ෂා කරන බවට පොරොන්දු වුවද, ඩෲස් ඇතුළු බොහෝ සුළුතර කණ්ඩායම් තුළ ඔහු කෙරෙහි විශ්වාසයක් නොමැත. මේ වන තෙක්, සුවෙයිඩා හි දකුණු පළාත බොහෝ දුරට ඩෲස් සටන්කරුවන්ගේ හා සන්නද්ධ කණ්ඩායම්වල පාලනය යටතේ පැවතුන අතර, ඔවුන් ආරක්ෂක බලකායට බැඳෙන ලෙසට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.
මෑතකදී, සුවෙයිඩා අසල සිරියානු රජයේ හමුදා වෙත බෝම්බ හෙලූ බව ඊශ්‍රායලය පැවසීය. එම හමුදාව පවසන්නේ නිකායික සටන් නැවැත්වීමට ඔවුන් එහි සිටි බවයි.
සිරියාව ඩෲස් වැසියන්ට එරෙහිව ආයුධ භාවිතා කිරීමට සැලසුම් කළ නිසා තමන් ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව අගමැති නෙතන්යාහු පැවසීය. සිරියාව ඊශ්‍රායලයේ මැදිහත් වීම විවේචනය කර තිබේ.
ඩෲස් ජාතිකයින් යනු කවුද?
ඩෲස් ජනයා යනු ෂියා ආගමික නිකායක් ලෙස ආරම්භ වූ තමන්ටම ආවේනික වූ පිළිවෙත් සහ විශ්වාසයන් සහිත අරාබි භාෂාව කතා කරන ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවකි.
ඩෲස් ලෙස හැඳින්වුවද, ඔවුන් තමන්ව අල්-මුවහ්හිදුන් ලෙස හඳුන්වන අතර එහි අර්ථය වන්නේ ඒකීයභාවයේ ජනතාවයි. ඔවුන්ගේ ඇදහිල්ල අභිරහස් සහ විස්තර කළ නොහැකි එකම දෙවියෙකු කෙරෙහි විශ්වාස කරයි.
ඩෲස් ප්‍රජාව මැද පෙරදිග පැරණිතම ජන කණ්ඩායම් වලින් එකක් වන අතර ඔවුහූ වසර සිය ගණනක සිට කලාපයේ දිවිගෙවති.
කිසිවෙකු එම ආගමෙන් හැරවිය නොහැකි අතර ඇදහිල්ලෙන් ඉවත් වන අයට කිසිදා ආපසු ඊට ඇතුළත් විය නොහැක. ඔවුන්ගේ ප්‍රජාවෙන් පිටත විවාහ වීම ද තහනම්ය.
ඔවුන්ට පූජනීය ග්‍රන්ථ ඇත, නමුත් ප්‍රවේශය සීමා කර ඇති අතර අධ්‍යාත්මිකව දියුණු ඩෲස් ජාතිකයින් සුළු පිරිසකට පමණක් එම ආගමික වත්පිළිවෙත්වලට සහභාගී වීමට අවසර ඇත.
ඩෲස් ජාතිකයින් ඔවුන්ගේ විශ්වාසයන් සහ පිළිවෙත් පෞද්ගලිකව තබා ගනී, එබැවින් මිනිසුන් බොහෝ විට ඔවුන් අභිරහස් ප්‍රජාවක් ලෙස දකියි. ඔවුන් අරාබි භාෂාව කතා කරන අතර සංස්කෘතිය හා ජනවාර්ගිකත්වය අනුව අරාබි ජාතිකයන් වන නමුත් බොහෝ ඩෲස් ජාතකයින් තමන් පළමුව ඩෲස් ලෙසත් දෙවනුව අරාබි ලෙසත් සලකති.
ඔවුන් ජීවත් වන්නේ කොහේද?
ලොව පුරා ඩෲස් වැසියන් මිලියන 1.5 ක් පමණ සිටින අතර, ඔවුහූ වැඩි වශයෙන් සිරියාව, ලෙබනනය, ඊශ්‍රායලය සහ ජෝර්දානය යන රටවල දිවි ගෙවති
ඩෲස් ජනගහනයෙන් අඩක් පමණ එනම්, 700,000 ක් පමණ සිරියාවේ ජීවත් වෙයි. ඔවුන්ගේ ප්‍රධාන මර්මස්ථානය වන්නේ ඩැමස්ක්ස් නගරයට දකුණින් පිහිටි පළාතක් වන සුවෙයිඩා ය. කලක් "ජබල් අල්-ඩෲස්" හෙවත් ඩෲස් කන්ද ලෙස හැඳින්වූ මෙම ප්‍රදේශය අදටත් ඩෲස් අනන්‍යතාවයේ හදවත ලෙස සැලකේ.
1923 දී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් නිර්මාණය කරන ලද දේශසීමාවක් හේතුවෙන් මෙම කන්දේ පාමුල දෙකට බෙදී ගොස් ඇත. සුවෙයිඩාවට දකුණින් ජීවත් වන ඩෲස් ජන කණ්ඩායම ජෝර්දාන පැත්තේ සිටියහ. අද වන විට ඩෲස් ජාතිකයින්. 30,000 ක් පමණ අම්මාන් අගනුවර අවට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙයි.
සිරියාවෙන් පසු දෙවන විශාලතම ඩෲස් ජනගහනය ලෙබනනයේ වාසය කරන අතර ආසන්න වශයෙන් 300,000 ක ජනතාවක් එහි වාසය කරති. ඔවුන් ප්‍රධාන වශයෙන් චෞෆ් කඳුකරයේ, මෙට්න් කලාපයේ සහ ටෙයිම් නිම්නයේ දිවි ගෙවයි. ලෙබනනයේ, ඩෲස් නිල වශයෙන් ආගමික නිකායක් ලෙස පිළිගෙන ඇති අතර පාර්ලිමේන්තුවේ නම් කරන ලද ආසන ඇත.
1967 දී, ඊශ්‍රායලය සිරියාවෙන් ගෝලාන් කඳුකරය අත්පත් කර ගත් අතර, එහි ඩෲස් ප්‍රජාව බෙදා ගත්තේය. ඇතැමුන් සිරියාවේ රැඳී සිටි අතර අනෙක් පිරිස ඊශ්‍රායල පාලනය යටතට පත් වූහ. අද වන විට, අල්ලා ගත් ප්‍රදේශයේ බොහෝ ඩෲස් ප්‍රජාව තවමත් සිරියාවට සමීපව සම්බන්ධ වී සිටින බවක් පෙනෙන්නට තිබේ.
ගෝලාන් කඳුකරය ඇතුළුව ඊශ්‍රායලයේ ඩෲස් ගෝත්‍රිකයෝ 150,000ක් පමණ ජීවත් වෙති. ඔවුන් හමුදාවේ සේවය කිරීමට අනිවාර්යය වන ඊශ්‍රායලයේ සිටින එකම අරාබි කණ්ඩායමයි.
සිරියාවේ දිවිගෙවන ඩෲස් ප්‍රජාව
හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් යටතේ, බොහෝ ඩෲස් වැසියන් රජයට නිහඬව පක්ෂපාතීව සිටි අතර, සිරියාවේ වසර 13ක් පුරා පැවති සිවිල් යුද්ධයේදී සිය ප්‍රජාව ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන්ව ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කළහ.
ඩෲස් ප්‍රජාවේ බහුතරයක් පාලන තන්ත්‍රයට එරෙහි විපක්ෂයේ පෙළට එක් නොවූ අතර ඒ සමඟම අභ්‍යන්තර ගැටුමෙන් ඈත් වීමට උත්සාහ කළහ.
2015 දී, ජබාත් අල්-නුස්රාගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමීය කණ්ඩායම් ඩාරා සහ ගෝලාන් වෙත ඉදිරියට යමින්, සුවෙයිඩා හි හමුදා ගුවන් තොටුපළකට තර්ජනාත්මක ලෙස කටයුතු කළහ. පසුව සමහර ඩෲස් වැසියන් සිරියානු රජයේ හමුදා සමඟ සටනට එක් විය.
ඩෲස් වැසියන් තම ප්‍රදේශ මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස දුටු සුන්නි අන්තවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේම සන්නද්ධ හමුදා කණ්ඩායමක් පවත්වාගෙන ගොස් තිබේ. අසාද් හිතවාදී බලවේග බොහෝ දුරට ඔවුන්ව හුදෙකලා කර ඇත.
සුන්නි ඉස්ලාමීයවාදීන්ගේ නායකත්වයෙන් යුත් කැරලිකරුවන් විසින් අසාද් බලයෙන් පහ කර ඇති බැවින්, නව පශ්චාත් යුද සමයේදී සිරියාවේ හුදකලා වී සිටින තමන් ඉලක්ක කර ගනු ඇතැයි ඩෲස් ප්‍රජාව බියට පත්ව සිටිති.
සිරියානු රජයට සම්බන්ධ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් විසින් ඩෲස් ප්‍රජාවන්ට මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් සිරියාව කෙරෙහි ඔවුන්ගේ අවිශ්වාසය වැඩි වී තිබේ.
නව රජය බොහෝ දුරට සමන්විත වන්නේ හයාත් තහ්රිර් අල්-ෂාම් (HTS) කණ්ඩායමෙනි, ඔවුන් කලින් ජබාත් අල්-නුස්රා ලෙස හැඳින්වූ අතර වරක් සුවෙයිඩාට පහර දුන්හ. එය මෙහෙයවනු ලැබුවේ අහමඩ් අල්-ෂාරා, නැතහොත් අබු මුහම්මද් අල්-ජුලානි විසිනි.
ගැටුම අතරතුර, ඩෲස් වැසියන් ඔවුන්ගේ ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ කණ්ඩායම් නිර්මාණය කළහ. මෙම සටන්කරුවෝ දැන් සුවෙයිඩාව පාලනය කරති.
නවතම ප්‍රචණ්ඩත්වය සහ ඊශ්‍රායල ප්‍රහාර
අප්‍රේල් අග භාගයේදී, ඩෲස් නායකයෙකු විසින් මුහම්මද් තුමාට අපහාස කරන බව පෙන්වන ලද නිකුත් වූ හඬ පටයකින් පසුව සටන් ආරම්භ විය. ඩෲස් නායකයා විසින් එය ප්‍රතික්ෂේප කළ අතර, සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ පටිගත කිරීම ව්‍යාජ එකක් බවයි, නමුත් එය තවමත් ප්‍රජාවන් අතර ප්‍රචණ්ඩත්වයට හේතු වී ඇත.
එතැන් සිට, සිරියානු රජය පවසන්නේ තම ආරක්ෂක හමුදා ආරක්ෂාව සහ සාමය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කර ඇති බවයි.
සුවයිඩා නගරය දෙසට රජයේ යුද ටැංකි කිහිපයක් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පැවසීය. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් මෙම ප්‍රහාර සිරියානු රජයට "පැහැදිලි අනතුරු ඇඟවීමක්" ලෙස හැඳින්වීය.