සුන්බුන් යට උපන් බිළිඳිය හදාවඩා ගැනීමට ඉල්ලා දහස් ගණනක් ඉදිරිපත් වෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සඳුදා (පෙබ. 6) තුර්කි-සිරියා භූ කම්පනයෙන් පසු, වයඹදිග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට බිහිව සිටිය දී සොයාගනු ලැබූ ළදැරිය හදාවඩා ගැනීම සඳහා දුසිම් ගණනක් දෙනා ඉල්ලීම් ඉදිරිපත්කර තිබේ.
ඇය ගලවාගනු ලැබූ අවස්ථාවේ දී 'අයා' (අරාබි බසින් 'ප්‍රාතිහාර්යය' යන අරුත් දෙන නමකි) ළදැරිය පෙකණි වැලෙන් ඇගේ මවට සම්බන්ධ වී සිටියා ය.
ජින්දයිරිස් නගරයට භූ කම්පනයෙන් සිදුවූ හානි හේතුවෙන් ඇගේ මව, පියා හා සොයුරු සොයුරියන් සිව්දෙනා මරණයට පත්විය.
අයා දැන් රෝහලක සිටියි.
"සඳුදා එයාව අරන් ආවේ නරක තත්ත්වෙක ඉඳිද්දී. එයාගේ ඇඟ ගෙඩි ගැහිලා, තැලිලා තිබුණා. එයාට හීතල වෙලා, අමාරුවෙන් හුස්ම ගනිමින් හිටියේ," ඇය රැකබලා ගන්නා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වන හනී මරූෆ් පැවසුවේ ය.
ළදැරිය දැන් ස්ථාවර තත්ත්වයක පසුවෙයි.
අයා ගලවාගනු ලැබීම පෙන්නුම් කළ විඩියෝව සමාජ මාධ්‍ය ජාලයන්හි වෛරල් විය. දූවිල්ලෙන් වැසී සිටින ළදරුවෙකු වඩාගත් මිනිසෙකු කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් දිවයනු එම විඩියෝ දර්ශනයෙන් පෙන්නුම් කෙරිණි.
ළදැරිය ගලවාගන්නා අවස්ථාවේ එතැන සිටි ඇගේ දුර නෑදෑයෙකු වන කලීල් අල්-සුවාදි, ඇය සිරියානු නගරයක් වන අෆ්‍රින්හි වෛද්‍ය මරූෆ් වෙත ගෙනැවිත් තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දැන් සමාජ මාධ්‍යයන්හි දහස් ගණනක් දෙනා ඇය හදාවඩා ගැනීම සඳහා තොරතුරු විමසා තිබේ.
"මම එයාව දරුකමට හදාගෙන, එයාට හොඳ ජීවිතයක් ලබාදෙන්න කැමතියි," එක් පුද්ගලයෙකු පැවසීය.
එක් කුවේට් ජාතික නිවේදකයෙකු පවසා තිබුණේ, "නීතිමය ක්‍රියාවලීන්ගෙන් ඉඩක් ලැබෙනවා නම්... මේ දරුවව බලාගන්න, හදාවඩා ගන්න මම ලෑස්තියි," යනුවෙනි.
රෝහලේ කළමණාකරු කාලිඩ් අටියාහ් පවසන පරිදි, අයා ළදැරිය හදාවඩා ගැනීමට කැමති ලොව වටා පුද්ගලයින්ගෙන් දුසිම් ගණනක් දුරකථන ඇමතුම් ඔහුට ලැබී තිබේ.
"මම දැන්ම කාටවත් ඈව හදාගන්න දෙන්නේ නැහැ. ඇගේ දුර ඥාතීන් එනකල් මම ඈට මගේම දරුවෙක් විදියට සලකනවා," අයා ළදැරියට සිව් මසකින් වැඩිමල් දියණියක් සිටින වෛද්‍ය අටියාහ් කියා සිටියේ ය.
දැනට, ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දැරියට මෙන්ම අයා ළදැරියට ද මව්කිරි පොවමින් රැකබලා ගනියි.
අයාගේ උපත් නගරය වන ජින්දයිරිස්හි ජනයා තවමත් කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තම ආදරණීයයන් සොයමින් සිටිති.
එහි සිටින මාධ්‍යවේදියෙකු වන මොහම්මද් අල්-අද්නන් බීබීසීයට මෙසේ පැවසීය: "මේක මහා ව්‍යසනයක්. මහ ගොඩක් මිනිස්සු සුන්බුන්වලට යටවෙලා ඉන්නවා. අපිට තවමත් එළියට ගන්න බැරිවුණු මිනිස්සු ඉන්නවා."
නගරයෙන් 90%ක් විනාශවී ඇති බවත්, මේතාක් දුරට බොහෝ උපකාර ලැබුණේ ප්‍රදේශවාසීන්ගෙන් බවත් ඔහු ඇස්තමේන්තු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිරියානු සිවිල් යුධ සමයේ දී සුන්බුන් අතරින් පුද්ගලයින් මුදාගැනීම පිළිබඳ දශකයකට වැඩි අත්දැකීම් ඇති 'වයිට් හෙල්මට්ස්' නම් ස්වේච්ඡා සංවිධානයේ (මෙය 'සිරියා සිවිල් ඩිෆෙන්ස්' ලෙස ද හැඳින්වෙයි) මුදාගැනීමේ භටයින් ජින්දයිරිස් නගරය තුළ මුදාගැනීමේ ප්‍රයත්නයන්ට සහාය දෙමින් සිටියි.
"මුදාගැනීමේ භටයනුත් වින්දිතයින්බවට පත්වෙන්න පුළුවන්, මොකද ගොඩනැගිල්ල එච්චරම අස්ථාවර යි," මොහම්මද් අල්-කමෙල් ප්‍රකාශ කළේ ය.
"අපි මේ දැන් සුන්බුන් අතරින් මළසිරුරු තුනක් එළියට ගත්තා. අපි හිතනවා තවමත් එක පවුලක් සුන්බුන් යට පණපිටින් ඉන්නවා කියලා - අපි [ඔවුන් මුදාගන්න] දිගටම වැඩ කරනවා," ඔහු පැවසීය.
මේ වන විට භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇති සිරියාවේ සහ තුර්කියේ පුද්ගලයින් ගණන 21 000 ඉක්මවයි.
අනෙක් පාලනය යටතේ පවතින ප්‍රදේශයේ මියගොස් ඇති සංඛ්‍යාව තවමත් තහවුරුවී නැත.












