පරිසර හිතකාමී නව නගරය වෙනුවෙන් සෞදි ආරක්ෂක අංශවලට 'මිනී මැරීමට අවසර'

The Line, a linear city

ඡායාරූප මූලාශ්‍රය, Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, ‘ද ලයින්’ සෞදි අරාබියේ මෙගා ව්‍යාපෘතිය වන නියෝම්හි (Neom) හදවතෙහි පිහිටා ඇත
    • Author, මර්ලින් තෝමස් සහ ලාරා එල් ගිබලි
    • Role, බීබීසී වෙරිෆයි සහ බීබීසී අයි ඉන්වෙස්ටිගේෂන්ස්

'ද ලයින්' පිහිටා ඇත්තේ සෞදි අරාබියේ මහා පරිමාණ ව්‍යාපෘතියක් වන නියෝම්හි (Neom) ය.

බටහිර සමාගම් රැසකගේ එකතුවෙන් ගොඩනගනු ලබන අනාගත කාන්තාර නගරයක් සඳහා ඉඩම් පවරා ගැනීමට මාරාන්තික බලය භාවිත කිරීමට සෞදි බලධාරීන් අවසර දී ඇතැයි හිටපු බුද්ධි අංශ නිලධාරියෙක් බීබීසීයට පැවසීය.

නියෝම් පරිසර හිතකාමී ව්‍යාපෘතියේ කොටසක් වන 'ද ලයින්' (The Line) නගරය සඳහා මග සැලසීමට මෙම ගල්ෆ් රාජ්‍යයේ ගෝත්‍රයකට අයත් ගම්වාසීන් පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙසට තමාට නියෝග කෙරුණු බව කර්නල් රාබිහ් අලෙනසි පවසයි.

පසුව ඉවත් කිරීමට විරෝධය පෑම නිසා ඒ අතරින් එක් අයෙකු වෙඩි තබා මරා දැමිණි.

සෞදි රජය සහ නියෝම් කළමනාකාරිත්වය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

ඩොලර් බිලියන 500ක වටිනාකමක් ඇති පරිසර හිතකාමී කලාපයක් වන සෞදි අරාබියේ නියෝම් ව්‍යාපෘතිය, සිය රාජධානියේ ආර්ථිකය තෙල්වලින් බැහැරව විවිධාංගීකරණය කිරීම අරමුණු කරන Saudi Vision 2030 වැඩසටහනේ කොටසකි.

එහි ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන 'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක් ලෙස යෝජනා කර ඇති අතර එය පළලින් මීටර් 200ක් සහ දිගින් කිලෝමීටර් 170ක් වේ. නමුත් වර්තා වන ආකාරයට 2030 වන විට නිම කිරීමට අපේක්ෂා කරන්නේ, ව්‍යාපෘතියේ කිලෝමීටර 2.4ක් පමණි.

බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් ද ඇතුළුව ගෝලීය සමාගම් රැසක් නියෝම්හි ඉදිකිරීම් සඳහා සම්බන්ධ වේ.

බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් ද ඇතුළුව ගෝලීය සමාගම් රැසක් නියෝම්හි ඉදිකිරීම් සඳහා සම්බන්ධ වේ.

සෞදි නායක ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් නියෝම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශය සම්පූර්ණයෙන් ම "හිස් කැන්වසයක්" ලෙස විස්තර කරනු ලැබ ඇත. නමුත් ඔහුගේ රජයට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා 6,000කට වැඩි පිරිසක් වෙනත් ප්‍රදේශවලට ඉවත් කර යවා තිබේ. එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් කණ්ඩායමක් වන ALQST ඇස්තමේන්තු කරන්නේ, මෙම අගය ඉහළ අගයක් ගන්නා බව ය.

විනාශ කර දැමුණු අල්-කුරයිබා, ෂර්මා සහ ගයාල් යන ගම්මාන ත්‍රිත්වයේ චන්ද්‍රිකා ඡායාරූප බීබීසීය විසින් විශ්ලේෂණය කරනු ලැබීය. නිවාස, පාසල් සහ රෝහල් සිතියමෙන් අතුගා දමා තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පසුගිය වසරේ එක්සත් රාජධානිය වෙත පිටුවහල් වුණු කර්නල් අලෙනසි පවසන්නේ, ඉවත් කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමට තමන්ට පැවසුවේ, 'ලයින්' නගරයේ සිට කිලෝමීටර් 4.5ක් දකුණින් පිහිටි අල්-කුරයිබා සඳහා බව ය. එම ගම්මානවල වැඩි වශයෙන් ජීවත් වූයේ, එරට වයඹ දෙසින් පිහිටි ටබුක් ප්‍රදේශයේ පරම්පරා ගණනාවක් ජීවත් වූ හුවයිටට් ගෝත්‍රිකයන්ගෙනි.

හුවයිටට් ගෝත්‍රය "බොහෝ කැරලිකරුවන්ගෙන්" සමන්විත වූ බව ත්, "[ඉවත් කිරීමට ] දිගින් දිගට ම විරුද්ධ වන කවුරුන් වුව ත් මරා දැමිය යුතු බව ත් 2020 අප්‍රේල් නියෝගයේ සඳහන් වූ අතර ඒ අනුව, තම නිවෙස්වල රැඳී සිටින පුද්ගලයින්ට එරෙහිව මාරාන්තික බලය භාවිත කිරීමට එමගින් අවසර ලැබුණු බව ත්" ඔහු පැවසීය.

ව්‍යාජ සෞඛ්‍ය හේතු මවා පාමින් එම නියෝගය තමන් මගහැරි බව ඔහු බීබීසීයට පැවසීය. නමුත් එය කෙසේ හෝ ඉදිරියට ගියේ ය.

අබ්දුල් රහීම් අල්-හුවයිටි තම දේපළ තක්සේරු කිරීමට ඉඩම් ලියාපදිංචි කිරීමේ කමිටුවකට අවසර දීම ප්‍රතික්ෂේප කළ අතර, ඉන් දිනකට පසුව, ඉවත් කිරීමේ මෙහෙයුම අතරතුර සෞදි බලධාරීන් විසින් ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී. තම ඉඩම් පවරා ගැනීමට එරෙහිව විරෝධය දක්වමින් ඔහු මීට පෙර සමාජ මාධ්‍යවල වීඩියෝ කිහිපයක් ද පළ කර තිබිණි.

සෞදි අරාබියේ රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ ආයතනය විසින් එවකට නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වූයේ, අල්-හුවයිටි විසින් ආරක්‍ෂක අංශ වෙත වෙඩි තබන ලද බව ත් එහිදී ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බව ත් ය. මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ, ඔහු හුදෙක් ඉවත් කිරීමට විරුද්ධ වීම නිසා ඝාතනයට ලක් වූ බව ය.

මාරාන්තික බලය පිළිබඳ කර්නල් අලෙනසිගේ ප්‍රකාශ ස්වාධීනව සත්‍යාපනය කිරීමට බීබීසීයට නොහැකි විය.

නමුත් සෞදි ඔත්තු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය ගැන දැනුම ඇති මූලාශ්‍රයක් අප හා පැවසුවේ, කර්නල්වරයාගේ සාක්ෂිය - ඉවත් කිරීමේ නියෝගය සන්නිවේදනය කළ ආකාරය සහ එහි සඳහන් දේ යන දෙක ම සම්බන්ධයෙන්, සාමාන්‍යයෙන් එවැනි මෙහෙයුම් ගැන ඔවුන් දන්නා කරුණු සමග අනුකූල වන බව ය. එම මෙහෙයුමේ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට කර්නල්වරයාගේ ජ්‍යෙෂ්ඨත්වය ඉවහල් වන්නට ඇති බව ද ඔවුහු පැවසූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ALQST කණ්ඩායමට අනුව, ඉවත් කිරීමට විරුද්ධ වූ අවම වශයෙන් තවත් ගම්වැසියන් 47 දෙනෙකු රඳවා ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ත්‍රස්තවාදය සම්බන්ධ චෝදනා යටතේ නඩු පවරා තිබේ. ඔවුන්ගෙන් 40 දෙනෙකු තවමත් රැඳවුම් භාරයේ සිටින අතර ඉන් පස් දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇති බව ALQST පවසයි.

තවත් කිහිප දෙනෙකු අල්-හුවයිටිගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ශෝකය ප්‍රකාශ කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වුණු බව එම කණ්ඩායම පැවසීය.

සෞදි බලධාරීන් පවසන්නේ, 'ද ලයින්' ව්‍යාපෘතිය සඳහා තමන් පදිංචි ස්ථාන හැර යාමට සිදු වුණු පිරිස් වෙත වන්දි පිරිනමා ඇති බව ය. නමුත් ALQST කණ්ඩායමට අනුව, ගෙවන ලද මුදල පොරොන්දු වූ මුදලට වඩා බෙහෙවින් අඩු ය.

කර්නල් අලෙනසි අනුව, "[නියෝම්] කියන්නේ, මොහොමඩ් බින් සල්මාන්ගේ අදහස්වල ප්‍රධාන ම දේ. ඒකයි එයා හුවයිටට් ගෝත්‍රිකයින් සමග ගනුදෙනු කරද්දී මේ තරම් දරුණු වුණේ."

Col al-Enezi
ඡායාරූප ශීර්ෂ වැකිය, තම ආරක්ෂාව වෙනුවෙන් කර්නල් අල්-එනසි දැන් එක්සත් රාජධානියේ ජීවත් වේ

නියෝම්හි ස්කී ව්‍යාපෘතියේ හිටපු ජ්‍යෙෂ්ඨ විධායකයෙකු බීබීසීයට පැවසුවේ, අබ්දුල් රහීම් අල්-හුවයිටි ඝාතනය කිරීම ගැන තමා දැනුවත් වූයේ, 2020 එහි තම රැකියාව සඳහා සිය උපන් රට වන එක්සත් ජනපදයෙන් පිටත්ව යාමට සති කිහිපයකට පෙර බව ය. ඉවත් කිරීම් පිළිබඳව තමා තම සේවා යෝජකයන්ගෙන් නැවත නැවතත් විමසූ නමුත් ලද පිළිතුරුවලින් සෑහීමකට පත් නොවූ බව ඇන්ඩි වර්ත් පවසයි.

"මේ මිනිස්සුන්ට මහා නරක දෙයක් සිද්ධ වුණා කියලා දැනුණා... වැඩේ කර ගන්න ඔයා සපත්තු දාගෙන ඒ මිනිස්සුන්ගේ බෙල්ල පාගන්නේ නැහැනේ," ඔහු පැවසීය.

ඔහු ව්‍යාපෘතියට සම්බන්ධ වී වසරකටත් අඩු කාලයකදී එහි කළමනාකාරිත්වය ගැන කලකිරී එයින් ඉවත් විය.

2022 වසරේදී 'ද ලයින්' සම්බන්ධ ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියකින් ඉවත් වූ මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකුට ද මේ පිළිබඳව දැඩි විවේචන පවතී.

"ඒක ඒ ප්‍රදේශයේ අධි තාක්ෂණයත් එක්ක ජීවත් වෙන පුද්ගලයින්ට හොඳයි, ඒත් අනිත් අයට?" Solar Water PLC හි ප්‍රධාන විධායක නිලධාරී මැල්කම් අව් පැවසීය.

ප්‍රදේශය පිළිබඳව මනා දැනුමක් ඇති නිසා ප්‍රාදේශීය ජනතාව වටිනා වත්කමක් ලෙස සැලකිය යුතු බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

"ඒ අය ඉවත් නොකර වැඩිදියුණු කරන්න, නිර්මාණය කරන්න, ප්‍රතිනිර්මාණය කරන්න ඔබ ඒ උපදෙස් ලබා ගන්න ඕනේ."

විදෙස් මාධ්‍ය වෙත කතා කිරීම නිසා රඳවාගෙන සිටින තම ඥාතීන්ට තවදුරටත් අනතුරක් විය හැකි බවට බියෙන් අවතැන් වූ ගම්වැසියෝ අදහස් දැක්වීමට අතිශයින් මැළි වූහ.

Saudi Vision 2030 වැඩසටහනේ තවත් ව්‍යාපෘතියක් සඳහා වෙනත් ස්ථානවලින් ඉවත් කෙරුණු පිරිස් සමග අපි කතා කළෙමු. සෞදි අරාබියේ බටහිර නගරය වන ජෙඩාහි ක්‍රියාත්මක 'ජෙඩා සෙන්ට්‍රල්' (Jeddah Central) ව්‍යාපෘතිය හේතුවෙන් මිලියනයකට වඩා වැඩි පිරිසක් අවතැන් වී ඇත. එහි ඔපෙරා හවුස්, ක්‍රීඩා සඳහා වෙන් වුණු ප්‍රදේශයක් සහ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ සහ නිවාස අන්තර්ගත වනු ඇත.

නාඩර් හිජාසි [ඔහුගේ සැබෑ නම නොවේ] හැදී වැඩුණේ අසිසියාහි ය. එය කඩා ඉවත් කිරීම්වල බලපෑමට ලක් වූ ඒ අවට ප්‍රදේශ 63න් එකකි. ඔහුගේ පියාගේ නිවස 2021 වසරේදී බිමට සමතලා කර දැමුණු අතර ඒ සඳහා ඔහුට අනතුරු අඟවා තිබුණේ මාසයකටත් අඩු කාලයකදී ය.

තම පැරණි වාස භූමියේ තමන් දුටු ඡායාරූප කම්පනයට පත් කරවනසුලු වූ බව හිජාසි පැවසුවේ, එය යුද්ධ පිටියක හැඟීමක් ජනිත කළ බව ද පවසමිනි.

"ඔවුන් කරන්නේ මිනිසුන්ට එරෙහිව යුද්ධයක්, අපේ අනන්‍යතාවලට එරෙහිව යුද්ධයක්."

සෞදි ක්‍රියාකාරීන් බීබීසීය වෙත පැවසුවේ, පසුගිය වසරේ ජෙඩාහි සිදු වූ දේපළ කඩා ඉවත් කිරීම්වලදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වූ බව ය. ඉන් එක් අයෙකු ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට ශාරීරිකව ප්‍රතිරෝධය දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට පත් වූ අතර අනෙක් පුද්ගලයා දේපළ කඩා ඉවත් කිරීම්වලට විරුද්ධව නිර්මාණය කෙරුණු ග්‍රැෆිටි ඇතුළත් ඡායාරූප සිය සමාජ මාධ්‍යවල පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් විය.

ජෙඩාහි ධාබන් මධ්‍යම බන්ධනාගාරයේ රැඳවියෙකුගේ ඥාතියෙකු පැවසුවේ, තවත් 15 දෙනෙකු එහි රඳවා සිටින බවට තමන්ට දැන ගන්නට ලැබුණු බව ය. වාර්තා වන ආකාරයට ඒ, දේපළ කඩා ඉවත් කිරීම සඳහා සලකුණු කර ඇති එක් අසල්වැසි ප්‍රදේශයක සමුගැනීමේ රැස්වීමක් පැවැත්වීම හේතුවෙනි. සෞදි සිරගෙවල් තුළ රඳවා සිටින රැඳවියන් සම්බන්ධ කර ගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් මෙය අපට සත්‍යාපනය කළ නොහැකි ය.

ALQST විසින් ජෙඩා නගරය අවට ප්‍රදේශවලින් ඉවත් කරන ලද පුද්ගලයින් 35 දෙනෙකු සමීක්ෂණය කරන ලදී. ඔවුන්ගෙන් කිසිවෙකු, ප්‍රාදේශීය නීතියට අනුකූලව තමන්ට වන්දියක් හෝ ප්‍රමාණවත් අනතුරු ඇඟවීමක් ලැබුණු බව නොපවසන අතර අඩකට වඩා වැඩි පිරිසක් කියා සිටියේ, අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තමන් තම නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කෙරුණු බව ය.

කර්නල් අලෙනසි දැන් එක්සත් රාජධානියේ ජීවත් වන නමුත් ඔහු තම ආරක්ෂාව ගැන තවමත් පසුවන්නේ බියෙනි. සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග ලන්ඩනයේ සෞදි තානාපති කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන්නේ නම්, තමාට ඩොලර් මිලියන 5ක් (පවුම් මිලියන 4ක්) පිරිනැමෙන බව බුද්ධි අංශ නිලධාරියෙකු තමාට පැවසූ බව ඔහු පවසයි. ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. අප මෙම චෝදනාව සෞදි රජයට යොමු කළ ද ඔවුහු ඊට ප්‍රතිචාර නොදැක්වූහ.

කර්නල් අලෙනසි දැන් එක්සත් රාජධානියේ ජීවත් වන නමුත් ඔහු තම ආරක්ෂාව ගැන තවමත් පසුවන්නේ බියෙනි. සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග ලන්ඩනයේ සෞදි තානාපති කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන්නේ නම්, තමාට ඩොලර් මිලියන 5ක් (පවුම් මිලියන 4ක්) පිරිනැමෙන බව බුද්ධි අංශ නිලධාරියෙකු තමාට පැවසූ බව ඔහු පවසයි. ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. අප මෙම චෝදනාව සෞදි රජයට යොමු කළ ද ඔවුහු ඊට ප්‍රතිචාර නොදැක්වූහ.

විදේශයන්හි වෙසෙන සෞදි රජය විවේචනය කරන්නන්ට ප්‍රහාර එල්ල කිරීම අලුත් යමක් නොවෙයි. ඒ අතරින් වැඩි වශයෙන් අවධානය යොමු වූයේ, 2018 වසරේදී එරට ඉස්තාන්බුල් කොන්සල් කාර්යාලය තුළදී සෞදි නියෝජිතයින් විසින් එක්සත් ජනපදය පදනම් කරගත් මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කරනු ලැබීම ය. එක්සත් ජනපද බුද්ධි වාර්තාවක නිගමනය වූයේ, මොහොමඩ් බින් සල්මාන්ගේ අනුමැතිය යටතේ එය සිදු වූ බව ය. ඊට කිසිදු ආකාරයකින් තමන් සම්බන්ධ නැතැයි පවසමින් ඔටුන්න හිමි කුමරු එය ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් සෞදියේ අනාගත නගරය සම්බන්ධයෙන් වූ නියෝගවලට පිටුපෑමට ගත් තීරණය ගැන කර්නල් අලෙනසිට පසුතැවීමක් නැත.

නියෝම් ගොඩනගන්න බාධාවක් වෙන කිසි ම දෙයකට මොහොමඩ් බින් සල්මාන් ඉඩ දෙන එකක් නැහැ... මම කනස්සල්ලෙන් ඉන්නේ, මට මගේ මිනිස්සුන්ට මොකක් කරන්න කියාවි ද කියලා."

අතිරේක වාර්තාකරණය අර්වාන් රිවෝල්ට් විසිනි.