ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ප්‍රතිපාදන සහ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නැහැ': RTI කොමිෂන් සභාවේ නොවිසඳුණු ගැටලු රැසක්
- Author, බීබීසී සිංහල
මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත (RTI) 2016 වසරේදී හඳුන්වා දෙන ලදී.
ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සමාජ ක්‍රියාධරයන් ඉල්ලා සිටි තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී මේ වන විට වසර 10කට ආසන්න කාලයක් ගත වී තිබේ.
මෙවන් පසුබිමක ජාත්‍යන්තරයේ කීර්තියට පවා පාත්‍ර වී ඇති මෙරට තොරතුරු දැන ගැනීමේ පනතට අදාළ පද්ධතියේ දිගු කාලයක් තිස්සේ පවතින ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව මහජන නිවේදනයක් නිකුත් කර ඇත.
මෙතෙක් විසඳුමක් නොලද ගැටලු මොනවා ද?
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සම්බන්ධව ධනාත්මක, ප්‍රගතිශීලී තත්ත්වයන් පිළිබඳ වර්ධනයක් තිබියදීත් ස්වකීය ආයතන පද්ධතියේ දිගු කාලීනව පවතින මෙතෙක් නොවිසඳුණු කාර්ය මණ්ඩල හිඟය ගැන කොමිෂන් සභාව සිය බරපතළ කණස්සල්ල පළ කර ඇත.
තොරතුරු දැන ගැනීමේ පනත හරහා ආයතන දෙකක් වෙත වගකීම් පවරා ඇති බව අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.
ඒ අනුව, අභියාචනා විභාග කිරීමේ මූලික වගකීම ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සතු වන අතර පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම සහතික කිරීම ජනමාධ්‍ය විෂය පවරා ඇති රේඛීය අමාත්‍යංශය එකී කාර්යය සඳහා වන කේන්ද්‍රීය ආයතනය යි.
"පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරිමේ කාර්යක්ෂමතාව උපරිම තත්ත්වයට ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTIC) සහ ඉහත කී කේන්ද්‍රීය ආයතනය හෙවත් රේඛීය අමාත්‍යංශය ඒකාබද්ධව සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර, අභියාචනා සඳහා පාර්ශවකරුවන් ලෙස තමන් ඉදිරියට කැඳවනු ලබන පොදු අධිකාරීන්ගෙන් ස්වකීය ආයතනික ස්වාධීනත්වය පවත්වා ගැනීමට තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට (RTIC) විශේෂ යුතුකමක් ඇත." යනුවෙන් නිවේදනයේ සඳහන් කර තිබේ.
ස්වාධීන කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට සහ ස්වකීය ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කොමිෂන් සභාවට වෙන් වූ අරමුදලක් මෙන්ම මුල්‍ය ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන කොමිෂන් සභාව, එසේ නොවන විට කොමිෂන් සභාවේ ක්‍රියාකාරී ස්වාධීනත්වය ස්ථාපනය කළ නොහැකි බව අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙන් වූ අරමුදලක් පවත්වා ගැනීමට මේ වන තෙක් අවස්ථාවක් නොලද බවත් අනුප්‍රාප්තික රජයයන් මෙම ව්‍යවස්ථාපිත ආරක්ෂණ නොසලකා හැරීම අතිශය කනගාටුදායක බවත් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එමෙන් ම, කොමිෂන් සභාව ක්‍රියාත්මක වන්නේ අවම කාර්ය මණ්ඩලයක් යටතේ බව ද කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ලද නිවේදනයේ දක්වා තිබේ.
"ඉහළ යමින් පවතින අභියාචනා රාශියක් සම්බන්ධයෙන් ස්වකීය කාර්ය කර්තව්‍යයන්ට අදාළ කටයුතු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව නාමික කාර්ය මණ්ඩලයක්, එනම් එක් නීති නිලධාරියෙකු සහ නීති සහයකයින් දෙදෙනෙකුගෙන් (පසුව තිදෙනෙකු දක්වා වැඩි කරන ලදී) සමන්විත අවම මානව සම්පත් ප්‍රමාණයක් සමග ක්‍රියාත්මක වේ."
තොරතුරු තාක්ෂණ සහායක වැනි මධ්‍යම මට්ටමේ තනතුරු සඳහා බඳවා ගැනීම ඇතුළුව අතිරේක නීති කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීම් ද නොසලකා හැර ඇති බව කොමිෂන් සභාව පවසයි.
කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් මුදල් අමාත්‍යංශයට යොමු කිරීමේදී, රේඛීය අමාත්‍යංශය හරහා එම ඉල්ලීම් සිදු කිරීමට සිදුව ඇති පසුබිමක එම ක්‍රියාවලිය එක් අවස්ථාවකදී මාස අටක් ප්‍රමාද වූ බව පවසන කොමිෂන් සභාව සමස්ත වශයෙන් පැහැදිලි කළ නොහැකි තරම් ප්‍රමාදයන් සිදුව ඇති බවත් පෙන්වා දෙයි.
"තව ද, වර්ෂ 2017 දී රජයට ස්වකීය අයවැය ප්‍රතිපාදනවලට අනුකූලව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට (RTIC) ජාතික අයවැයෙන් වෙන ම වැය ශීර්ෂයක් වෙන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කොමිෂන් සභාව විසින් නැවත නැවතත් රජයට දැනුම් දී ඇති අතර එය පසුව ඉවත් කරන ලද අතර නැවත උක්ත කී කේන්ද්‍රීය ආයතනය හෙවත් රේඛීය අමාත්‍යංශය යටතේ ප්‍රතිපාදන ලබා දීම සිදුකර ඇති අතර එමගින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ (RTIC) මූල්‍ය හා ක්‍රියාකාරී ස්වාධීනත්වය අඩපණ වන බව අවධාරණය කළ ද එම තත්ත්වය ද නොසලකා හැර ඇති" බව නිවේදනයේ දැක්වේ.
තොරතුරු කොමිසමට ලැබුණ අභියාචනා
තොරතුරු ලබා ගැනීමට අයැදුම් කිරීමෙන් පසුව තොරතුරු ලබා නොදීම හේතුවෙන් කොමිෂන් සභාව වෙත මේ වසරේ මාස 9ක් තුළ ලැබී ඇති අභියාචනා සම්බන්ධයෙන් ද එම නිවේදනයේ දක්වා තිබේ.
ඒ අනුව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව වෙත මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ දී අභියාචානා 1,306ක් ලැබී ඇතැයි එම නිවේදනයේ සඳහන්වේ.
ඉන් අභියාචනා 1,157ක අවසන් තීරණ ලබා දී අභියාචනා ක්‍රියාවලිය අවසන් කළ බව කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එසේ ලැබී ඇති අභියාචනා 308ක් පාර්ශවයන්ගේ ඉල්ලීම්, විෂය කරුණුවල නීතිමය සංකීර්ණතාව ආදී සාධාරණ හේතු මත අභියාචනා ක්‍රියාවලිය අවසන් කර නොමැතිව කල් තබා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එසේ කල් දමන අභියාචන වසරේ ඉතිරි කාලය තුළ විසඳීමට හෝ විභාගය අවසන් කිරීමට ඉතිරි වසරට ගෙන එනු ලබන බවත් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව සිය නිවේදනය හරහා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා තොරතුරු පනත ලැබූ ජාත්‍යන්තර අගැයීම්
ලොව පුරා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් බලාත්මක රටවල් අතරින් ශ්‍රී ලංකාව වඩාත් හොඳ ම රටක් වශයෙන් ස්ථානගත කර ඇතැයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
මෙම පනත මගින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලින් ස්වකීය තොරතුරු සාක්ෂාත් කරගැනීමට දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට ඉඩහසර උදා වී තිබේ.
"තොරතුරු දැන ගැනීමේ පනත (RTI පනත) ඉතාම පුළුල් අන්දමින් භාවිතා කිරීම සමඟම ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් අවධාරණය කරන ලද රාජ්‍ය ආයතනවල තීරණයන්හි විනිවිදභාවය පිළිබඳ මූලධර්ම අභියාචනාධිකරණ විසින් ද තහුවරු කර ඇත." යනුවෙන් නිවේදනයේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිරසර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයට 2020 වසරේදී ඉදිරිපත් කරන ලද යුනෙස්කෝ ගෝලීය වාර්තාව මගින් මෙරට තොරතුරු අයිතිවාසිකම් දැන ගැනීමේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ ඉල්ලීම් සම්බන්ධයෙන් වන තොරතුරු මුදාහැරීමට ගන්නා පියවරයන් සම්බන්ධව පැහැදිලි කරමින්, තොරතුරු දැනගැනීමේ අයිතිය බලාත්මක කිරීම සම්බන්ධව හොඳම ප්‍රයෝගික භාවිතයේ ආකෘතියක් ලෙස පෙන්වා දී ඇති බව ද නිවේදනයේ දක්වා ඇත.
එමෙන් ම, නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ, ලෝක බැංකුව විසින් විනිවිදභාවයේ ප්‍රමුඛතාව සහතික කරන ලෙස ලංකා රජයෙන් ඉල්ලා ඇති බව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රාජ්‍ය අධිකාරීන් අතර (වර්ධනය වෙමින් පවතින) විනිවිදභාවයේ සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා කොමිෂන් සභාව විසින් ගෙන ඇති පියවරයන්හි සාධනීය බව පිළිගනු ලැබ ඇති බව ය.