ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාදුරු ඔය වනෝද්‍යානයේදී කොටියකු මරා හම ගැසීමේ සිද්ධිය: සිදුව ඇත්තේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
කොටියකු මරා, සම සහ නිය ගලවා ගැනීමේ සිදුවීමක් ඉකුත් දා මාදුරු ඔය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා විය.
මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු කළ පරීක්ෂාවකදී ඔවුන් සන්තකයේ සිටි මෙම කොටියා වනජීවී නිලධාරීන්ට හමු වී තිබේ.
වනජීවී දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 4 වන දා මාදුරු ඔය වනෝද්‍යානයේදී වනජීවී නිලධාරීන්ට මෙම පුද්ගලයින් හමුව ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඒ අසල ඇති ඇළකට පැන පලා ගොස් ඇති බව ත් ය.
කෙසේ වෙතත් එක් සැකකරුවෙකු පසුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පලා ගිය අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
සිද්ධිය කුමක් ද?
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා බීබීසී සිංහල වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකුගෙන් විමසීමක් කළේ ය.
"හේනානිගල, කහ පාලමට ආසන්න ප්‍රදේශයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගන්නවා ජාතික උද්‍යානයට ඇතුළු වීම මත. ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් ළඟ සඟවා ගෙන තිබුණ සම ඉවත් කරපු දිවියෙකුගේ සිරුරක් සොයා ගන්නවා," එම නිලධාරියා පැවසීය.
"ඊට පස්සේ ඒ සැකකාරයෝ ඇළට පැනලා පලා යනවා. නමුත් අත්අඩංගුවට ගන්න අවස්ථාවේ අපි ප්‍රශ්න කරද්දි යම් තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගන්නවා කොහේ ද ඉන්නේ කියලා වගේ. ඒ අනුව විමර්ශන කටයුතු කරලා එක සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. තව දෙන්නෙක් අනාවරණය කරගෙන තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගන්න විමර්ශන කටයුතු කරනවා," ඔහු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරුවන් අතර හිටපු යුද්ධ හමුදා සෙබළෙකු සහ හේනානිගල ආදීවාසී පුද්ගලයෙකු සිටින බව එම නිලධාරියා තවදුරටත් පැවසීය.
පලා ගිය සැකකරුවන් කොටියාගේ සම සහ නිය රැගෙන ගොස් ඇති අතර ඒවා ද මෙතෙක් සොයා ගෙන නොමැත.
'හම ගැහිල්ලෙන් පේනවා පළපුරුද්ද'
මෙම සිදුවීම පිළිබඳව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, නයනක රන්වැල්ල ෆේස්බුක් සටහනක් තබා තිබිණි.
ඒ අනුව, බීබීසී සිංහල ඔහුගෙන් මේ පිළිබඳව විමසීමක් කළේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කොටියා මරා දමා සම ඉවත් කර ඇත්තේ ඒ පිළිබඳව මනා පළපුරුද්දක් ඇති පුද්ගලයෙකු බව ය.
"හම ගැහිල්ලෙන් පේනවා මෙයා ඉතා පළපුරුදු දක්ෂ දඩයක්කාරයෙක් කියලා. එයා හම ගහලා තිබ්බා ඉතා ම හොඳින් ලේ, බිඳක් එළියට එන්න නැති වෙන්න. නොදන්න කෙනෙක් කැපුවොත් ලේ විශාල ප්‍රමාණයක් එළියට එනවා," ඔහු පැවසීය.
සම, නිය, දත් සහ මස් පිණිස මෙසේ කොටින් මරා දමන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, නයනක රන්වැල්ල බීබීසි සිංහල වෙත පැවසීය.
"සමහර මිනිස්සු කොටි දත්, නිය පළඳනා විදිහට දාගෙන ඉන්නවා. ඒක නීති විරෝධීයි. ඒත් දාගෙන ඉන්නවා. එතකොට මේ සතාගේ ශරීරයේ සමහර කොටස් සමහර වෛකල්පිත වෙදකම්වලටත් ගන්න බවක් අපිට පේන්න තියෙනවා.
"මස් පිණිසත් මරණවා. අපිට දැනගන්න තියෙනවා කොළඹ අධිසුඛෝපභෝගී හෝටල්වල ඉන්න විදේශිකයන් සඳහාත්, ඇතැම් විට එක්තරා රටක මෙහේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන විදේශිකයන් සඳහා ඒ මස් එන බවට ත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා," ඔහු පැවසීය.
කොටි මරණ වෙනස් ක්‍රමයක්
අතීතයේ මද්ද භාවිත කරමින් කොටි දඩයම් කළ ද වර්තමානය වන විට දඩයක්කරුවන් විසින් වෙනත් ක්‍රමයක් භාවිත කරනු ලබන බව සිය නිරීක්ෂණවලදී සොයා ගත් බව පැවසූ නයනක රන්වැල්ල එම ක්‍රමය හෙළි නොකළේ එම සත්වයින්ගේ ආරක්ෂාව වෙනුවෙනි.
"ඉස්සෙල්ලා අපි හිතුවේ මේගොල්ලෝ පැටලෙනවා කියලා වල් ඌරන්ට තියෙන මදුවල. වනජීවී එක තාම හිතන් ඉන්නෙත් එහෙම. අපි දැන් දන්නවා එහෙම නෙමෙයි මුන්ට ම මදු තියනවා කියලා.
"මද්දකට අහුවුණාම මූ කෑගහනවා. එතකොට ගමේ මිනිස්සු ආවා ම සතාව මස්කාරයාට ගන්න බැහැ. ඒක නිසා දැන් මේගොල්ලෝ වෙනත් ක්‍රමයක් භාවිත කරලා මරණ බව අපිට අහුවුණා. ඒ ක්‍රමයට මරණවා කියන එකෙන් ගම්‍ය වෙන්නේ සැලසුම්සහගතව මුන්ව ම මරණවා කියන එක," යැයි ලේකම්වරයා පැවසීය.
ආර්ථිකයට හා පරිසරයට දායකත්වය දෙන කොටි
කොටින්ගෙන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට මෙන් ම ආර්ථිකයට ලැබෙන දායකත්වය නයනක රන්වැල්ල පැහැදිලි කළේ ය:
"අලි සහ කොටි බලන්න තමයි වැඩිපුර ම ටුවරිස්ට්ලා එන්නේ. ඒක නිසා මෙයාලා විශාල වශයෙන් ඩොලර් ගේන සතෙක්. මෙයාලට අපි මුල්ගල් විශේෂ කියලා කියනවා. ස්වාභාව ධර්මයේ සමතුලිතාව රකින්න නම් එගොල්ලෝ හරි ම වැදගත්, ඒගොල්ලෝ නැති වුණොත් මේ දාමය බිඳ වැටෙනවා."
මරා දැමූ කොටියා කවු ද?
Panthera pardus kotiya යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙම ශ්‍රී ලංකා කොටියා බිළාල කුලය හෙවත් බළල් කුලයට අයත් සාමාජිකයන් ගෙන් විශාලතම සාමාජිකයා ය.
මෙරටට ආවේණික මෙම ශ්‍රී ලංකා කොටියා සුළු ගණත්වයක් පමණක් දැනට ඇති අතර වඳ වීමේ තර්ජනයට මුහුණ දෙන සත්වයකු ලෙස රතු දත්ත පොතට ද ඇතුළත් කර තිබේ.
යාල, විල්පත්තු, වස්‌ගමුව, ගල්ඔය වැනි ජාතික වනෝද්‍යාන හා රක්‌ෂිතවලටත් හෝර්ටන්තැන්න, නකල්ස්, සිංහරාජය, ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත වන බිම්වල වැනි සීමිත ප්‍රදේශ කිහිපයකටත් මෙම සත්වයා සීමා වී ඇත.
වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කොටියා, 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක (සංශෝධන) ආඥා පනත යටතේ දැඩි ලෙස ආරක්‌ෂිත සත්වයෙකු ලෙස නම් කර තිබේ.