හොලිවුඩ් ඔලිම්පික්: 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ගැන ඔබ දැනගත යුතු සියලු කරුණු

    • Author, ජේම්ස් ෆිට්ස්ජෙරල්ඩ්, ක්‍රිස්ටල් හේස් සහ සෑම් ග්‍රැන්විල්
    • Role, බීබීසී පුවත්, පැරිසියේ සහ ලොස් ඇන්ජලීස් සිට

පැරිස් ඔලිම්පික් උළෙල මේ වන විට අවසන්ව ඇති අතර, සුප්‍රසිද්ධ වළලු පහේ ඔලිම්පික් ධජය 2028 වසරේ සත්කාරක නගරය වන ලොස් ඇන්ජලීස් වෙත භාර දී තිබේ.

මෙවර ක්‍රීඩා උළෙල සඳහා පැරිසියට ගිය එක්සත් ජනපද පුරවැසියන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, 2028 ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ඉමහත් බලාපොරොත්තුසහගතව සිටින බව ය.

ලොස් ඇන්ජලීස්හි පදිංචිකාරියක වන මරීසා මෙම උත්සවය, "හොලිවුඩ් උත්කර්ෂය" සමග ඉතා විචිත්‍රවත්ව පැවැත්වෙනු ඇතැයි පවසන්නී ය. එමෙන් ම පැරිසිය, මේ අපේක්ෂාවන්වල ප්‍රමිතිය තවත් ඉහළට ඔසවා ඇතැයි ද කියා සිටියා ය.

ප්‍රංශයේ ඇති කාර්යක්ෂම පොදු ප්‍රවාහන ජාලය හා සම වීමට ලොස් ඇන්ජලීස් නගරයට නොහැකි වනු ඇතැයි බීබීසී වෙත අදහස් දැක්වූ සෙසු ඇමරිකානුවෝ කනස්සල්ල පළ කළහ.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් දින ගණන් කිරීම දැන් ඇරඹී තිබේ. ලොස් ඇන්ජලීස්හි පළමු පැරාලිම්පික් උළෙල ද සනිටුහන් කරන මීළඟ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන මේ වන තෙක් අපි දන්නා කරුණු මෙසේ ය.

ඔලිම්පික් ක්‍රීඩා ඉසව් පැවැත්වෙන්නේ කවදා ද? කොහේ ද?

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් සමාරම්භක උත්සවය 2028 ජූලි මස 14 වන දින පැවැත්වෙන අතර, සමාප්ත උත්සවය ඉන් සති දෙකකට පසුව, එනම් ජූලි 30 වන දා පැවැත්වීමට නියමිත ය.

පැරාලිම්පික් සමාරම්භක උත්සවය අගෝස්තු 15 වන දා පැවැත්වෙන අතර එහි සමාප්ත උත්සවය පැවැත්වෙන්නේ, අගෝස්තු 27 වන දා ය.

සමස්තයක් වශයෙන්, ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා 50කට වැඩි සංඛ්‍යාවකට අදාළව ක්‍රීඩා ඉසව් 800කට වඩා වැඩි සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇත.

2028 ක්‍රීඩා උළෙල, ලොස් ඇන්ජලීස් නගරය ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය දක්වන තුන් වන අවස්ථාව බවට පත්වනු ඇත. ඔලිම්පික් උළෙල එහි පැවැත්වීම සඳහා තමන් සතු ශක්‍යතාව අවධාරණය කරමින් එහි සංවිධායකයින් පවසා ඇත්තේ, උළෙල සඳහා නව ස්ථිර ඉදිකිරීම් අවශ්‍ය නොවන බව ය.

ඒ වෙනුවට, මීට පෙර ඔලිම්පික් උළෙල පැවති අවස්ථා දෙකෙහිදී මලල ක්‍රීඩා ඉසව් පැවති, ගැලැක්සි පාපන්දු ක්‍රීඩාංගණය සහ මෙමෝරියල් කොලීසියම් ඇතුළුව දැනට පවතින ස්ථාන රැසක් මේ සඳහා වෙන් කර තිබේ.

බීච් වොලිබෝල් තරග, පොල් රුප්පාවෙන් ගහන වූ සැබෑ වෙරළ තීරයක පැවත්වීමට තීරණය කිරීම එතරම් පුදුමය දනවන තීරණයක් නොවනු ඇත. එය පැරිස් ඔලිම්පික් උළෙලේදී සිදු කිරීමට නො හැකි වූ දෙයකි.

නමුත් සමහර ස්ථාන, ඔලිම්පික් උළෙලට අනුව වෙනස් කෙරෙනු ඇත. උදාහරණයක් ලෙස, දැනට දන්නා පරිදි, ඉංගල්වුඩ් උපනගරයේ සොෆි ක්‍රීඩාංගණයට, පිහිණුම් තරග සඳහා භාවිත කළ හැකි ආකාරයේ තටාකයක් එකතු කෙරෙනු ඇත.

මේ අතර, ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UCLA) ශිෂ්‍ය නිවාස සංකීර්ණය, ගිම්හාන ඔලිම්පික් ගම්මානය බවට පත් කෙරීමට නියමිත ය. එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් මෙන් ම පුහුණු පහසුකම් ද සපයනු ඇත.

2017 දී ලංසුව ජයග්‍රහණය කිරීමෙන් පසුව, ලොස් ඇන්ජලීස් නගරයට තිරසර සංවර්ධන දැක්මට අනුකූල වෙමින් ඔවුන් පොරොන්දු වූ පරිදි, ක්‍රීඩකයන්ට "මෝටර් රථ රහිතව, සිය ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහනය භාවිතයට යොමු කිරීමට" හැකි වේ දැයි සොයා බැලිය යුතු ය.

ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට අනුව, ප්‍රධාන දුම්රිය ජාලයක් වැඩිදියුණු කිරීමේ සැලසුම් ව්‍යර්ථ වූ පසු, ප්‍රේක්ෂකයින් දහස් ගණනක් කැලිෆෝනියා නගරය හරහා ප්‍රවාහනය කිරීම සංවිධායකයින්ට විශාල අභියෝගයක් වී තිබේ. ඔවුන් මෝටර් රථ යොදා නොගෙන, ඒ සඳහා බස් රථ භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

එය ලාභදායී විකල්පයක් නම් නොවේ.

ප්‍රවාහන වියදම් හැරුණුකොට, ක්‍රීඩාවලට පමණක් ම ඩොලර් බිලියන 7 (පවුම් බිලියන 5.5) කට ආසන්න වියදමක් දැරීමට සිදු වනු ඇතැයි නවතම අයවැය අනාවැකි පළ වී තිබේ.

කුමන ක්‍රීඩා ඇතුළත් වේ ද? - ඇතුළත් නො වන්නේ කුමන ක්‍රීඩා ද?

සුපුරුදු ඔලිම්පික් ක්‍රීඩාවලට අමතරව, ලොස් ඇන්ජලීස් ක්‍රීඩා උළෙලේදී, කලක් තිස්සේ ඔලිම්පික් උළෙලක දක්නට නොලැබුණු ක්‍රීඩා මෙන් ම නව ක්‍රීඩා ද එකතු වනු ඇත.

  • 1900 වසරට පසු ප්‍රථම වරට 2028 වසරේදී ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ඇත. ලොස් ඇන්ජලීස්හිදී, T20 තරගාවලි දැකීමට අපට අවස්ථාව ලැබෙතැයි අපේක්ෂා කෙරේ. එහි පැවැත්වෙනු ඇත්තේ, පන්දු වාර 20කට සීමා කළ කෙටි ආකෘතියකි. මෙම අලුත් ක්‍රීඩා ඉසව්ව නිසා ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට යම් අවස්ථාවක් සැලසෙනු ඇත.
  • ලැක්‍රොස් ද නැවතත් ඔලිම්පික් පිටියට පැමිණෙනු ඇත. උතුරු ඇමරිකාවේ ක්‍රීඩා කරන පැරණිතම ක්‍රීඩාවක් වුව ද, ලැක්‍රොස්, ගත වුණු ශතවර්ෂයකට අධික කාලයකදී ඔලිම්පික් මට්ටමින් ක්‍රීඩා කර නොමැත. 2028දී ලැක්‍රොස් සඳහා නව ආකෘතියක් හඳුන්වා දෙනු ඇති අතර, හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් ඔවුන්ගේ ලැක්‍රෝස් කූරු භාවිත කරමින් ගෝල වාර්තා කරනු ඇත.
  • 2024දී පැරිසියේදී ඉවත් කර තිබූ, ලැක්‍රොස්වලට සමාන, පිත්ත සහ පන්දුව භාවිත කරමින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වය ම ක්‍රීඩා කරන බේස්බෝල්/සැහැල්ලු පන්දු ක්‍රීඩාව ද නැවත දක්නට ලැබෙනු ඇත.
  • වසර ගණනාවක් පුරා රසිකයින් කළ ඉල්ලීම් ඉටු කරමින් ස්කොෂ් ක්‍රීඩාව ද ප්‍රථම වරට ඔලිම්පික් උළෙලකදී ක්‍රීඩා කෙරෙනු ඇත.
  • ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ ම වෙනත් අනුවර්තනයක් වන ෆ්ලැග් ෆුට්බෝල් ද ප්‍රථම වරට මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා කෙරෙනු ඇත. මෙම පාපන්දු ක්‍රීඩාවේදී, අඩු ක්‍රීඩකයින් පිරිසක්, කුඩා පිටියක ක්‍රීඩා කරන අතර, ශාරීරිකව ගැටෙනු වෙනුවට, ප්‍රතිවාදියෙකුගෙන් ධජයක් උදුරා ගැනේ. බ්‍රිතාන්‍ය ඇමෙරිකානු පාපන්දු සංගමයට අනුව, ධජ පාපන්දු යනු එක්සත් රාජධානියේ වේගයෙන් ම වර්ධනය වන ක්‍රීඩාවයි.
  • එමෙන් ම නව පැරාලිම්පික් ඉසව්වක් ද මෙහිදී එළිදැක්වීමට නියමිත ය: පැරාක්ලයිම්බින් නම් මෙය, විවිධ වර්ගීකරණයන් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආධාරක අල්ලාගෙන මීටර් 15 (අඩි 50) බිත්තියක් නැගීමේ ක්‍රීඩාවකි.
  • එමෙන් ම රළ මත ලිස්සා යාම, ස්කේට්බෝර්ඩින් සහ කඳු නැගීම ආදී සාපේක්ෂව අලුත් ඇතැම් ඔලිම්පික් ක්‍රීඩා ද මෙයට ඇතුළත් වනු ඇත.

නමුත් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මුල්වරට ආරම්භ කළ වීදි නැටුම් මීළඟ ඔලිම්පික් උළෙල සඳහා තෝරා ගෙන නැත. මෙය බොහෝ දෙනා තුළ බලාපොරොත්තු කඩ වීමක් ඇති කර ඇත්තේ මෙම නැටුම් මුලින්ම ආරම්භ වූයේ මීළඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන එක්සත් ජනපදයේ බැවිනි.

ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන ක්‍රීඩා තරු කවුරුන් ද?

2024 පැරිස් ක්‍රීඩා උළෙලේ සිටි දැවැන්ත තරු කිහිපයක් ම ලොස් ඇන්ජලීස්හිදී ද දැකීමට අපට අපේක්ෂා කළ හැක.

ප්‍රංශයේ පැවැති මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ කීලි හොඩ්කින්සන් ය. මීළඟ ඔලිම්පික් උළෙලට පැමිණෙන විට ඇයට වයස අවුරුදු 26ක් වනු ඇත. එමෙන් ම ඇය එවිටත් මලල ක්‍රීඩා ලොවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවකව සිටිනු ඇත.

මෙම වසරේ ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙන තවත් ක්‍රීඩා තරුවක් වූයේ, පිහිනුම් ක්‍රීඩක ලියොන් මාර්චන්ඩ් ය. රන් පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වූ ඔහු ජලයෙන් හිස ඔසවන සෑම විට ම, නරඹන්නන් විසින් ජය ඝෝෂා කරමින් ඔහුව පිළිගනු ලැබිණි.

මාර්චාන්ඩ් ද 2028 වසර වන විට 26 වන වියේ පසු වන අතර, ඔහුගේ ඔලිම්පික් කිරුළට අභියෝග එල්ල වීම වැළැක්වීම වෙනුවෙන් ඔහුත් ලොස් ඇන්ජලීස් ක්‍රීඩා උළෙලට සහභාගී වනු ඇත.

මෙම වසරේ ස්කේට්බෝඩිං ඉසව්වේ තරගකරුවන්ගෙන් බහුතරයක් 2028 ඔලිම්පික් සඳහා ද සහභාගී වනු ඇත. විශේෂයෙන්, පැරිසියේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කැපී පෙනෙන දෙදෙනෙකු වූ චීනයේ 11 හැවිරිදි ෂෙන්ග් හඕහාඕ සහ බ්‍රිතාන්‍යයේ ස්කයි බ්‍රවුන් ද 2028 ඔලිම්පික් සඳහා සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

දෙවරක් ඔලිම්පික් ලෝකඩ පදක්කම් දිනූ බ්‍රවුන්, මීළඟ ක්‍රීඩා උළෙල වන විටත් වයස 20ක් පමණක් වන ක්‍රීඩිකාවකි. මීළඟට ඇති ප්‍රශ්නය ඇය ක්‍රීඩා උළෙලේ ස්කේටින් සඳහා සහභාගී වනවා ද, නැත්නම් රළ පැදීම සඳහා සුදුසුකම් ලබන්නේ ද යන්න ය.

කෙසේ වෙතත්, අනෙකුත් ගෝලීය තාරකාවන්ගේ සහභාගීත්වය නිශ්චිත නැත. පැරිස් ඔලිම්පික්හි වඩාත් ම ජනප්‍රිය නමක් වූ සිමෝන් බයිල්ස්ට 2028 වන විට වයස අවුරුදු 31 කි. ජිම්නාස්ටික් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඒ වන විට වයස 30 ගණන්වල පසුවනු ඇත. එමෙන් ම සුපිරි තාරකාව බයිල්ස්, සිය රටේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඇගේ පදක්කම් 11ට තවත් පදක්කම් එකතු කර ගැනීමට උත්සුක වනු ඇත.

අලුතින් කිරුළු පැළඳ සිටින මීටර් 100 පිරිමි ශූරයා වන නෝවා ලයිල්ස්ට ද 2028 වසර වන විට වයස අවුරුදු 31 කි. නමුත් ඔහු ඔලිම්පික් ශූරතාවලියේ වඩාත් ම කීර්තිමත් ශූරතාව ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපද ක්‍රීඩක කාල් ලුවිස් මෙන් වීමට තවත් වෙහෙස විය යුතුව තිබේ.

නමුත්, මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම සඳහා වෙනස් කිරීමක් සිදු වීමට ඉඩ තිබේ. මෙය පිහිනුම් ක්‍රීඩක ඇඩම් පීටි පැරිස්ගේ අවසන් ක්‍රීඩා උළෙල බවට ඉඟි කර ඇති අතර කිමිදුම්කරු ටොම් ඩේලි විශ්‍රාම ගැනීමෙන් පසුව යළිත් වතාවක් පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වී රිදී පදක්කමක් දිනා ගත්තේ ඔහුගේ කුඩා පුතාගේ ඉල්ලීම පරිදි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මහා බ්‍රිතාන්‍යයේ ඔරු පැදීමේ ක්‍රීඩිකා හෙලන් ග්ලෝවර් සිය සිව් වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල වන ලොස් ඇන්ජලීස් සඳහා සහභාගී වී සිව් වන පදක්කමත් සිය නමට ලියා ගැනීමට උත්සහ කරනු ඇත. අයගේ වයස ඒ වන විට අවුරුදු 42කි.

ලොස් ඇන්ජලීස්හි සැලසුම කුමක්ද?

එක් දිවා ආහාර විවේකයක් අතරතුර, ඇමෙරිකානු කාන්තා ඔලිම්පික් පැසිපන්දු කණ්ඩායම, පැරිසියේ තරග වදිනු නැරඹීමට රසිකයින් ලොස් ඇන්ජලීස්හි 3 වන බේස් ස්පෝර්ට්ස් බාර් වෙත රැස් වූහ. ඇමෙරිකානු කණ්ඩායම පිටියෙන් පිටව යන විට රසිකයන්ගේ ප්‍රීති ඝෝෂා නැගිණි.

තවත් වසර හතරක් ඇතුළත, එම ක්‍රීඩා ඉසව් බොහොමයක්, එම ස්ථානයට සැතපුම් කිහිපයක් දුරින් පවත්වනු ඇත.

කෙසේ වෙතත්, මේ සඳහා ඇති උද්යෝගය සමග සමහර සැක සංකා ද ඇති වී තිබේ.

ඔස්කාර් සම්මාන උළෙලේ සිට සුපර් බෝල් දක්වා මහා පරිමාණ උළෙලවල් පැවැත්වීම, ලොස් ඇන්ජලීස් නගරයට අලුත් අත්දැකීමක් නොවේ. එවන් උළෙලවල් පැවැත්වීමේ අවාසි ගැන ද ඔවුහු හොඳින් දනිති.

ඇමෙරිකාවේ නරක ම ගමනාගමන පද්ධතිය ඇත්තේ, ලොස් ඇන්ජලීස් නගරයේ බව පිළිගැනේ. එහි දුර්වල ප්‍රවාහන පද්ධතිය ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදය පළ වී තිබේ.

ලංසුව ඉදිරිපත් කරන අවස්ථාවේදී, ක්‍රීඩා උළෙල වෙනුවෙන් නගරයේ ප්‍රවාහන දුෂ්කරතා කිහිපයක් නිවැරදි කිරීම සිදු කරනු ඇතැයි ලොස් ඇන්ජලීස් වාසීන් බලාපොරොත්තු වූ නමුත්, දුම්රිය ජාලය දිගු කිරීමේ සැලසුම් ඉවත් කිරීම සහ ඒ වෙනුවට බස් රථ සමූහයක් එක් කිරීමට තීරණය කෙරිණි. ප්‍රදේශ වාසීන් ඒ ගැන සතුටට පත් වූයේ නැත.

ඔලිම්පික් සමගින් එහි පැමිණෙන මිලියන සංඛ්‍යාත සංචාරකයින්ට ද එය යහපත් නොවේ.

අවන්හලට වී බර්ගර් එකක් රස විඳිමින් සිටි කෝරි පැවසුවේ, “දැනටමත් මෙහෙ හැම දා ම වාහන තදබදයක් තියෙනවා. ඔලිම්පික් එක්ක මෙතැනට පිටතින් ගේන්නේ තමන් යන්නේ කොහෙ ද කියා නොදන්නා මිනිස්සු..."

එමෙන් ම ලොස් ඇන්ජලීස් යනු ඇමෙරිකාවේ නිවාස නොමැති ජනගහනය වැඩි ම නගරවලින් එකකි.

2028 ක්‍රීඩා උළෙල නගරයේ නිවාස නොමැති පුද්ගලයන්ගේ ගැටලුව විසඳීමට සහ ඒ වෙනුවෙන් දිගුකාලීන විසඳුමක් සෙවීමට හොඳ හේතුවක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව එලීෂා BBCයට පැවසීය.

ක්‍රීඩා උළෙල ලොස් ඇන්ජලීස් මනරම් වෙරළ තීරය සහ නගරයේ අහසට ඉහළින් එල්ලා ඇති ජනප්‍රිය හොලිවුඩ් සලකුණ ද සහිතව උත්සවාකාරයෙන් පවත්වෙනු ඇත. නමුත් මෙම බටහිර වෙරළ අගනගරයට, පැරිසියට වැනි ඓතිහාසික පසුබිමක් ගැන අභිමානයෙන් කීමට කිසිවක් නොමැත.

ලොස් ඇන්ජලීස් නගරයට අයිෆල් කුළුණ හෝ වර්සයිල්ස් මාලිගය වැනි සුවිශේෂී ස්ථාන නොතිබුණත්, එයට තමන්ගේ ම ආකර්ෂණීය බවක් ඇති බවත් එලීෂා අවධාරණය කළේ ය.

"මේක පැරීසිය නෙවේ. ඒ වුණාට ලොස් ඇන්ජලීස් එකට හොලිවුඩ් තියෙනවා. - අපිට හොලිවුඩයේ ඕනෑ ම දෙයක් කරන්න පුළුවන්"

1984 සහ 1932 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලවලදී සිදු වූයේ කුමක් ද?

අවසන් වරට ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල පැවැත්වූයේ, 1984දී ය. ඇමෙරිකාවේ දැන්වීම් පුවරුවල ප්‍රමුඛ ස්ථානය ඔටුන්න හිමි කුමරුට හිමිවී තිබූ අතර, සීතල යුද්ධ සමය ගත කරමින් සිටි සෝවියට් සංගමය, ආරක්ෂක ගැටලු හේතුවෙන් ක්‍රීඩා උළෙල වර්ජනය කළේ ය.

එවර මහා බ්‍රිතාන්‍යය රන් පදක්කම් පහක් දිනා ගත්තේ ය. ඒ, රන් පදක්කම් 5 හිමි කර ගත්තේ, ජවන හා පිටිය ක්‍රීඩක ඩේලි තොම්සන්, හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා ටෙසා සැන්ඩර්සන්, ස්ටීව් රෙඩ්ග්‍රේව් නම් යොවුන් ඔරු පැදීමේ ක්‍රීඩිකාව සහ ලෝක මලල ක්‍රීඩා සංවිධානයට නායකත්වය දුන් මීටර් 1,500 ධාවකයා සෙබ්කෝ ය.

එහෙත්, 1984 ලොස් ඇන්ජලීස්හි ක්‍රීඩා සුපිරි තරුව වූයේ, පිරිමි මීටර් 100, මීටර් 200, දුර පැනීම සහ මීටර් 4x100 සහය දිවීමේ ඉසව්වල රන් පදක්කම් දිනා ගත්, ඇමෙරිකානු ක්‍රීඩක කාල් ලුවිස් ය.

එක්සත් ජනපදය පදක්කම් සටහනේ ආධිපත්‍යය දැරූ අතර, වර්තමානයේ මෙන්, එක්සත් ජනපදයට තරගයක් දීමට චීනයට හැකි වූයේ නැත.

ඓතිහාසික අවස්ථා ගණනාවක් අතරින්, පළමු කාන්තා ඔලිම්පික් මැරතන් තරගය පැවැත්වීම ද, 1984 ක්‍රීඩා උළෙලේ විශේෂ මොහොතක් විය.

එම වසරේ පැරාලිම්පික් උළෙල එංගලන්තයේ ස්ටෝක් මැන්ඩෙවිල් සහ නිව් යෝර්ක්හි ඒකාබද්ධව පවත්වන ලදී. මෙය එක් සත්කාරක නගරයක්, ඔලිම්පික් සහ පැරාලිම්පික් යන දෙකට ම සත්කාරකත්වය නොදැක්වූ අවසන් අවස්ථාව ය.

1932 ලොස් ඇන්ජලීස්හි ඔලිම්පික් උළෙල පැවතියේ විශාල ආර්ථික අවපාතයක් තිබූ කාලයක, අදට වඩා බොහෝ සෙයින් අඩු සංවර්ධනයක් පෙන්වූ කැලිෆෝනියාවක ය.

නූතන පැරාලිම්පික් උළෙලට සමාන කිසිදු ඉසව්වක් නොතිබිණි.

ක්‍රීඩා, ඒවායේ පෙර යුගවලට වඩා සැලකිය යුතු ලෙස කෙටි වූ අතර, තරගකරුවන් සංඛ්‍යාව පෙරට වඩා අඩු විය.

නමුත් සමාරම්භක උත්සවයට 100,000ක පමණ පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වී තිබිණි.

දැන් භාවිත වන පදක්කම් වේදිකාව මුලින් ම භාවිත වූයේ ද එම ඔලිම්පික් උළෙලේදී ය.