උපවාසයෙන් මරණය වැළඳ ගන්නා ආගමික බැතිමතුන්

    • Author, ස්වාමිනාදන් නටරාජන්
    • Role, බීබීසී ලෝක සේවය

තමාට ගැබ්ගෙළ පිළිකාවක් ඇති බව හඳුනාගෙන සති තුනකට පසු 88 හැවිරිදි සයර් දේවි මෝදි ප්‍රතිකාර ලබා නොගැනීමට තීරණය කළා ය. ඒ වෙනුවට ඇය මරණය දක්වා උපවාස කිරීම තෝරා ගත්තා ය.

"එයාගේ බයොප්සි රිපෝට් එක ආවේ ජූනි 25. ඒකෙ හැටියට කැන්සර් එක පැතිරෙමින් තිබුණේ. 2024 ජූලි 13 දින එයා ආගම සිහි කරලා සුප් එකක් බිව්වා. පස්සේ අපිට කතා කරලා මැරෙන තුරු උපවාස කරන්න (සන්තාරා) ඕනේ කියන එයාගේ අදහස කිව්වා," ඇයගේ මුණුපුරා, ප්‍රණේ මෝදි සිහිපත් කරයි.

'සන්තාරා', 'සලෙඛ්නා' ලෙස ද හැඳින්වෙන මෙය ජෛන ආගමේ ඇතැම් අනුගාමිකයින් විසින් ඉටු කරනු ලබන චාරිත්‍රයක් වන අතර එහිදී ආහාර සහ ජලය අතහැර මරණය වැළඳ ගැනීම සිදුවේ.

එය මෙම ආගම ඇදහිමේදී අනිවාර්යයෙන් සිදු කළ යුතු දෙයක් නොවන අතර ඉන්දියානු මාධ්‍ය වාර්තා ඇස්තමේන්තු කරන්නේ, ජෛන ආගමිකයින්ගෙන් කුඩා ප්‍රමාණයක් එනම්, සෑම වසරක ම 200 සිට 500 දක්වා පිරිසක් මේ ආකාරයෙන් මරණය තෝරා ගන්නා බව ය.

ඇතැමෙකු මෙම පිළිවෙතට විරුද්ධ වන අතර එය සියදිවි නසාගැනීමක් ලෙස හඳුන්වති. 'සන්තාරා' තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

ජෛන ආගම

අවම වශයෙන් වසර 2,500ක් පැරණි ආගමක් වන ජෛන ආගමේ හරය වන්නේ අවිහිංසාවයි. ඔවුන්ට දෙවියෙකු නැති නමුත් ජෛනයන් නිර්මල, ස්ථිර, තනි පුද්ගල සහ සර්වඥ ආත්මයක් විශ්වාස කරයි.

ජෛනයන්ගෙන් වැඩි දෙනෙකු පාහේ නිර්මාංශිකයින් වන අතර සදාචාරාත්මක වටිනාකම් සහ ලෞකික සැපපහසුකම් අත්හැරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

ඉන්දියාවේ ජෛනයන් මිලියන පහක් පමණ සිටින අතර ඔවුන් බොහෝ විට හොඳින් උගත් අය වෙති. (එක්සත් ජනපදය පදනම් කරගත් පිව් පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ සාමාන්‍ය ඉන්දියානු ජනගහනයෙන් 9%ට සාපේක්ෂව ජෛන වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට විශ්වවිද්‍යාල උපාධියක් ඇති බවයි) එමෙන් ම, බොහෝ දෙනෙක් සාපේක්ෂව ධනවත්හු වෙති.

ජෛන ගුරුවරුන් බොහෝ විට පුළුල් ඉන්දියානු සමාජය තුළ ගෞරවයට පාත්‍ර වේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක් විශේෂ ගුරුවරයෙකුගේ අභාවය ගැන ශෝකය ප්‍රකාශ කරමින්, එනම් ආචාර්‍ය ශ්‍රී විද්‍යාසාගර් ජී මහරාජ්ගේ අභාවය "රටට පිරිමැසිය නොහැකි පාඩුවක්" ලෙස විස්තර කරමින් X සටහනක් ද තබා තිබිණි.

දින තුනක උපවාසයක නිරත වූ මෙම ගුරුවරයා මිය යන විට 77 වන වියේ පසුවිය. ඔහුගේ අවමංගල්‍යයට දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූහ.

නිරාහාරව සිටීමෙන් තම ජීවිතය අවසන් කිරීමේ මෙම ක්‍රියාවලිය සුව කළ නොහැකි සහ වේදනාකාරී රෝගයකින් පෙළෙන රෝගියෙකු මරණයට පත් කිරීමක් හෝ සසහය දිවි නසා ගැනීම සමග සැසඳිය යුතු නැති බවට ජෛන ආගමිකයෝ තර්ක කරති.

"සලේඛ්නා හෝ සන්තාරා සසහය සියදිවි නසාගැනීම්වලට වඩා වෙනස් වෙන්නේ ඒකට වෛද්‍යවරයෙකුගේ සහය ලැබෙන නිසා සහ මාරාන්තික වන කිසි දෙයක් ගැනීම හෝ එන්නත් කිරීමක් සිද්ධ නොවෙන නිසා," කොලරාඩෝ-ඩෙන්වර් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය සහ ජෛන ආගම පිළිබඳ විශේෂඥයෙකු වන ස්ටීවන් එම් වෝස් බීබීසීයට පැවසීය.

මහාචාර්ය වෝස් විසින් විස්තර කරන ලද ආකාරයට මෙම පිළිවෙත පිළිබඳ ඓතිහාසික සාක්ෂි එනම්, "ශරීරය අත්හැරීම" හෝ "ශරීරය දුර්වල වී යාමට ඉඩ හැරීම" 6 වන සියවස තරම් ඈත අතීතයකට දිව යයි.

ජීවිතය සැමරීම

කර්මය, ආත්මය, නැවත ඉපදීම සහ ගැලවීම පිළිබඳ විශ්වාසය සන්තාරාහි ප්‍රධාන අංග වේ.

සයර් දේවි වැනි ඇතැම් ජෛන ආගමිකයෝ තම මරණය ආසන්න බව වටහා ගත් විට හෝ සුව කළ නොහැකි රෝගයක් හඳුනා ගැනීමෙන් පසුව මෙම මරණය තෝරා ගනිති.

උපවාසය අතරතුර ගන්නා ලද වීඩියෝවල සයර් දේවි සුදු සාරියක් ඇඳ හතරැස් රෙදි කඩකින් මුඛය වසාගෙන සිටින්නී ය.

"ඇය සන්සුන්ව හිටියේ, සිහිකල්පනාවෙන් අවසානය දක්වා කතා කරමින් හිටියා," ප්‍රණේ මෝදි සිහිපත් කරයි.

මෝදි පවසන්නේ, තම මිත්තණියගේ අවසන් උපවාසය අතරතුර, මධ්‍යම ඉන්දියාවේ කබ්‍රිදම්හි මහ ගෙදරට බොහෝ දෙනෙකු රැස් වූ බැවින් උත්සව එය පෙනුමක් ගත් බව ය.

"මනුස්සයෙක් මැරෙන තැනක් වගේ නෙමෙයි එතන පෙනුණේ. පවුලේ ඥාතීන්, නෑදෑයන්, හිතවතුන්, අසල්වාසීන්, ආගන්තුකයන් හැම කෙනෙක් ම වගේ ඇවිල්ලා ඇගේ ආශිර්වාදය ලබා ගත්තා."

අවසාන දිනවලදී පවා විනාඩි 48ක කාලයක් පමණ ගත වන ජෛන වන්දනාවක යෙදීමට පවා දේවිට ශක්තිය තිබුණා ය.

"බෙහෙත් නවත්තුවට පස්සේ එයා ගොඩක් වේදනා වින්දා කියලා කියන එකේ සැකයක් නැහැ. ඒත් එයා ඒ කිසි දෙයක් ගැන චෝදනා කළේ නැහැ. ඇගේ මුහුණේ දීප්තිමත් බවක් සහ සාමකාමී බවක් පේන්න තිබුණා.

දේවිගේ දරු මුණුපුරු මිණිබිරියෝ ඇගේ ජීවිතය ගිලිහී යන ආකාරය දෙස බලා සිටියහ.

"මේ විදිහට එයා මැරෙන එක දිහා බලන එක මට හරි අමාරුයි," මෝදි පවසයි. "ඒත් මම දන්නවා එයා යන්නේ හොඳ තැනකට කියලා. අපි එයාගේ තීරණයට ගරු කළා."

අවසන් සටන

සන්තාරා සෑම විට ම සන්සුන් අවසානයක් ලබා නොදෙනු ඇත. මහාචාර්ය මිකී චේස්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය මේ සම්බන්ධයෙන් වූ අතර ඇය අවසාන උපවාස විශාල ගණනක් නිරීක්ෂණය කර තිබිණි.

"මාරාන්තික පිළිකා රෝගයක් වැළඳිලා හිටපු එක පුද්ගලයෙක් සන්තාර පිළිවෙත අනුගමනය කරන්න ගිහින් සෑහෙන්න වේදනාවක් වින්දා. එයාගේ පවුලේ ඇය එයාගේ මේ ක්‍රියාව ගැන ආඩම්බර වෙලා එයාට සහය දුන්නත්, ඒ අයට අපහසු වුණා එයා දුක් විඳින විදිහ බලන්න, විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ ජෛන අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය සහ ශ්‍රී අනන්තනාත් තනතුර දරන චේස් පවසයි.

තවත් සිදුවීමකදී, චේස් දුටුවේ මාරාන්තික පිළිකාවක් ඇති බව හඳුනාගත් කාන්තාවක උපවාස කිරීමෙන් පසු වඩාත් සන්සුන් බවට පත් වූ බව ය.

"ඇයව දිරිමත් කරන එක සහ ඇගේ අධිෂ්ඨානය ශක්තිමත්ව තබා ගන්න පවුලක් විදිහට අපිට අපේ වගකීම කියලා දැනුණා කියලා සහ ඒ නිසා ඒ අය ඇය වෙනුවෙන් අධ්‍යාත්මික සුවයක් දැනෙන ගීත ගායනා කළා."

මහාචාර්ය වෝස් විශ්වාස කරන්නේ, යම් අපහසුතාවලට මුහුණ දීම නොවැළැක්විය හැකි බව ය.

"බඩගින්නේ මනුස්සයෙක් මැරෙන එක බලන් ඉන්න එක කිසි ම විදිහකට ප්‍රසන්න දෙයක් නෙවෙයි. ඒ වගේ ම අවසාන මොහොත වේදනාකාරී වෙන්න පුළුවන්. ශරීරය බේර ගන්න සටන් කරද්දී ඒ පුද්ගලයා අවසානයේ කෑම නැත්නම් වතුර ඉල්ලන්න පුළුවන. ඒත් එහෙම දෙන්නේ නැහැ. ඒත් මේක මෙය සාමාන්‍යයෙන් අවසානයේ කොටසක් විදිහට හඳුනා ගන්නවා," ඔහු පවසයි.

මේ ආකාරයට මියගිය දිගම්බර් භික්ෂූන්ගේ (නිරුවතින් සැරිසරන පිරිස්) සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූපවල ඔවුන්ගේ කම්මුල් ගිලී ඇති අයුරු සහ පර්ශු ඉදිරියට නෙරා ඇති බව පෙන්නුම් කරයි. එය කුසගින්න සහ විජලනය පිළිබඳ පැහැදිලි දර්ශකයකි.

සන්තාරා පිළිවෙත තෝරා ගන්නා අයගෙන් බහුතරය කාන්තාවන් බව විශ්වාස කෙරේ. මහාචාර්ය වෝස් විශ්වාස කරන්නේ, ඒ, කාන්තාවන් වඩා භක්තිවන්ත යැයි සැලකීම මෙන් ම පිරිමින්ට වඩා ජීවත් වීමට ඔවුන්ට ඇති හැකියාව නිසා බව ය.

මෙම ප්‍රජාව සන්තාරා "විශිෂ්ට අධ්‍යාත්මික ජයග්‍රහණයක්" ලෙස දකින බව මහාචාර්ය චේස් පවසයි.

දේවධර්මීය පදනම

ශ්‍රී ප්‍රකාශ් චාන්ද් මහරාජ් ජී (උපත 1929) යනු, ස්වේතම්බර නිකායේ ජ්‍යෙෂ්ඨතම ජෛන භික්ෂුවකි. ස්වේතම්බර යනු, සුදු ඇඳුමෙන් සැරසී සිටීම ය. ඔහු 1945දී පැවිදි ජීවිතයට ඇතුළත් විය. ඔහුගේ පියා සහ බාල සොහොයුරා ද පැවිදි වූ අතර සන්තාරා පිළිවෙත අනුගමනය කළහ.

"තාත්තයි මල්ලියි දැක්කා ම මට දුකක් දැනුනෙ නෑ. මම සම්පූර්ණයෙන් ම වගේ වියුක්ත වුණා. මම අනාථ වෙනවා කියලාවත් මගේ ජීවිතේ හිස් තැනක් ඇති වේවි කියලාවත් මට දැනුණේ නැහැ."

95 හැවිරිදි ඔහු උතුරු ඉන්දියාවේ ගොහානා නගරයේ ආරාමයක වාසය කරයි. ඔහු දුරකතන හෝ ලැප්ටොප් භාවිත නොකරන අතර ඔහුගේ ගෝලයෙකු වන අශිෂ් ජයින් හරහා බීබීසීය වෙත කතා කළේ ය.

"මෙම ජීවිතයේ පරිපූර්ණ අවසානය සහ ඊළඟ ජීවිතයේ පරමාදර්ශී ආරම්භය ලෙස සුන්දර මරණයක් පිළිබඳ සංකල්පය පදනම් වී ඇත්තේ මගේ දාර්ශනික, අධ්‍යාත්මික සහ ආගමික මූලධර්ම මතයි," ඔහු බීබීසීය වෙත පැවසීය.

මෙම භික්‍ෂුව පවසන්නේ සන්තාරා පිළිවෙතට බොහෝ අවස්ථා ඇතුළත් වන අතර එය හදිසියේ හෝ ආවේගශීලීව කළ නොහැකි බව ය. කෙනෙකුට ඒ සඳහා පවුලේ අවසරය සහ මහරාජ් ජී වැනි අධ්‍යාත්මික ගුරුවරුන්ගෙන් මග පෙන්වීම අවශ්‍ය වේ.

සන්තාරාහි පළමු අදියර වන්නේ, ඔබගේ සියලු අතීත පාප සහ අකටයුතුකම් දෙස ගැඹුරින් සිතීම සහ ඒවා පිළිගැනීමයි. අනතුරුව සමාව අයැද සිටිය යුතු වේ.

"උපවාස කරන එකෙන් සහ මරණය වැළඳ ගැනීමෙන් කෙනෙකුට ශරීරය සහ ආත්මය පිරිසිදු කරගෙන ඊළඟ උපතේදී වඩා හොඳ අධ්‍යාත්මික ජීවිතයක් සඳහා නරක කර්ම අඩු කර ගන්න පුළුවන්," මහරාජ් ජී පැහැදිලි කරයි.

"එය අවසානයේදී උත්පත්ති සහ මරණ චක්‍රයෙන් ආත්මය මුදා හැරීමෙන් අවසන් වනු ඇත."

නීතිමය අභියෝගයක්

2015දී වයඹ දිග ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ මහාධිකරණය විසින් මෙම චාරිත්‍රය තහනම් කරන ලද නමුත් පසුව එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවන ලදී.

හිටපු සිවිල් සේවකයෙකු වන ඩී.ආර්. මෙහෙතා යනු, සන්තාරා සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට සඳහා ගොනු කර ඇති නඩුවක කොටස්කරුවෙකි.

"ජෛන ආගමිකයින් මේක දකින්නේ මැරෙන්න තියෙන හොඳ ම ක්‍රමය විදිහට. ඒක සවිඥානිකව, සාමකාමීව සහ ගෞරවාන්විතව මරණය පිළිගැනීමක්. අධ්‍යාත්මික පවිත්‍රවීම සහ සදාකාලික සාමය තමයි ප්‍රධාන චේතනාව," යැයි ඉන්දියාවේ මහ බැංකුවේ නියෝජ්‍ය ප්‍රධානියා සහ කොටස් වෙළෙඳපොළ නියාමන ආයතනයේ සභාපති වැනි තනතුරු දැරූ මෙහෙතා පවසයි.

2016දී හයිද්‍රාබාද්හි 13 හැවිරිදි දැරියකගේ මරණයත් සමග මෙම චාරිත්‍රයට විරුද්ධත්වය නැවත ඇති විය. ඇය දින 68ක් නිරාහාරව සිට මිය ගිය නමුත් මෑත වසරවල සන්තාරා පිළිවෙත අනුගමනය කළ අනෙකුත් සියලු ම දෙනා වයෝවෘද්ධ පුද්ගලයන් වූහ.

මහාරාජ් ජී 2016දී සලෙඛ්නා ක්‍රියාවලිය ආරම්භ කළ අතර එය සන්තාරා පිළිවෙතට පෙර සිදු කරන්නකි. මුලදී ආහාර ද්‍රව්‍ය දහයකට සීමා කළ ඔහු දැන් ජීවත් වන්නේ ආහාර ද්‍රව්‍ය දෙකක්, ජලය සහ බෙහෙත් ගැනීමෙන් පමණි. කෙසේ වෙතත් ඔහු තවමත් ක්‍රියාකාරීව සිටියි.

"ඔහු අසනීප හෝ දුර්වල වෙන්නේ නැහැ. ඔහු නිතර ම ඉන්නේ සතුටින්. ඔහු වැඩිය කතා කරන්නේ නැහැ," ඔහුගේ ගෝලයා වන අශිෂ් ජයින් පවසයි.

මහාරාජ් ජී විශ්වාස කරන්නේ, ඔහුගේ අල්පේච්ඡ ජීවන රටාව ඔහුට අධ්‍යාත්මික ප්‍රගතියක් ලබා ගැනීමට උපකාරී වූ බව ය.

"මගේ අභ්‍යන්තර ආත්මයට සහ මනසට ඉතා සතුටක් දැනෙනවා. මම ඉන්නේ ප්‍රීතිමත් තත්වයක."