ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නින්ද: ෆින්ලන්තයේ ළදරු පෙට්ටි ඇඳක් ශ්‍රී ලාංකික පවුලකට සෞඛ්‍යවත් ජීවිතයක් දුන් හැටි
- Author, සුනෙත් පෙරේරා
- Role, බීබීසී ලෝක සේවය
සුකිතා සහ ඇගේ සැමියා වන ප්‍රසාද් ෆින්ලන්තයට සංක්‍රමණය වූ විට - පෘථිවිය මත වැසියන් ප්‍රීතිමයෙන් ම වෙසෙන ස්ථානය ලෙස සලකන රටක් - ඔවුන්ට පළමුවෙන් ම ලැබුණු දේවලින් එකක් වූයේ, කාඩ්බෝඩ් පෙට්ටියකි.
"ඒක නිකම් නිකම් පෙට්ටියක් නෙවෙයි. ඒක අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් පිරිච්ච මාතෘ පෙට්ටියක්," එය විවෘත කළ පළමු අවස්ථාව ආවර්ජනය කරමින් සුකිතා හේරත් පැවසීය.
වසර හයකට පෙර සිංගප්පූරුවේ සිට එහි පදිංචියට යන විට මෙම යුවළ ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටියහ.
උණුසුම් ඇඳුම්, ළදරුවන් සඳහා නිදන බෑගයක් සහ අනෙකුත් භාණ්ඩ සමග කුඩා මෙට්ටයක් ඇතුළුව රජයෙන් දෙන තිලිණය වසර 75ක් තිස්සේ ෆින්ලන්තයේ පැවත එන සම්ප්‍රදායකි. දෙමාපියන්ගේ සම්භවය හෝ සමාජ-ආර්ථික පසුබිම කුමක් වුවත්, සියලු ම ගැබිනි මව්වරුන්ට සඳහා සමාන ආරම්භයක් ලබා දෙයි.
“බෑග් එක ඇතුළේ මෙට්ටය තිබ්බා ම ඒක බබාගේ පළමු ඇඳ බවට පත් වෙනවා,” මේ වන විට වයස අවුරුදු හයක සහ තුනක දියණියන් දෙදෙනකුගේ පියෙකු වන ප්‍රසාද් ජයතුරත්නගේ පවසයි.
ඔවුන්ගේ වැඩිමල් දරුවා මෙන්, බාල දරුවා ද එම පෙට්ටිය තුළ ම සිය පළමු නින්ද ලැබීය.
ඒ විතරක් නොවේ.
තම හෙදියගේ උපදෙස් පරිදි, ළදරුවන් යන්තම් සති දෙකක් වයසට එළඹි පසු, එළිමහනේ හිම මිදෙන සීතල ඇති විට පවා, ඇය සහ ප්‍රසාද් ඔවුන් දරුවන් උණුසුම් ඇඳුම් සහ ඇඳ ඇතිරිලි වල ඔතාගෙන නිදි කරවීම සඳහා ප්‍රෑම් එකෙන් පිටතට ගෙන ගිය බව සුකිතා පැහැදිලි කරයි. එය ෆින්ලන්තයේ සහ අනෙකුත් ස්කැන්ඩිනේවියානු රටවල බහුලව දක්නට ලැබෙන දෛනික චර්යාවකි.
ප්‍රසාද් ඉංජිනේරුවෙකු වන අතර, සුකිතා ක්‍රීඩා භෞත චිකිත්සකවරියකි. ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලාංකිකයින් වන අතර ෆින්ලන්තයේ පදිංචි වීමට පෙර 2012 වසරේදී සිංගප්පූරුවට සංක්‍රමණය වී තිබිණි. සුකිතා හැදී වැඩුණේ ඝර්ම කලාපීය දූපතක වුව ද, සීතල කාලගුණය මධ්‍යයේ එළිමහනේ නිදා ගැනීමට ලැබුණු අවස්ථාව ඇගේ ළදරුවන් දෙදෙනාට ම ප්‍රයෝජනවත් විය.
"අපි ඇතුළේ ඉන්නකොට ඒගොල්ලො අඬනවා. ඒත්, අපි එළියට ගියා ම නැවුම් වාතය සහ කුරුල්ලන්ගේ කෑගැසීමත් එක්ක දරුවන්ට ඉක්මනින් නින්ද යනවා. ඒක ඇත්තට ම අම්මාටත්, දරුවාටත් දෙන්නාට ම පහසු යි. ඒ වගේ ම, ඒ වෙලාවට මම ඇවිදින එක දරුවා ලැබුණාට පස්සේ මගේ බර අඩු කර ගන්නත් උපකාරී වුණා," ඇය පවසයි.
මෙම යුවළ ළදරු ඇඳ පෙට්ටිය දකින්නේ, ආරක්ෂිත උපාංගයක් ලෙස පමණක් නොව, දරුවාගේ ජීවිතයේ මුල් දිනවල සිට ම, ෆින්ලන්තය නින්දට දක්වන වැදගත්කම පිළිබඳ මෘදු සිහිකැඳවීමක් ලෙස ය
දරුවන්ට කොපමණ නින්ද අවශ්‍ය ද?
සුකිතා සහ ප්‍රසාද් විශ්වාස කරන්නේ, රටේ සෞඛ්‍ය සේවා සහ ජාතික ආරක්ෂක පද්ධතිය තම දරුවන් නිදා ගත යුතු පැය ගණනට ප්‍රමුඛත්වය දීමට සහ එක ම වේලාවකට නින්දට යාමේ පුරුද්දක් ඇති කර ගැනීමට දිරිමත් කළ බව යි.
හොඳ නින්දක් යනු කුමක් ද?
දරුවන්ගේ මානසික, ශාරීරික, සමාජීය සහ භාවමය වර්ධනය සඳහා ෆින්ලන්තයේ මෙන් හොඳ නින්දක පුරුදු ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ අවධාරණය කරති.
කෙසේ වෙතත්, වර්තමානයේ තම දරුවන්ට අඩු නින්දක් ලැබීම ගැන සැලකිලිමත් වන දෙමාපියන් ගණන ඉහළ යමින් තිබේ. බොහෝ ළමා විශේෂඥයින්ට අනුව, පොදු වරදකරු වන්නේ, අධික ලෙස ජංගම දුරකතන භාවිතය හෝ තිරය ඉදිරිපස ගත කරන කාලය යි.
ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි නින්ද පිළිබඳ අධ්‍යාපන විශේෂඥ මහාචාර්ය ඩග්මාරා ඩිමිට්‍රියෝ උපදෙස් දෙන්නේ, නින්දේ ගුණාත්මකභාවය - ප්‍රමාණාත්මකභාවය පමණක් නොව - මගින් වෙනසක් සිදුවන බව ය. "නින්ද කියන්නේ සමබර ආහාර වේලක් වගේ. නින්දේ ගුණාත්මකභාවයත් වැදගත්," ඇය බීබීසී වෙත පැවසීය.
දුර්වල නින්ද, දරුවන්ගේ අධ්‍යාපනික සහ මානසික ක්‍රියාකාරීත්වයට බලපාන බව ඇය පවසයි.
ක්‍රමානුකූල නින්දක් නැති ඇයගේ පාසලේ දරුවන් ඉගෙනීමේ කටයුතුවලදී ගැටලුවලට මුහුණ පාන බව නිරීක්ෂණය කර ඇති මලාවි දේශයේ ළදරු පාසලක ප්‍රධාන අචාර්යවරිය වන මලීකා මැකෑඩම් ඊට එකඟ වන්නී ය.
"ප්‍රමාණවත් නින්දක් නොලබන දරුවන්ගේ අවධානය අඩු බවත්, කෝපයට පත් වන බවත්, පාසල් කාලය පුරා ම උදාසීන ස්වභාවයකින් පෙළෙන බවත් මම මුලින් ම දැක්කා," ඇය පවසයි.
අනෙක් අතට, මහාචාර්ය ඩිමිට්‍රියෝ, ප්‍රශ්න ඇති කරන දරුවන් "නරක" දරුවන් ලෙස හංවඩු ගැසීම අභියෝගයට ලක් කරයි.
"ඔවුන් නරක විදිහට හැසිරෙනවා නෙවෙයි; ඔවුන් නිසි නින්දක් ලබපු නැති අය," ඇය පැහැදිලි කරන්නී ය.
"සමහර වෙලාවට දරුවන්ට අතිරේක පාඩම්, උපකාරක පන්ති ගුරුවරුන්, විතරක් නෙවෙයි, ගොඩක් ඇප් ලබා දෙනවා. ඒත් මම හැම වෙලාවෙ ම කියන්නේ, 'ඔබේ උපකාරක පන්ති ගුරුවරයා තමයි නින්ද කියන්නේ. හොඳ නින්දක් ලබා ගන්න. ඊට පස්සෙ ඔබේ ඉගෙනීම සහ ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත මට්ටමකට පත් වෙනු ඇති," ඇය වැඩිදුරටත් පැවසීය.
අඩු නින්ද දරුවන්ට බලපාන්නේ කොහොම ද?
ඇතැම් අධ්‍යයනයන්ට අනුව නින්ද අඩුවීම අධිරුධිර පීඩනය, ස්ථුලභාවය සහ හදවත් රෝග සමග සම්බන්ධ වේ.
එක්සත් රාජධානියේ බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණයකින් පෙනී යන්නේ, ළදරු වියේ සිට ම නින්ද නොයාම නිරන්තරයෙන් අත්විඳින දරුවන් මුල් වැඩිහිටි වියේදී මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමකට මුහුණ දිය හැකි බව ය. නින්ද නොමැතිකම මොළයේ වර්ධනයට බලපාන බව විද්‍යාඥයන් බොහෝ කලක සිට හඳුනාගෙන තිබේ.
ඇමෙරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සී වැං විසින් මෙහෙයවන ලද පර්යේෂණයකින් හෙළි වූයේ, ප්‍රමාණවත් නින්දක් නොමැතිකමින් දරුවන්ගේ මොළයේ සම්බන්ධතා වෙනසකට ලක් වන අතර දිගු කාලීන හෝ ස්ථිර සංජානන දුර්වලතා ඇති කළ හැකි බව ය. පර්යේෂණ කණ්ඩායම නිගමනය කළේ, ඔවුන් අධ්‍යයනයට යොදාගත් දරුවන් අතරින් ප්‍රමාණවත් නින්දක් නොමැති දරුවන්ට, "ප්‍රමාණවත් නින්දක් ලැබූ අයට වඩා මානසික සෞඛ්‍ය සහ චර්යාත්මක අභියෝග ඇති," බව ය.
ප්‍රවීණයන් විශ්වාස කරන්නේ, නින්ද නොමැතිකම දරුවන්ගේ හැඟීම්වලට පමණක් නොව, ඔවුන්ගේ ආහාර තෝරාගැනීම්වලට ද බලපාන බව ය.
නින්ද අඩුවීමේ අවදානම කෙබඳු ද?
යොවුන් දරුවන්ට පවා නින්දට ඇති පොදු බාධකය වන්නේ, තාක්ෂණය බව මහාචාර්ය ඩිමිට්‍රියෝගේ අදහස යි. සිය දරුවන්ගේ තාක්ෂණ මෙවලම් භාවිතය, (විශේෂයෙන් නින්දට පෙර) දෙස අවධානයෙන් සිටින ලෙස ඇය දෙමාපියන් දිරිමත් කරයි.
කෙසේ වෙතත්, මෙය ඉහළ තාක්‍ෂණයට ප්‍රවේශය නොමැති පවුල් සඳහා හෝ තම දරුවන් සඳහා ස්මාර්ට්ෆෝන් හෝ ටැබ්ලට් වැනි උපාංග ලබා ගැනීමට නොහැකි පවුල් සඳහා මෙය අදාළ නොවන බව ඇය පැහැදිලි කරයි.
උදාහරණයක් වශයෙන්, ඇය පෙන්වා දෙන්නේ, "අන්තර්ක්‍රියාකාරී පරිගණක ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය නොමැති ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුවන්ට මෙය ගැටලුවක් නොවන," බව ය.
ප්‍රසාද් සහ සුකිතා ඔවුන්ගේ දියණියන්ට පැය 10කට අධික නින්දක් තහවුරු කරන අතර, ඔවුන් ඩිජිටල් තිර මත ගත කරන කාලය ද සීමා කරති.
"අපි අපේ දරුවන්ට කොණකට වෙලා ජංගම දුරකතනයක් දිහා බලාගෙන ඉන්න දෙන්නේ නෑ. අපේ වැඩිමල් දුවට අවුරුදු දෙකක් ගත වෙනකම් එයා පොඩ්ඩක්වත් තිරයක් දිහා බලලා නෑ," ප්‍රසාද් පවසයි.
ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ජීවත් වූ ඔවුහු, එම රටවල දරුවන් - අවම වශයෙන් ඔවුන් දන්නා ඇතැම් පවුල් තුළ - ෆින්ලන්තයට වඩා ඩිජිටල් උපාංග සමග වැඩි කාලයක් ගත කරන බව නිරීක්ෂණය කළහ.
"මම ශ්‍රී ලංකාවේ ඉන්න කාලේ අපිටත් ටීවී එක බලන ගමන් නින්ද යනවා. ඊට පස්සෙ අපිව ඇඳට අරගෙන යනවා, ඒකෙන් අපේ නින්ද කැඩෙන්න පුළුවන්," සුකිතා පැවසීය.
දැන්, ඔවුන්ගේ නිදාගැනීමේ දෛනික චර්යාව නිදා ගැනීමට මිනිත්තු 30 සිට පැයක කාලයකට පෙර ආරම්භ වේ. නින්දට යන විට කතන්දර කීම හෝ කියවීම වැනි ඔවුන්ගේ දියණියන් දෙදෙනාට විවේක ගැනීමට සහය වන ක්‍රියාකාරකම් එයට ඇතුළත් වේ.
"ඊට කලින්, ඔවුන් ඇඟ සෝදාගෙන, දත් මැදලා, පහුවදා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී අඳින ඔවුන්ගේ ඇඳුම් තෝරා ගන්නවා. ඒ නිසා, ඇඳුම් තෝරා ගන්න උදේ අමතර කාලයක් ගත කරන්න සිද්ධ වෙන්නෙ නෑ. ඔවුන් නින්දට ගිය පසු, ඔවුන්ට කෑම ඉල්ලන්න බැහැ," සුකිතා පැහැදිලි කරයි.
අවුරුදු හතර, හත සහ නවය යන වයස්හි පසු වන දරුවන් තිදෙනෙකුගේ මවක වන මලීකා පවසන්නේ, තම දරුවන් සාමාන්‍යයෙන් රාත්‍රී 7.30ට නිදාගන්නා වේලාව පසුවී නිදාගත් විට, පසුදා උදෑසන ඔවුන් අවදි කිරීම අපහසු බව ය.
"ඒගොල්ලෝ ඒ වෙලාවට ගොඩක් සංවේදී යි. ඕන පොඩි දේකින් උදාසීන වෙනවා," ඇය පැවසීය.
කෙසේ වෙතත්, රැකියාවේ නියුතු දෙමාපියන්ට දෛනික රටාවක් පවත්වාගෙන යාම දුෂ්කර ය. "සමහර වෙලාවට දෛනික රටාවක් පවත්වාගෙන යන එක ගොඩක් අමාරු යි," ඇය පෙන්වා දෙයි.
දුරකතන දරුවන්ගේ නින්දට බලපාන්නේ කෙසේ ද?
ලන්ඩන්හි ඇලීන් විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ගැවින් ඉංග්ලිෂ් පවසන්නේ, සිසුන්ගේ හැසිරීමේ සහ අධ්‍යාපනික ගැටලු ඇති විට ඔවුන් පරීක්ෂා කරන පළමු කරුණ නින්ද බව ය.
"තාක්ෂණික මෙවලම් සම්බන්ධයෙන් වැරදි තීරණවල සිටින සහ සමාජ මාධ්‍ය හරහා අහිතකර බලපෑම්වලට ලක්ව සිටින තරුණයින් සමග මම වැඩ කරද්දී මට කියන්න පුළුවන්, ඔවුන් බොහෝ විට නිදා ගන්න ඕන වෙලාවේ තාක්ෂණික මෙවලම් භාවිත කරන බව," ඔහු බීබීසී වෙත පවසයි.
"ඒ වගේ ම පැහැදිලිව ම, දුරකතන භාවිතය සහ නින්ද යන දෙක සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දී ඇති තරුණයින් බොහෝ විට එම ගැටලු දෙක ම කළමනාකරණය කර ගැනීමේදී දුර්වල යි.
"තරණයින්ගේ නිදන කාමර ඇතුළේ ජංගම දුරකතන තියෙනවා නම්, ඔවුන් අසාර්ථක වීම ආරම්භ වෙලා," ඔහු අනතුරු අඟවයි.
"ජංගම දුරකතන එදිනෙදා හැසිරීම් බොහොමයක ක්‍රියාකාරිත්වය ප්‍රතිනිර්මාණය කරනවා. මගේ උපදෙස නම්, අලාර්ම් ඔරලෝසුවකට පවුම් කිහිපයක් [මුදල් වශයෙන්] වැය කරලා තාක්ෂණික මෙවලම් ඔවුන්ගේ නිදන කාමරවලින් පිටතට අරගෙන යන්න."
සංස්කෘතිය නින්දට බලපාන්නේ කෙසේ ද ?
නින්ද ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවක් වන අතර, නින්ද පිළිබඳ දෛනික චර්යාවන් කෙරෙහි සංස්කෘතික කරුණු ද බලපෑ හැකි ය.
නිදසුනක් වශයෙන්, රාමසාන් මාසය තුළ, මුස්ලිම්වරුන් දිවා කාලයේ නිරාහාරව ගත කරද්දී, ඔවුන්ගේ නින්දෙහි කාලසටහන් වෙනස් විය හැකි ය.
මහාචාර්ය ඩිමිට්‍රියෝ පවසන්නේ, මෙවැනි සිරිත් විරිත් හේතුවෙන් නින්දට බාධා ඇති විය හැකි නමුත් සෞදි අරාබිය වැනි රටවල දරුවන්ට මෙම කාලවලදී විභාග පැවැත්වීම අවශ්‍ය නොවන බව ය. - එය ඇය "බරපතළ ලෙස නිර්දේශ කරයි."
මහාචාර්ය වැං තවදුරටත් පවසන්නේ, සංස්කෘතික හෝ ආගමික සාධක නින්දේ පුරුදුවලට බලපෑම් කළ හැකි නමුත් නින්දේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාව විශ්වීය බව ය.
"නැගෙනහිර ආසියාව වගේ සමහර සංස්කෘතිවල වෙහෙසී ඉගෙන ගැනීම ප්‍රවර්ධනය කරයි. ගෙදර වැඩ සහ පාඩම් කිරීමට ගොඩක් වැඩ තියෙන නිසා දරුවන් ගොඩක් රෑ වෙනකම් ඇහැරිලා ඉන්නවා. අපේ පර්යේෂණ පත්‍රිකාවට අනුව එමගින් නින්ද විශාල වශයෙන් අඩු වෙන අතර නරක ප්‍රතිවිපාක ඇති කරනවා. ප්‍රතිවිපාක දිගු කාලයක් පවතින්න පුළුවන්, එහෙම නැත්නම් දිගට ම පවතින්නත් පුළුවන්," ඔහු පවසයි.
දීර්ඝ පවුල් චාරිකා ද දරුවන්ගේ දින චර්යාවට බාධාවක් විය හැකි බව මලීකා සිතයි. "ඒක ඇත්ත වශයෙන් ම ඔවුන්ගේ නිදි චක්‍රයට බාධා කරනවා, ඒත් ඒක වළක්වන්න අමාරු යි," ඇය තවදුරටත් පවසයි.
ප්‍රසාද් සහ සුකිතා නිරන්තරයෙන් තම පවුලේ හෙදියගෙන් උපදෙස් ලබා ගනී - විශේෂයෙන් තම තරුණ දියණියන්ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ නිදාගැනීමේ චර්යාවන් සම්බන්ධයෙන් - ඔවුන් තවමත් ඉගෙන ගන්නා බව ඔවුහු පිළිගනිති.
"අපි සර්ව සම්පූර්ණ දෙමාපියෝ නෙවෙයි. ඒත් අපි ඉගෙන ගත්ත ලොකු ම පාඩම තමයි, දෛනික රටාවක් අනුගමනය කරන එක. ඒක හැමෝට ම පහසුවක්," සුකිතා පවසයි.
එමෙන් ම, මහාචාර්ය ඩිමිට්‍රියෝට දෙමාපියන්ට මෙන් ම දරුවන්ට ද දිය යුතු පණිවුඩයක් තිබේ.
"මම නිතර ම කියන්නේ, ඔබ කුමන කාර්යයක නිරත වුණත් කමක් නෑ, හොඳ නින්දක් ලබා ගන්න. නින්දේ වැදගත්කම තේරුම් ගන්න," ඇය පවසයි.
"ආහාර ගැනීමත්, නින්දක් ලබා ගැනීමත් අවශ්‍ය යි. ජීවිතයේ වැදගත් ම කරුණු දෙක තමයි, ඒ"