2023 ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට යන්න වීසා ප්‍රමාද වූ ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Ranga Lakmal Hapuarachchi|Facebook
අගෝස්තු 19 වැනිදා සිට 27 වැනිදා දක්වා හංගේරියාවේ , බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත 2023 ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට සහභාගී වීම සදහා 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (අගෝස්තු 23 වැනිදා) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.
කණ්ඩායමට, ක්‍රීඩකයින් 06 දෙනෙක් , ඒක් ක්‍රීඩිකාවක් සහ නිලධාරීන් තිදෙනෙකු ඇතුළත් වෙති.
කුරුණෑගල , කොළඹ , ත්‍රිකුණාමලය සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරති.
කාලිංග කුමාරගේ , අරුණ දර්ශන , පබසර නිකූ , රජිත රාජකරුණා , පසිදු කොඩිකාර , දිනුක දේශාන් සහ දිල්හානී ලේකම්ගේ දිවයිනෙන් පිටත්ව ගිය පිරිසට අයත් වූහ.

ලෝක මලල ක්‍රීඩා ශුරතාවලිය
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී මීටර් 400, මීටර් 400 x 4 සහ හෙල්ල විසි කිරීමේ තරග ඉසව් නියෝජනය කිරීමට නියමිතව ඇත.
මෙසේ පිටත්ව ගිය මීටර් 400 x 4 සහාය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ ලොව ජාතික කණ්ඩායමක් වාර්තා කළ හොඳම දක්ෂතාව ( මිනිත්තු 3:01.56) දක්වා තිබීම විශේෂත්වයකි.
ඇමෙරිකාවේ අන්තර් විශ්වවිද්‍යාල තරගාවලිවලදී මීට වැඩි දක්ෂතා වාර්තා වී ඇතත් ජාතික කණ්ඩායමක් මෙවැනි දක්ෂතාවක් දක්වා නොමැත.
ශ්‍රී ලංකා කණ්ඩායම මලල ක්‍රීඩා ලෝක ශූරතා තරගාවලියට සහභාගීවන්නේ ලොව හොඳම 12 වැනි කණ්ඩායම ලෙසයි.

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද ?
මෙවර ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර් 400 තරග ඉසව්ව සඳහා එස්. අරුණ දර්ශන සහභාගී වන අතර ඔහුගේ පළමු වටයේ තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර මීටර් 400 x 4 සහය දිවීමේ තරගය සඳහා ක්‍රීඩකයින් සයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබේ.
ඊට එස්. අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකු, පසිඳු ලක්ෂාන් කොඩිකාර, ආර්.එම්. රාජකරුණා, දිනුක දේශාන් යන ක්‍රීඩකයින් ඇතුළත් වේ.
මීටර් 400 x 4 සහය දිවීමේ තරගයේ පළමු වටයේ තරගය අගෝස්තු 26 වැනිදා පැවත්වෙන අතර අවසන් තරගය පැවැත්වෙන්නේ අගෝස්තු 27 වැනිදාය.
මේ අතර නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට තරග වදින අතර ඇය සහභාගිවන පළමු වටයේ තරගය අගෝස්තු 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
“හොඳ සුදානමකින් පසුවනවා”
මීටර් 400 x 4 තරග ඉසව්ව වෙනුවෙන් සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වන කාලිංග කුමාර බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් ඇතුළු ක්‍රීඩකයින් හොඳ තරගයක් ලබාදීමේ සුදානමින් පසුවන බවය.
"දැනට අපි හොඳින් ප්‍රැක්ටිස් කරගෙන යනවා. හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. "
"අවම වශයෙන් සති දෙකකට කලින්වත් තරගාවලිය පැවැත්වෙන රටට යන්න ලැබුණානම් ඒ රටේ පවතින දේශගුණික තත්ත්වයට හුරුවන්න අපට අවස්ථාව ලැබෙනවා. "
"හංගේරියාවේදී තරගය පැවැත්වෙන්නේ එරට වේලාවෙන් රාත්‍රී 7.20 ට පමණය. ඒ වෙලාවේදී එහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15-17ත් අතර ප්‍රමාණයක් ගන්නවා කියලයි කියන්නේ." ඉතිං අපිට ඒකට හුරුවෙන්න, ඒ වෙලාවටම දුවලා අඩු පාඩු හදාගන්න තිබුණා වේලාසන ගියානම්."
"නමුත් අපේ කණ්ඩායමට වීසා ලැබුනේ ගිය සඳුදා ( අගෝස්තු 14 වෙනිදා). මේ තරගාවලියට සහභාගී වන ඉන්දියාවේ රීලේ ටීම් එක දැන් සති දෙකකට කලින් ඒ රටට ගිහිල්ලා එයාලා ප්‍රැක්ටිස් පටන් අරන් තියෙන්නේ. නමුත් අපි හොඳ ෆයිට් එකක් දෙන්න උපරිමයෙන් කටයුතු කරනවා." ඔහු පැවසුවේ ය.
වීසා ප්‍රමාදය ගැන මලල ක්‍රීඩා සංගමය හේතු කියයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන බීබීසි සිංහල වෙත පැවසුවේ සංවිධායක මණ්ඩලය විසින්, ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන අවසන් ක්‍රීඩක ලැයිස්තුව නම් කිරිම සහ අවශ්‍ය ලිපි නිකුත් කළේ ඉකුත් අගෝස්තු 5 වැනිදා බවය.
ඔහු සඳහන් කළේ ලෝක මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගනු ලබන්නේ මෙම වසරේ මෙන්ම පසුගිය වසරේදී දක්වා ඇති දක්ෂතා අනුව කරන ශ්‍රේණිගත කිරීම්වලට අනුව බවයි.
එලෙස තෝරා ගනු ලබන ඇතැම් ක්‍රීඩකයින් අවසන් මොහොතේදී තරගාවලියෙන් ඉවත් වන බැවින් තරග සංවිධායකයින් විසින් සහභාගිවන ක්‍රීඩකයින් නම් කරන්නේ අවසන් මොහොතේදී බව ඔහු සඳහන් කළේය.
"උදාහරණයක් විදිහට අපේ යුපුන් අබේකෝන් මෙවර තරගාවලියට එක්වෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා අපි ඔහුගේ නම ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා ලයිස්තුවේ යටින් ඉන්න කෙනාට අවස්ථාව ලැබෙනවා තරගාවලියට යන්න."
"ඒ ලැයිස්තුව අවසාන කළාට පස්සේ තමයි ලෝක මලල ක්‍රීඩා සංගමයෙන් අදාළ රටවලට ලිපි නිකුත් කිරීම කරන්නේ තරගාවලියට සහභාගී වෙන්න කියලා."
"මේ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුට මෙවර ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට යන්න අවස්ථාව උදාවුණා. ඒ අය කඩඉම් දක්ෂතාවයන්ගෙන් බොහෝම ආසන්නයෙන් හිටපු අය. නමුත් එක් ක්‍රීඩිකාවක් ආසියානු තරගාවලිය වෙනුවෙන් සුදානම් වෙන නිසා මේ තරගාවලියට යන්නේ නැහැ කියලා දැනුම් දුන්නා."
"මේ නිසා අගෝස්තු 5 වැනිදා තමයි අපිට තරගාවලියට එන්න කියලා අවශ්‍ය ලිපිය ලැබුණේ. ඒක නැතුව අපිට වීසා ඉල්ලුම් කරන්න බැහැ."
"නමුත් රීලේ ටීම් එකට අපි වේලාසන වීසා ඉල්ලුම් කරලා තිබුණේ. මොකද එයාලා වේලාසන සිලෙක්ට් වෙලා තිබුණ නිසා.නමුත් ඒ අයට වීසා ඉන්ටර්වීව් එන්න කියලා තිබුණේ අගෝස්තු 07 වැනිදා සහ 08 වැනිදා."
"නමුත් අපිට පසුගිය සිකුරාදා වීසා ලැබුනේ නැහැ. ජර්මන් එම්බසි එකෙන් අපේ ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ තවත් තොරතුරු ඉල්ලුවා. සාමාන්‍යයෙන් ජර්මන් වීසා දෙන්න සති දෙකක් ගත වනවා. ඒ නිසා අපිට සිදුවුනා ෆ්ල්යිට් ටිකට්වල දින වෙනස් කර ගන්න."
"පස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයත් ලැබුන නිසා අපිට සඳුදා දවල් වෙද්දී වීසා ලැබුණේ. ඒ වෙද්දී අපිට ෆ්ලයිට් ටිකට් ඩේට් වෙනස් කරන්න සිද්ධ වුණා නිසයි 17 වැනිදා යන්න වුණේ. "
"නමුත් මීට කලින් ඇතැම් තරගාවලිවලට සහභාගී වෙන්න ගියපු අපේ ඇතැම් ක්‍රීඩකයින් ඒ රටවලදී පැන යෑම කියන කාරණාව නිසා විශේෂයෙන් යුරෝපා රටවලදී වීසා ඉල්ලුම් කරන අවස්ථාවලදී ඇතැම් ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා." ඔහු පැවසුවේය.
මේ අතර ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබිය යුතු අවසරය හිමිව ඇත්තේ ( අගෝස්තු මස 16 වෙනිදා) පෙරවරුවේය.
මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසුවේ වීසා කල් තියා ලැබුනත් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට කල් තියා තරග පැවැත්වෙන රටට යෑමට මේ හේතුවෙන් අවසරය හිමි නොවන බවය.












