ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"LTTE ගෙන ආ යුතු තත්ත්වයක්" ප්‍රකාශය ගැන අත්අඩංගුවට ගත් විජයකලා මහේෂ්වරන්ට ඇප
පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවයට පැවසුවේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව උත්සවයකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බව ය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ සඳහා සඳුදා (ඔක් 08) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඇය අත්අඩංගුවට ගැනිණි.
විජයකලාට එරෙහිව නඩු මගට
එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පවරන්නැයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණේ, පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.
ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ය.
පසුව, විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිහළ රාවය සංවිධානයේ සංවිධායක මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී එල්ටීටීඊ සංවිධානය යළි ක්‍රියාත්මක විය යුතු බවට ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප්‍රකාශයක් තුළින් ඇය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට අදාළ පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළේ ය.
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනයෙන් අනතුරුව මන්ත්‍රීවරිය පසුගිය ජූලි මාසයේදී ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමති පදවියෙන් ඉල්ලා අස් විය.
මේ අතර සිය ප්‍රකාශය සම්බන්ධ පරීක්ෂණවලට පූර්ණ සහය පළකරන බවත් එම පරීක්ෂණ අවසන් වන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවත් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත පවසා තිබිණි.
විජයකලාගේ අර්ථ දැක්වීම
ඇය තමන් කළ ප්‍රකාශය පිළිබඳව පසුව අර්ථ දැක්වීමක් කර තිබිණි.
ඇය එහිදී සඳහන් කළේ, තමන් යාපනයේදී කළ දේශනය "ඇතැම් මාධ්‍ය පරිවර්තනයේදී විකෘති කර" තිබුණ අතර "පරිවර්තනය කරද්දී සුළු අතපසු වීමකින් පවා අර්ථය විශාල වශයෙන් වෙනස් වෙනවා. මේ කතාවත් එලෙස තමයි වෙලා තිබුණේ," යනුවෙනි.
විජයකලා මහේෂ්වරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ කතාව
හිටපු ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් 2018-07-02 දින යාපනය වීරසිංහම් ශාලාවේදී දෙමළ භාෂාවෙන් කළ සම්පූර්ණ කතාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ:
"අද දිනයේ ගරු ස්‍වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් යාපනය ජනතාව වෙනුවෙන් මාගේ ගෞරවය පිරිනමනවා. ඇත්තටම අද දිනයේ අපේ තත්වය බැලු විට කිසිදු ආධාරයක් නොලැබෙන තත්ත්වයට පත්ව සිටින බව මෙහි පැමිණ සිටින ගරු අමාත්‍යවරුන් දෙදෙනාට මා සිත්තැවුලෙන් යුතුව ප්‍රකාශ කරනවා.
ඇත්තටම ගැණූ කෙනෙකුගේ අමාරුව තවත් ගැහැණියකටම පමණයි තේරුම් ගැනීමට හැකියාව තිබෙන්නේ. පිරිමින්ට තේරෙන්නේ නැහැ. වයස අවුරුදු හයක දැරියක් දූෂණය කොට මරා දමලා තිබෙනවා. අපේ දැරියන් අද කිසිදු සරණක් නොමැතිව දිවි නසා ගැනීමේ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒකට අපි කුමක් කළ යුතුද?, මේකටද අපි ජනාධිපති පත් කරලා ගෙනාවේ. අපි උරදිලා තමයි අපේ ජනාධිපති පත් කරගත්තේ. ජනාධිපතිතුමා අද මොකක්ද කරන්නේ. එයාගේ පක්ෂය විතරක් දියුණු කරනවා.අපේ මිනිස්සු ආරක්ෂා කරලා නැහැ.
2009 මැයි 18 දිනට කලින් අපේ ජනතාව ජිවත්වුණේ කොහොමද කියලා ඔබලා දන්නවා. මේ අවස්ථාවේ තත්ත්වය බලන විට නැවත එල්ටීටීඊ ය ගෙන ආ යුතු තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපේ ළමයි, අපේ ගැහැණු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්ටීටීඊ පාලනයක් පැමිණිය යුතුයි.
රජය පහුගිය වසර තුනක පමණ කාලය තුළ උතුරේ ජනතාවට සිදුකොට ඇත්තේ යුද හමුදාව සතුව තිබු ඉඩම් නිදහස් කිරීම පමණයි. පහුගිය අවුරුදු 30 ක පමණ කාලයක් උතුරේ හමුදාව සිටි ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. රජය ඊට අමතරව කිසිවක් කරලා නෑ.
රජය සංවර්ධනය කරලා තිබෙනවා කියලා කියනවා. ඒක බොරුවක්. මමත් රජයේ ඇමතිවරියක් ලෙස කටයුතු කරනවා. අපි නායකත්වය වෙනුවෙන් ගරු කළ යුතුයි. එහෙත් අපිට කිසිවක් සිදුකොට නොමැතිවීම හේතුවෙන් අපේ සීමාවන් ඉක්මවා යා යුතු තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.
අපේ තරුණයන් රැකියා නැතුව අද පාරවල් ගානේ රස්තියාදුවෙන තත්ත්වයට පත්වෙලා ඉන්නවා. රැකියා නැතිකම හේතුවෙන් ඒ පිරිස මත්ද්‍රව්‍යට යොමුවෙලා. 2009 මැයි 18 න් පසුව දේශපාලන නායකයෝ තමන්ගේ වාහනවලින් මත්ද්‍රව්‍ය යාපනයට එවලා තිබෙනවා. ඒක නිසා අද යාපනයේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා.
යුද්ධය ඉවර කළාට ආණ්ඩුවට උතුරේ වැන්දඹු පවුල්වලට මොකුත් කරලා නැහැ. උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරපු උතුරේ තරුණ තරුණියන්ට මොකුත් කරලා නැහැ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්ත අනුව උතුරු පළාතේ වැන්දඹු පවුල් 30000 ක් ඉන්නවා.ඒ අයට මොනවාද දිලා තිබෙන්නේ. ඒයාලට මොන ආදායමක්ද තිබෙන්නේ.අපේ මිනිස්සු අද හිඟා කන තත්ත්වයට පත්වෙලා. යුද්ධයෙන් පුනරුත්තාපනය වුණ එල්ටීටීඊ සාමාජිකයින් දැන් 12000 ක් ඉන්නවා. ජනාධිපතිතුමා ඇතුළු රජය ඒ අයට මොනවාද කරලා තිබෙන්නේ. ඒ අයට උදව් කිරීම අද පැත්තකට දාලා තිබෙනවා.ඒ අයට උදව් කරන්න කියලා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අද ඉවත් කරලා. එයාලා මිනිස්සු නෙවෙයිද? එයාලා ආයුධ අරගෙන තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු හින්දා ඒ අය මිනිස්සු නෙවෙයි කියලා කියනවාද?
ජනාධිපතිතුමා ජනාධිපති ලෙස පත්කරන්න, අපි වැඩ කරපු අවස්ථාවේ ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරපු අයට අද ඇමතිකම් දීලා. ඒක සාධාරණද? ඒවැනි දේ තමයි අද උතුරේ ජනතාවට කරලා තිබෙන්නේ. ඒ ගැන කියන්නත් ලැජ්ජයි. මාගේ කාර්යාලයට දවසකට රැකියා ඉල්ලගෙන තරුණ තරුණියන් දහස් ගණනක් එනවා. ඒ අය කියනවා අපි දහස් වතාවක් අයදුම්පත් දීලා තිබෙනවා, අපිට කිසිම රැකියාවක් ලැබිලා නැහැ කියලා. නමුත් දකුණු පළාත්වල අයට උතුරු පළාතේ රැකියා පුරප්පාඩුවලට තනතුරු දීලා තිබෙනවා. ඇමතිකම් දරන අය අපේ පළාත්වල පුරප්පාඩු වෙනුවෙන් දකුණේ තරුණ තරුණියන්ට පත්වීම් දීලා තිබෙනවා. අපේ දරුවෝ පොළේ එළවළු විකුණනවා. වැඩපොළවල්වල සිමෙන්ති අනනවා. ඒ නිසා එයාලා උපවාස කරන තත්ත්වයට පත්වෙලා ඉන්නවා.
හිටපු ආණ්ඩුව කාලේ දකුණේ ඉදලා උතුරේ තිබෙන පුරප්පාඩු වෙනුවෙන් පත්වීම් දුන්නා. දැන් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුත් ඒකම කරනවා. ඒක අපිට මහත් වේදනාවක්. අපේ දරුවන්ට අපේ පළාත්වල රැකියා පුරප්පාඩුවල අවස්ථාවන් දිය යුතුයි. උතුරු නැගෙනහිර වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත්කළ යුතුයි.වෙන පළාත්වල යුද්ධයක් තිබ්බේ නැහැ. ඒක නිසා උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත්කිරීම අවශ්‍යයයි. ඒත් දැන් සිද්ධ වෙන්නේ උතුරු නැගෙනහිර හැර අනෙක් පළාත් වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කරන එකයි.
මම විපක්ෂයේ ඉන්නකොට තෙන්නමරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්කොට ඉදි කර ගැනීම වෙනුවෙන් එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා අපේ ඉල්ලීමට කන් දුන්නේ නැහැ. ඒ කාලයේ ඒ අය ආයුධ ගෙන කටයුතු කළ යාපනයේ දේශපාලන කරපු අයට උදව් කළා. දැන් අපේ පාලන කාලයේත් මම 2016 පෙබරවාරි 23 වෙනිදා අපේ තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන් කොට ලබාදෙන්න කියලා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. තවම ඒක ක්‍රියාවට නඟා ගන්න බැරිවෙලා තිබෙනවා.දැන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමා මෙතෙනට ඇවිල්ලා ඉන්න හින්දා මම කාරුණිකව ඉල්ලා සිටිනවා දැන්වත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන්න කියලා. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හිමිවුණා නම් අපිට අද ඒ හරහා ආර්ථික ලාබ හා රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකියාවක් තිබ්බා.නමුත් දැන් සියල්ල අහිමිවෙලා තිබෙනවා.
මේ වාගේ ලියුම් දහස් ගණනක් මම අමාත්‍යාංශ වෙත යොමු කරලා තිබෙනවා. ඇතැම් වෙලාවට මම අමාත්‍යාංශ වෙත පයින් ගිහිල්ලා මේ වගේ යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා.ඒත් ඒවා අද වෙනකම් සම්පූර්ණ වෙලා නෑ. වර්තමානයේදී දේශපාලනය සම්බන්ධයෙන් සාකච්ජා කරනවා. පළාත් සභා මැතිවරණය ගැන කතා කරනවා. මෙතන ඉන්නවා අපේ උතුරු පළාතේ වර්තමාන ප්‍රධාන අමාත්‍යතුමා.ඒත් එක්කම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුර වෙනුවෙන් එන්න බලපොරොත්තුවක් තිබෙන තවත් කෙනෙකුත් ඉන්නවා. මේවා මම කියන ඒවා නොවෙයි.මාධ්‍ය හරහා දැනගන්න ලැබෙන දේවල්. අපි පළාත් සභාව පිහිටුවාගන්න දැඩි උත්සහයක් ගත්තා.ඒත් දැන් උතුරු පළාත් සභාවට ලැබෙන මුදල් ජනතාව වෙනුවෙන් ප්‍රයෝජනයට නොගෙන නැවත යන තත්ත්වයට පත්වෙලා තිබෙනවා.ඒ මුදල්වලින් ජනතාවට සිදුවෙන වැඩක් නැහැ.ඒක කණගාටුදායකයි.
පැවති ආණ්ඩුව යටතේ පළාත් සභාව වෙනුවෙන් ඉඩම් හා මූල්‍ය බලතල ලබාදුන්නේ නැහැ. දැන් යහපාලන ආණ්ඩුව යටතෙත් පළාත් සභාව වෙනුවෙන් ඉඩම් හා මූල්‍ය බලතල ලැබිලා නැහැ. යහපාලන ආණ්ඩුවත් පැවති ආණ්ඩුව කළ දෙයමයි කරන්නේ. අපි පළාත් සභා වෙනුවෙන් බලතල ලබාගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පළාත් සභාව පැරණි ක්‍රමයට පැවැත්විය යුතුයි. නව ක්‍රමය යටතේ සුළුතර පිරිස් වෙනුවෙන් කිසිම අවස්ථාවක් හිමිවන්නේ නෑ.බහුතරය වෙනුවෙන් තමයි සියළු අවස්ථා හිමවන්නේ.
දැන් තිලක් මාරපන අමාත්‍යතුමා මේ අවස්ථාවට සම්බන්ධවෙලා ඉන්නවා. 2001 හා 2004 කාලය තුළදි තිලක් මාරපන අමාත්‍යතුමා තමයි ආරක්ෂක ඇමති.ඒ වේලාවේ සන්නද්ධ කණ්ඩායම් හා යුධ හමුදාව අතර ගැටුම් තිබුණා.ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ගෙන ගියේ කොහොමද කියලා ඔබ දන්නවා. ඉදිරියේදී ජනාධිපතිවරණය තිබෙනවා. අපේ නායකයා පොදු අපේක්ෂකයා පහුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළේ රට ගැන හිතලා. ඒත් ඒ තුළින් යම් යම් අර්බුද තත්ත්වයක් හටගෙන තිබෙනවා. අපි දැන් එක්සත් ජාතික පක්ෂය තනි මතයකට පැමිණිය යුතුයි. අපේ නායකයා හොද ඉගෙනගත් නායකයෙක්. දැන් අපි ජාතික ආණ්ඩුව ගෙන ආ නිසා නිසි පරිදි වැඩ කර ගැනීමට බැරි තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 23 ක් පමණයි ඉන්නේ. එක්සත් ජාතික පක්සයට 98 ක් ඉන්නවා.
අපි ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂ සමයේ තමයි ප්‍රභාකරන් එක්ක සාකච්ජා කළේ. ඉදිරියේදීත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මත සාකච්ජා කොට කටයුතු කිරීමට හැකියාක් තිබෙනවා. තනි ආණ්ඩුවක් යටතේ තීන්දු තීරණ ගෙන පාලනයක් ගෙන යා හැකියි.ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි."