නියඟය: ජනතාවට සහන සැලසීමට 'හමුදාව යොදවනවා'

ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන නියඟයට මුහුණදීම පිණිස හමුදා නිලධාරීන්ද යෙදවීමට බලාපොරොත්තුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ත්‍රිකුණාමලය චීන වරාය නාවික හමුදා කඳවුරේ පැවති උත්සවයක් අමතා අදහස් දක්වමිනි.

"ඇති වී තිබෙන නියඟ තත්වයේදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට මා බලාපොරොත්තු වෙනවා රජයේ නිලධාරීන් සමග එක් එක් දිස්ත්‍රික්ක සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට," ඔහු පැවසීය.

ගතව ගිය දශක කිහිපය මුළුල්ලේම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා මහජන සුබසාධන කටයුතුවල නිරත වී තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, නියඟයෙන් පෙලෙන ජනතාවට සහන සැලසීම පිණිස හමුදාව යෙදවීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා සවස ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා සමග සාකච්ඡා කළ බවත් සඳහන් කළේය.

ඒ අනුව නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදීම, අවශ්‍ය වුවහොත් ඔවුන්ට ආහාර සහනාධාර බෙදාහැරීම වැනි කටයුතුවල වගකීම හමුදාවට භාරදීම සිය බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය.

රටේ පවතින නියං කාලගුණ තත්වය හේතුවෙන් විදුලි බල අර්බුදයක් මතු වී ඇති බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට ලබා දෙන සම්පත් වර්ධනය කරමින් හමුදාවේ තාක්ෂණික දැනුම සහ ශිල්පීය ඥානය වර්ධනය කිරීම පිණිස කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේදී ප්‍රතිඥා දුන්නේය.