එක්නැලිගොඩ ඝාතනය : පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

එක්නැලිගොඩ ඝාතනය : පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Getty/ISHARA S.KODIKARA

ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හතරදෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම් ඉදිරිපත් කෙරුණේ, කිසිදු සාක්ෂියකින් තොරව තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා නගමිනි.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සම්කරුවන් මේවනවිට අවිස්සාවේල්ල අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇති බවය.

පෙත්සම්කරුවන් අපේක්ෂා කළ මූලික සහනය දැනටමත් ලැබී ඇති බැවින් පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අපේක්ෂාවක් නැති බැවින් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් අදාළ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අධිකරණය පසුව එය ප්‍රතික්ෂේප කිරීමට ද තීන්දු කළේය.