ට්‍රම්ප් ජයග්‍රහණය ජාතිකවාදයේ නැගිටීමක්ද?

පසුගිය සතියේ පැවති ඇමෙරිකානු ජනපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ඡන්ද භාවිත කළ අති බහුතරය සුදු ජාතික වැඩිහිටි පුරුෂයන් බව හෙළි වී තිබේ.

රට පුරා ප්‍රාන්ත ගණනාවක තවමත් ට්‍රම්ප්ට එරෙහි උද්ඝෝෂණ පැවැත්වෙන අතර, ඇතැම් ප්‍රදේශවල කැරලි කෝලාහල හටගත්තේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තේරී පත්වීම ඇමරිකානු ජාතිකවාදයේ යළි ඉස්මතුවීමක් ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ඇතැම් විශ්ලේෂකයින් ද දරන බව පෙනෙන්නට තිබිණ.

සැබවින්ම එය ජාතිකවාදයේ නැගිටීමක්ද?

"මම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ජාතිකවාදයේ නැගීමක් විදිහට දකින්නේ නැහැ," ඒ පිළිතුර දේශපාලන තීරු ලිපි රචකයකු, බ්ලොග්කරුවකු සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයකු වන පිලිප් ශාන්ත ගෙනි.

"නමුත් දේශපාලන ගැටුමකට ලක්වෙලා සිටින ඇමරිකානු පුරවැසියන් ට්‍රම්ප් තෝරාගැනීම තුලින් තමන්ට ක්ෂණික උත්තරයක් සොයාගෙන තිබෙනවා." යැයි කී ඔහු ට්‍රම්ප් ලද ජයග්‍රහණය කිසිසේත්ම සංවිධිත දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිඵලයක් නොවන බව පෙන්වා දුන්නේය.

"එකක් රටට ආවේණික කාරණා මත දේශපාලනයත් ධ්‍රැවීකරණය වෙලා නායකයෝ ඉහළට ඇවිත් ඉන්නවා. මේක අපිට ජාතිකවාදයක් විදිහට හඳුන්වන්න බැහැ. මෙවැනි තෝරා ගැනීම් පවතින ප්‍රශ්නවලට උත්තරයක් වෙන්නේ නැහැ." යනුවෙන් ඔහු පෙන්වා දුණි.

අනපේක්ෂිත ලෙසින් මැතිවරණය ජයග්‍රහණය කළ නමුත් රටේ දැවෙන සමාජ දේශපාලන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ට්‍රම්ප්ට හැකිවේවිද යන්න අභියෝගයක් බවත ද කී පිලිප් ශාන්ත "ජයග්‍රහණයෙන් පසුව තනි ජාතිකත්වයෙන් ලැබෙන මහජන වරමකින් උත්තර සොයා ගැනීම තමයි මෙතන තිබෙන අභියෝගය," යැයි පැවසීය.

ඇමෙරිකාවේ සුලු ජාතිකයින් ඉතා විශාල අනුපාතයක් හිලරි ක්ලින්ටන්ට ඡන්දය දී ඇති බව වොෂිංටනයේ 'තුලේන්' සරසවියේ තුලනාත්මක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෑම් සමරසිංහ මීට ඉහතදී සංදේශයට පැවසීය.

මැතිවරණ කොලීජිය නම් පවතින ක්‍රමය යටතේ ඔහු නව ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වුවත්, සමස්ත ඡන්දය විමසා බැලීමේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවමින් හිලරි ක්ලින්ටන් ඡන්ද ලක්ෂ දෙකක් හිමි කර ගැනීමට සමත් වී සිටී.