ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහින්ද සහ අලුත් පක්ෂය: පිහිටුවනවාද, නැද්ද?
නව පක්ෂයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කිසිදු මත ගැටුමක් නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයන් පවසද්දී, මත ගැටුම් හේතුවෙන් නව පක්ෂයක් බිහිකිරීම අඩ පණ වී ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.
නඩු විභාගයක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කණ්ඩායමේ ප්‍රකාශකයකු වන කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටියේ, අනිවාර්යයෙන්ම නව පක්ෂයක් බිහි කෙරෙන බවයි.
"ඒකාබද්ධ විපක්ෂය තුල සිටින කිසිවෙකුත් අලුත් පක්ෂයක් අනවශ්‍ය බව ප්‍රකාශ කර නැහැ. අලුත් පක්ෂය සුදුසු අවස්ථාවේදී බිහිවේවි," ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ 'අමාරු අඩියකට' වැටී සිටින බැවින් රටට අලුත් පක්ෂයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ මතු වී තිබෙන බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ නමුත් ඔක්තෝබර් 08 වනදා නව පක්ෂයක් පිහිටුවීම සිදු නොවනු ඇති බවයි, පිළිමතලාවේ පැවති උත්සවයක් අතරවාරයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ.
නව පක්ෂයක් පිහිටුවනු ලැබුවහොත් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම නව පක්ෂයටත් අන්ත පරාජයක් අත්වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ සුළුතර මන්ත්‍රී කණ්ඩායමක අදහස වී තිබෙන බව ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ අතර නව පක්ෂයක් බිහි කිරීමේ මූලික පියවර ඔක්තෝබර් 08 වනදා ඇහැළියගොඩින් ආරම්භ කරන බව නිවිතිගල පැවති ජන හමුවක් අමතමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේය.
දූෂණ චෝදනා
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී නව පක්ෂය සන්ධානයක් යටතේ තරඟ කරන බවයි හිටපු ඇමතිවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී නව පක්ෂයක් පිහිටුවනු ලැබුවහොත් ඊළඟ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය බහුතර බලයක් සහිතව බලයට පත්වීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.
මේ අතර මහින්ද රාජපක්ෂ පරිපාලනයේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුල අලුතින් උප සභාපති තනතුරක් නිර්මාණය කිරීම තුලින් රජයට පාඩු සිදු කළේ යැයි යන චෝදනාව මත කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබෙන නඩු විභාගය නොවැම්බර් මස 07 වැනි දින දක්වා කල් තැබිණ.