ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නුවරඑළියේ වැඩියෙන්ම මත්පැන් පානය කරන්නේ 'කාන්තාවෝ'
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුරුෂයන්ට වඩා කාන්තාවන් වර්තමානයේ මත්පැන් පානය කිරීමට පෙළඹී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ නුවරඑළිය නව නගර ශාලාවේ පැවති මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ හය වැනි අදියරට එක් වෙමින්.
රට පුරා නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැල්වල වාර්තා සලකා බැලීමේදී වැඩිපුරම මත්පැන් පානය කරන්නේ යාපනයේ ජනතාව බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
'අවවාදය සහ ආදර්ශය'
"ලංකාවේ වැඩිපුරම අරක්කු බීල ආණ්ඩුවට ආදායම එවන්නේ යාපනයේ ජනතාව," ඔහු පැවසීය.
"ඊලඟට ආණ්ඩුවේ ලයිසන් දීපු අරක්කු බොන තැන්වලින් අරක්කු බීල වැඩියෙන්ම ආණ්ඩුවට ආදායම් එවන්නේ නුවරඑළියේ ජනතාව. තුන් වෙනි තැනට සල්ලි හොයල දෙන්නේ මඩකලපුව ජනතාව."
තමන් මේ සඳහන් කරන්නේ රටේ ව්‍යවහාර වන නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව නොව නීත්‍යානුකූල ලෙසින් අලෙවි වන මත්පැන් පිළිබඳව පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ඔහු පවසන පරිදි අරක්කු සහ සිගරට් වෙනුවෙන් නුවරඑළියේ ජනතාව පමණක් වසරකට වැය කරන මුදල රුපියල් කෝටි එක්දහස් හයසියයක්.
"නීත්‍යානුකූල මත්ද්‍රව්‍යත්, නීති විරෝධී මත්ද්‍රව්‍යත් මේ දෙකම මිනිසාට කරන්නේ හානියක් නේද කියන එක ඔබ අප කවුරුත් පිළිගත යුතුයි."
මතින් තොර රටක් ගොඩනැගීමේ කටයුත්තේ දී අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මත් උවදුරට වැට බැඳීම පිණිස මැති, ඇමතිවරුන් ඇතුළු සියලු දේශපාලන නායකයන් පෙරමුණ ගත යුතු බවත් අවධාරණය කළේය.