සති කිහිපයක් ඇතුලත 'නාය යෑම් 400ක්'

පසුගිය සති දෙක ඇතුලත ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක නාය යෑම් සහ නාය යා හැකි ස්ථාන 500 ක් පමණ වාර්තා වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

නාය යෑම් සිදු වුවත් ඒ පිළිබඳව තොරතුරු නොලැබෙන ස්ථානද තිබෙන බැවින් නාය යාම් පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළි කිරීම ඉතා අසීරු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අධ්‍යන සේවා අංශයේ අධ්‍යක්ෂක ආර්එම්එස් බණ්ඩාර පවසන්නේ.

''පවතින මේ වර්ෂා කාලයත් සමඟම කෑගල්ල, රත්නපුරය, කළුතර, නුවරඑළිය, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක හතේ නාය යාමේ අවදානමක් පවතිනවා," ඔහු පැවසීය.

පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාවෙන් අනතුරුව ඉදිරියට නිරිත දිග මෝසම් වැස්ස ලඟා වන බැවින් එම දිස්ත්‍රික්කවල අවදානම් තත්වය පහව යනු නැති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසයි.

අධි අවදානම් සහගත කලාප ලෙසින් හඳුනාගත් ප්‍රදේශවලින් 500 කට අධික පිරිසක් ගතව ගිය සති කිහිපය තුල ඉවත්කරගෙන තිබෙන බවත් ඔහු පැවසීය.

"බදුල්ල දිස්ත්‍රිකය ලංකාවේ නැගෙනහිර බෑවුමේ තියෙන්නේ. ඒ නිසා මේ කාලයේ වඩා වර්ශාපතනයක් ලැබෙන්නේ බටහිර බෑවුමෙන්. නමුත් නාය යෑම් ඇතිවන එක් දිස්ත්‍රික්කයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කය හඳුනාගෙන තිබෙනවා."

එමෙන්ම වර්ශාපතනයත් සමග අවදානම් කලාප වරින් වර වෙනස්වන බවත් ඔහු පැවසීය.

"ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබෙනකොට බදුල්ල, නුවරඑලිය දිස්ත්‍රික්කවලට වැඩිපුර වර්ෂාපතනය ලැබෙන්නේ. ඒ කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේදී නාය යෑම් අවදානමක් තිබෙනවා." ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අධ්‍යන සේවා අංශයේ අධ්‍යක්ෂක ආර්එම්එස් බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

2014 ඔක්තෝම්බර් 29 වැනිදා බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑම හේතුවෙන් 39 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර ලයින් කාමර පේලි 06 ක ජීවත්වූ පවුල් 75 කට පමණ නිවාස අහිමිවිය.