ගවමස් කටකතාවකට ජීවිතයෙන් වන්දි

ඡායාරූප මූලාශ්‍රය, Hindustan Times
ගවමස් ආහාරයට ගැනීම සහ ළඟ තබා ගත් බවට පැතිර ගිය කට කතාවක් මුල් කර ගනිමින් මුස්ලිම් ජාතිකයකු මරා දැමීම සම්බන්ධයෙන් සැක පිට හය දෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.
විශාල පිරිසක් පැමිණ මොහොමඩ් අක්ලාක් නමැති මුස්‌ලිම ජාතිකයා නිවසින් පිටතට රැගෙන ගොස් පහර දී මරා දමා තිබේ.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විසූ මරුමුවට පත් පුද්ගලයාගේ පුත්‍රයාත් පහර කෑම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

‘ඇතැම් ගම්මු කටකතා පතුරවලා තියනවා අක්ලාක් ළඟ ගව මස් තියෙනවා කියලා. ඔහු ගව ඝාතනයට සම්බන්ධයිත් කියලා කටකතා පතුරවලා තියනවා. ඒ කටකතා හින්දා මිනිස්සු ඔහුගේ නිවසටත් පහර දීලා’ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ද ඉන්දියා එක්ස්ප්‍රස්’ පුවත්පතට පවසා තිබේ.
ඉන්දියාවේ ප්‍රාන්ත බොහෝමයක ගව ඝාතනය නීතියෙන් තහනම්.
ඉන්දියානුවන් බහුතරයක් හින්දු භක්තිකයන් වන අතර ඔවුහු ගවයා දේවත්වයේ ලා සලකති.
ගව ඝාතනය, වෙළඳාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රීති දැඩි කිරීමට වර්තමාන ඉන්දීය හින්දු දක්ෂිණාංශික ආණ්ඩුව කටයුතු කළේය.




