'මත්තල ප්‍රහාරය පාර්ලිමේන්තුවට අවනම්බුවක්' - එජාප

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් පියවර ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

ප්‍රහාරයට ගොදුරු වූ මන්ත්‍රීවරුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට වාර්තා කර ඇති අතර, තමාත් පෞද්ගලික මට්ටමින් වැඩබලන පොලිස්පතිවරයාට ඒ ගැන දැනුම් දී ඇතත් මේ දක්වා කිසිදු පියවරක් ගනු නොලැබීම කනගාටුවට කරුණකැයි එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන නායක කරු ජයසූරිය බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

ප්‍රහාරය අවස්ථාවේ තම අත තිබුනේ සෙල්ලම් පිස්තෝලයක් බවයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය අවස්ථාවේ තම අත තිබුනේ සෙල්ලම් පිස්තෝලයක් බවයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසන්නේ.

එම දැනුම් දීම කළ අවස්ථාවේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට පොලිසිය සහතික වු බවත් එක්සත් ජාතික පක්‍ෂයේ වැඩ බලන නායකයා කියා සිටියි.

පාර්ලිමේන්තුවට කළ අපහාසයක්

“පිස්තෝල අතින් ගත් ප්‍රහාරකයන්ගේ ඡායාරූප පුවත්පත් වල පවා පළ වුනා. එවැනි සාක්ෂි තිබියදී තවමත් කිසිවකු අත්අඩංගුවට නොගැනීම කනගාටුවට කරුණක්. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගත්තොත් අපි දැඩි ක්‍රියාමාර්ගයකට යනවා” වැඩබලන නායක කරු ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය ‘පාර්ලිමේන්තුවට කළ අවනම්බුවක්ය’ යන්න ඔහුගේ විග්‍රහයයි.