ලෝක පාපන්දු පිටියට කම්කරු ප්‍රඥප්තියක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන් අනුගමනය කළ යුතු කම්කරු ප්‍රඥප්තියක් 2022 කටාර් ලෝක පාපන්දු කුසලාන ශූරතා වලියේ සංවිධායකයන් විසින් නිකුත් කොට තිබේ.
තමන් යටතේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග එමගින් දක්වා ඇත.
විවේචන
ඉදිකිරීම් ව්‍යාපෘති වල සිදු වන අනතුරුවලින් සංක්‍රමණික කම්කරුවන් දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා හෝ ඇති බවට වාර්තා වීමෙන් පසු මානව හිමිකම් සංවිධාන විසින් කටාර් රාජ්‍යය විවේචනයට ලක් කරන ලදී.
අදාළ කම්කරු ප්‍රඥප්තිය ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක් ව සකස් කර තිබෙන බවයි ක්‍රීඩා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු රිචර්ඩ් කොන්වේ වාර්තා කරන්නේ.
එය ඉදිරිපත් කොට ඇත්තේ, සේවකයන්ගේ සේවා තත්වයන් සංශෝධනය කිරීමේ සැලසුම් පිළිබඳව තමන් දැනුවත් කිරීම පිණිස ජාත්‍යන්තර පාපන්දු සංවිධානය විසින් කටාර් ලෝක කුසලාන බලධාරීන් හට අවසන් දින නියමයක් කිරීමෙන් පසුවයි.
අහිංසක ජනතාවගේ ලේ මත ලෝක කුසලාන ක්‍රීඩාංගණය ඉදි නොකරන බව, 2022 කටාර් ලෝක පාපන්දු කුසලාන ශූරතා වලියේ මහ ලේකම් සෙරම වැල්ක් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සහ ආරක්ෂාව

ඡායාරූප මූලාශ්‍රය, Getty
මේ නිසා ලෝක කුසලාන ව්‍යාපෘති සඳහා සේවය කරන සමාගම් විසින් සේවක මරණ සහ අනතුරු වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය සහ ආරක්ෂක විධි විධාන පුළුල් ලෙස නව කම්කරු ප්‍රඥප්තියේ විස්තර කොට ඇති බව රිචර්ඩ් කොන්වේ පවසන්නේ.
ඊට අමතරව, සේවකයන්ට නිසි කලට වැටුප් ගෙවීමට හා සුදුසු නේවාසික පහසුකම් සැලසීමටත්, විවේක දින ලබා දීමට මෙන් ම වෛද්‍ය ගාස්තු ගෙවීමටත් පියවර ගත යුතු බව ට ප්‍රඥප්තියෙන් යෝජනා කොට තිබේ.
සේවකයන් විසින් අමතනු ලැබීම සඳහා රහස්‍ය භාවය සුරැකෙන දුරකථන පහසුකම් සැලසිය යුතු බවටත් නිර්දේශ කොට ඇති බවයි ක්‍රීඩා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු තවදුරටත් වාර්තා කරන්නේ.
ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්
ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර මානව හිම්කම් සංවිධානය මෙම ප්‍රඥප්තිය පිළිගන්නා බව ප්‍රකාශ කොට තිබේ.
එම සංවිධානයේ ජේම්ස් ලින්ච් පැවසුවේ මේ සම්බන්ධයෙන් තවත් බොහෝ දේ සිදු කළ යුතුව ඇති බවයි.
ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්නේ කොයි ආකාරයට ද යන්න ගැන ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ජාත්‍යන්තරයේ අවධානය යොමුව ඇති බවයි ඔහු පැවසුවේ.
“මම හිතන්නේ මේ කොන්දේසි ක්‍රියාවට නංවන ආකාරය ගැන අපි තව තොරතුරු දැන ගත යුතුයි කියල. මීට වඩා අවධානය යොමු කළ යුතු විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ප්‍රඥප්තියේ කරුණු අදාළ වන්නේ ක්‍රීඩාංගණය සහ පුහුණු කටයුතු පැවැත්වෙන ක්‍රීඩාංගණ ඉදි කරන කම්කරුවන්ට පමණයි. මේ කොන්දේසි මහා මාර්ග, දුම්රිය මාර්ග , හෝටල් ඉදිකිරීම් ක්ෂේත්‍රවල කම්කරුවන්ට අදාළ වන්නේ නැහැ,” ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර මානව හිම්කම් සංවිධානයේ ජේම්ස් ලින්ච් තවදුරටත් පැවසුවේය.








