මුහම්මද් යූනුස්: ක්ෂුද්‍ර ණය භාවිතය හඳුන්වා දුන් 'දුප්පතාගේ බැංකුකරු' ට සිදුව ඇත්තේ කුමක්ද?

Muhammad Yunus

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ෂුද්‍ර ණය භාවිත කිරීමේ පුරෝගාමීත්වය සම්බන්ධයෙන් බටහිර ලෝකයේ බොහෝ දෙනෙක් මහාචාර්ය මුහම්මද් යුනුස්ට ප්‍රශංසා කරති
    • Author, අක්බාර් හොසේන් සහ කෙලී එන්ජී
    • Role, ඩකා සහ සිංගප්පූරුවේ සිට

අගෝස්තු මාසයේ දී, මහාචාර්ය යූනුස්ට "හිංසා කිරීම" නතර කරන ලෙස ගෝලීය දැවැන්තයින් 170 දෙනෙකුට අධික පිරිසක් හසීනාගෙන් ඉල්ලා තිබුණි.

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් සහ U2 සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක බොනෝ ඇතුළු පිරිසක් අත්සන් තැබූ ඉහත සඳහන් ලිපියෙන්, මහාචාර්ය යූනුස්ට එරෙහිව ක්‍රියාත්මක වන "අඛණ්ඩ අධිකරණමය හිරිහැර" නතර කරන ලෙස ඉල්ලා තිබුණි.

"තාඩන පීඩනවලින් හෝ හිරිහැරවලින් තොරව ඔහුගේ පුරෝගාමී මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට හැකිවේවා යි අපි අවංකව ම ප්‍රාර්ථනා කරමු," එහි වැඩිදුරටත් දැක්වේ.

මීට රළු ප්‍රතිචාරයක් දැක්වූ ශෙයික් හසීනා, 83 හැවිරිදි මහාචාර්යවරයා ජාත්‍යන්තර නිවේදනයක් වෙනුවෙන් "සිඟමන් යදින" බවට චෝදනා කළා ය.

මහාචාර්ය යූනුස්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ග ඇගැයීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයින් සාදරයෙන් පිළිගන්නා බව හසීනා පැවසුවා ය.

හසීනා සහ මහාචාර්ය යූනුස් අතර ගැටුමට තුඩු දුන්නේ කුමක්දැ යි පැහැදිලි නැතත්, වරක් ඔහු බලයේ සිටින අවාමි ලීගයට ප්‍රතිවාදී ලෙස දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සිතූ නිසා ආණ්ඩුව ඔහු අපකීර්තියට පත් කිරීමට තැත් කරන බව, ආර්ථික විද්‍යාඥයාගේ ආධාරකරුවන් කියා සිටියි.

බටහිර ලෝකයේ නායකයින් ක්ෂුද්‍ර ණය භාවිතයේ පුරෝගාමීත්වය සඳහා මහාචාර්ය යූනුස්ට ප්‍රශංසා කරද්දී, ශෙයික් හසීනා මෙම 83 හැවිරිදි මහාචාර්යවරයා මහජනතාවගේ සතුරෙකු ලෙස සලකයි.

1983 වසරේ දී මහාචාර්ය යූනුස් ආරම්භ කළ මේ බැංකුව, දිළිඳු ජනතාවට ඔවුන්ටම අයත් කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට උපකාර කිරීම සඳහා කුඩා, දීර්ඝකාලීන ණය ලබාදෙයි. එතැන් සිට මෙම සංකල්පය ලොව පුරා පැතිර ගියේ ය.

මහාචාර්ය යූනුස්ට එරෙහිව පනවා ඇති නඩු මොනවා ද?

මහාචාර්ය යූනුස් ආරම්භ කරන ලද තවත් සමාගමක් වූ ග්‍රාමීන් ටෙලිකොම්හි හිටපු සේවකයෝ 18 දෙනෙක්, ඔවුන්ගේ රැකියාවේ ප්‍රතිලාභ ඔහු අහිමි කළ බවට චෝදනා කරමින් නඩුවක් ගොනු කළහ.

අගෝස්තු 22 වන දා, වෙනත් සිද්ධියකට අදාළව, කම්කරු නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් ඔහු නඩු විභාගයකට පෙනී සිටියේ ය.

එම නඩු පවරා ඇත්තේ ද, බංග්ලාදේශයේ මීළඟ මහ මැතිවරණයට මාස හතරක් තිබියදී, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා වැඩි වැඩියෙන් ඉදිරිපත් වන ඉල්ලීම් මධ්‍යයේ ය.

අතීතයේ දී ඔහුට එරෙහි තවත් නඩු පැවතිණි.2011 වසරේ දී බංග්ලාදේශයේ මහ බැංකුව ඔහු බලහත්කාරයෙන් ග්‍රාමීන් බැංකුවෙන් ඉවත් කළේ, මහාචාර්යවරයා අනිවාර්ය විශ්‍රාම වයස වන අවුරුදු 60 ඉක්මවා සේවය කර ඇති බව පවසමිනි.

2013 වසරේ දී බලධාරීන් විදේශීය ආදායම් සඳහා වන බදු පැහැර හැරීම සම්බන්ධයෙන් මහාචාර්ය යූනුස්ට චෝදනා කළේ ය. එයට ඔහුගේ නොබෙල් ත්‍යාග මුදල සහ පොතකින් ලැබුණු කතෘභාගය ද ඇතුළත් විය.

මහාචාර්ය යූනුස්ගේ නීතිඥ අබ්දුල්ලා අල්-මමුන් පවසන්නේ, මෙම නඩු පදනම් විරහිත හා රජයේ බලපෑම මත පැවරූ ඒවා බව ය.

Bangladesh Prime Minister Sheikh Hasina

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විරුද්ධවාදීන් යටපත් කරන බවට ශෙයික් හසීනාට චෝදනා එල්ල වී තිබේ

මහාචාර්ය යූනුස් මෑතක සිට කිසිදු දේශපාලනික අභිලාෂයක් ප්‍රකාශ නොකළ ද, මහාචාර්ය යූනුස්ගේ ලෝක ප්‍රතිරූපය කෙරෙහි හසීනා "දැඩි අමනාපයෙන්" සිටින බව, ඉලිනොඒ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යාඥයෙකු වන අලි රියාස් බීබීසීයට පැවසුවේ ය.

බංගලාදේශය නිදහස කරා ගෙන ගිය පුද්ගලයා ලෙස බොහෝ රටවැසියන් ගරු කරන, හසීනාගේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ට වඩා මහාචාර්ය යූනුස්ගේ කීර්තිය ඉහළ යනු ඇතැ යි ඇය තුළ බියක් පවතින වග ඇතැම්හු විශ්වාස කරති.

ෂෙයික් මුජිබර් රහ්මාන් 1975 වසරේ දී ඝාතනය විය.පාලන තන්ත්‍රය මහාචාර්ය යූනුස් වෙත එල්ල කරන ප්‍රහාර විසින් විරුද්ධ මත නොඉවසීමක් නියෝජනය වෙන අතර, එය රෙජීමය පදනම්වූ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට තර්ජනයක් බව මහාචාර්ය රියාස් පැවසීය.

"හදිසියේ නඩු ගොනු කිරීමට යුහුසුළු වීමෙනුත්, නඩු විභාග ඉක්මන්කර ගැනීමට උත්සහ කිරීමෙනුත් පෙන්නුම් කරන්නේ, එහි අරමුණ සාධාරණත්වය සහ යුක්තිය ඉටුකර ගැනීම නොවෙයි. ඔහු[ගේ සිදුවීම විරුද්ධවාදීන්ට] ආදර්ශයක් ලෙස පෙන්වන එක යි.

"විපක්ෂ ක්‍රියාකාරීන්ට සහ රජය විවේචනය කරන්නන්ට එරෙහිව දිනපතාම වාගේ මේ වගේ හැසිරීම් පෙන්නුම් කරනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.