ටෙරී ගෝ: තායිවානයේ ජනාධිපතිධුරය ඉල්ලන iPhone බිලියනපතියා

    • Author, රූපර්ට් විංෆීල්ඩ්-හේස්
    • Role, බීබීසී පුවත්, තායිවානය

iPhone දුරකතන නිෂ්පාදනය කරන Foxconn සමාගමේ නිර්මාතෘ 72 හැවිරිදි ටෙරී ගෝ, තායිවානයේ ජනාධිපති තරගයට ඉදිරිපත්ව සිටින අලුත් ම අපේක්ෂයා ය.

ටෙරී ගෝ යනු අතිශය දරිද්‍ර මට්ටමේ සිට අතිශය ධනවත් තත්ත්වයක් දක්වා ගොඩනැගුණු ජීවිත කතාවක් සහිත, විශාල ධනස්කන්ධයකට සහ මහා ප්‍රසිද්ධියකට හිමිකම් කියන ආකර්ෂණීය ව්‍යාපාරිකයෙකි. තායිපේ නුවර නිරීක්ෂකයින් පවසන්නේ, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයට (DPP) එරෙහිව ඉදිරිපත් වන එක ම අපේක්ෂකයා ටෙරී ගෝ නම්, ඔහුට ජයග්‍රහණය සඳහා හොඳ අවස්ථාවක් ඇති බව ය. එහෙත්, එය එසේ නොවේ.

ඒ වෙනුවට, ඔහුගේ අපේක්ෂකත්වය හේතුවෙන් 2024 ජනවාරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ ඡන්දය කොටස් තුනකට බෙදී යනු ඇත.

මෙම සිද්ධිය "සිදුරු සංකල්පය" සඳහා වන කදිම උදාහරණයකි. වළකට වැටී සිටින ඔබට ඉන් පිටතට නැගීම අපහසු නම්, ඔබ කළ යුතු පළමු දෙය වන්නේ වළ තවදුරටත් හැරීම නැවැත්වීම බව අදාළ සංකල්පයෙන් කියැවෙයි. තායිවානයේ විපක්ෂය ඔවුන්ගේ මිනී වළ ඔවුන් ම කපා ගනිමින් සිටින ආකාරයක් දැකිය හැකි ය.

තායිවානයෙන් ඔබ්බට ද දැඩි ප්‍රතිවිපාක ඇති කරන ජනාධිපතිවරණයක් සඳහා සඳුදා (අගෝ 28) ටෙරී ගෝ ඔහුගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ පසු සැබවින් ම සිදුවූයේ එය යි. ස්වයං පාලනයක් සහිත මෙම දිවයින, චීන රජය සහ වඩාත් මිලිටරිකරණය වූ කලාපයකින් එල්ලවන වර්ධනය වන තර්ජන මධ්‍යයේ නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනු ඇත.

ශාන්තිකර සාගර කලාපයේ තවත් ආකර්ෂණීය ව්‍යාපාරිකයෙකු ලෙස ටෙරී ගෝ පළමුව උත්සාහ කළේ, තායිවානයේ ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂය වන පැරණි ජාතිකවාදී KMTහි (කුඕමින්ටැන්ග් පක්ෂය) අපේක්ෂකයා බවට පත් වීමට ය. අමෙරිකාවේ දී මෙන් නොව, ඔහු අසමත් විය.

KMT පක්ෂය වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගත් අතර, ගෝ කලකිරීමෙන් යුතුව පක්ෂය හැර ගියේ ය. එහෙත්, ගෝගේ එක ම ප්‍රශ්නය KMT පක්ෂය පමණක් නොවේ.

තායිවාන ජනතා පක්ෂය (TPP) යනුවෙන් එරට තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් ක්‍රියාත්මක වන අතර, එහි නායකත්වය දරන්නේ ද කෝ වෙන්-ජේ නමැති ආකර්ෂණීය ජනප්‍රියවාදියෙකි. කෝ, තායිපේ නගරයේ හිටපු නගරාධිපතිවරයා වන අතර මත විමසුම් අනුව ඔහු මේ වන විට අපේක්ෂකයින් අතර දෙවන ස්ථානයේ පසු වෙයි. ඔහු විශේෂයෙන්ම තරුණ තායිවාන ඡන්දදායකයින් අතර වඩාත් සාර්ථකත්වයට පත්ව සිටියි.

ගෝගේ ප්‍රධාන අලෙවිකරණ සාධක වන්නේ ඔහුගේ ධනය සහ ව්‍යාපාරික සාර්ථකත්වය පමණක් නොවේ. චීනය තුළ සහ චීනය සමග කටයුතු කිරීමට ඔහු සතු පළපුරුද්ද ද ඒ අතර වේ.

Foxconn හෙවත් Hon Hai industries සමාගම තායිවාන ඉංජිනේරු දැනුම සහ පළපුරුදු චීන ශ්‍රමය සමග ඒකාබද්ධ කිරීමේ ආකෘතියේ පුරෝගාමියා බවට පත්වෙමින්, ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයා විය. 1980 - 90 කාලයේ දී, ටෙරී ගෝ දකුණු චීනයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්ත ගොඩනගා තරුණ චීන ජාතිකයන් දස දහස් ගණනක් ඒවායෙහි සේවයට බඳවා ගත්තේ ය.

මෙම ආකෘතිය කෙතරම් සාර්ථක වූයේ ද යත්, අවසානයේ ඔහු MacBook සහ iPhone නිෂ්පාදනය Foxconn සමාගම වෙත ලබා ගැනීම සඳහා Apple සමාගම පොළඹවා ගත්තේ ය. එමඟින්, Foxconn සමාගම තායිවානයේ විශාලතම සමාගම බවට පත්වූ අතර, ගෝ එරට ධනවත් ම ව්‍යවසායකයින් අතර අයෙකු විය.

ගෝ පවසන්නේ, තායිවානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා චීනය තුළ ආයෝජනය කිරීමේ සහ වැඩ කිරීමේ අත්දැකීම භාවිත කළ හැකි බව ය. තායිවානය "තවත් යුක්‍රේනයක් බවට පත්වීම" වැළැක්වීමට ඔහුට අවශ්‍ය බව ගෝ පවසයි. සිය අපේක්ෂකත්වය නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කළේ, "චීනය සමග පැවති යුද්ධමය අගාධයෙන් පිටතට [පැමිණීමට]" තායිවානයට නායකත්වය දෙන බව ය.

චීනයෙන් එල්ල වන තර්ජනය වඩාත් භයානක ලෙස දකින්නේ ඔහු පමණක් නොවේ. පසුගිය වසරේ දී චීනය, තායිවාන දිවයින වටා පවත්වන ඔවුන්ගේ හමුදා මෙහෙයුම් විශාල වශයෙන් වැඩි කර තිබේ.

පසුගිය සතියේ මහජන විමුක්ති හමුදාව විසින් තායිවානයේ වෙරළ ආක්‍රමණයක් වැන්නක් සඳහා චීන හමුදා භටයින් පුහුණු කරන ආකාරය දැක්වෙන දැවැන්ත ප්‍රචාරක වීඩියෝවක් නිකුත් කරන ලදී.

චීනය සහ තායිවානය: මූලික තොරතුරු

  • චීනය සහ තායිවානය අතර දුර්වල සබඳතාවක් පවතින්නේ ඇයි? චීනය, ස්වයං-පාලිත තායිවාන දූපත චීන භූමියේ කොටසක් ලෙස සලකන අතර, අවශ්‍ය වුවහොත් බලහත්කාරයෙන් එය මහා භූමිය සමග ඒකාබද්ධ කළ යුතු බව අවධාරණය කරයි
  • තායිවානය පාලනය කෙරෙන්නේ කෙසේ ද? ඔවුන්ගේම ව්‍යවස්ථාවක් තිබෙන තායිවානය ප්‍රජාතන්ත්‍රවාදීව නායකයින් තෝරා පත්කර ගනියි. එහි සන්නද්ධ හමුදාවන්හි ක්‍රියාකාරී සෙබළු 300,000ක් පමණ වෙති
  • තායිවානය නිදහස් රාජ්‍යයක් පිළිගන්නා රටවල් මොනවා ද? තායිවානය පිළිගන්නා රටවල් ඇත්තේ කිහිපයක් පමණි. බොහෝ රටවල් ඒ වෙනුවට පිළිගන්නේ බීජිංහි ක්‍රියාත්මක චීන රජය යි. අමෙරිකාවට තායිවානය සමග නිල සබඳතා නොමැති වුව ද, තායිවානයේ ආරක්ෂාව සඳහා එම දිවයිනට අවශ්‍ය දේ සැපයීමට හැකියාව ඇති නීතියක් තිබේ

වෙනස වන්නේ, ටෙරී ගෝ දොස් පවරන්නේ කාට ද යන්න පිළිබඳව ය - ඔහු දොස් පවරන්නේ චීන පාලකයින්ට නොව, තායිවානයේ ම ජනාධිපති සායි යිං-වෙන්ට ය.

තායිවානය මෙම "අගාධයේ" අද්දරට ගොස් ඇත්තේ, වත්මන් පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය චීන පාලනය කෙරෙහි දක්වන සතුරුකම හේතුවෙන් බව ඔහු පවසයි. 1992 වසරේ දී බීජිං සහ තායිපේ අතර ඇතිකර ගත් එකඟතාවට අනුකූල තත්ත්වයට තායිවානය නැවත ගෙන එන බව ටෙරී ගෝ පවසන අතර, ඉදිරි වසර 50 සඳහා දිවයිනට සාමය ගෙන එන ගිවිසුමකට අත්සන් තබන බව ද පවසයි.

එවැනි ගිවිසුමකට එළඹිය හැකි ද යන්න සම්බන්ධයෙන් සැක පළ කරන බොහෝ පිරිස් මෙහි සිටිති.

එහෙත්, ගෝගේ විශාලතම අභියෝගය එය නොවේ. ඒ වෙනුවට ඔහුට ඇති අභියෝගය ඡන්ද ගණිතය යි. ගෝ යෝජනා කරන්නේ තායිවාන ඡන්දදායකයින් අතර එතරම් ජනප්‍රිය දෙයක් නොවේ.

මත විමසුම්වලින් පෙනී යන්නේ, චීන රජය සමග වර්ධනය වෙමින් පවතින නොසන්සුන් තත්ත්වයට රජයට දොස් පැවරිය යුතු බව බහුතර තායිවාන වැසියන් විශ්වාස නොකරන බව ය. සාමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් චීන රජය වෙත වාසි සැලසීමට ඔවුහු කැමැත්තක් නොදක්වති. තායිවාන ඡන්දදායකයින්ගෙන් අති බහුතරයක් දැන් ඔවුන් චීන ජාතිකයන් නොව තායිවාන ජාතිකයන් ලෙස පිළිගෙන සිටින අතර, රටෙහි ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් කිරීමට සූදානම් බව පවසයි.

ඡන්දදායකයින්ගෙන් 40%ක පමණ ප්‍රතිශතයක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් බව මත විමසුම්වලින් පෙනී යයි. ඉන් අදහස් වන්නේ පාලක පක්ෂය පරාජය කළ හැකි බව ය. එහෙත්, යම් අවස්ථාවක් ලබා ගැනීමට නම්, විපක්ෂය එක් අපේක්ෂකයෙකු වටා එක්සත් විය යුතු ය.

ගෝ පැහැදිලිව ම සිතන්නේ, එම අපේක්ෂකයා තමන් විය යුතු බව ය. විපක්ෂයේ අපේක්ෂකයින් තිදෙනා, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය නමැති "විශාල නරක වෘකයා" පරාජය කිරීමට "කුඩා ඌරු පැටවුන් තිදෙනා" මෙන් එක්සත් විය යුතු බවත් ඔහු පවසයි.

එහෙත්, එය සිදුවන සලකුණක් හෝ නැත. ඒ වෙනුවට, ඔහුගේ ධනය හා කීර්තිය තිබියේවා, ටෙරී ගෝගේ අපේක්ෂකත්වය නිසා විපක්ෂයේ ඡන්ද තවදුරටත් බෙදීමට ඉඩ ඇත.

එයින් අදහස් වන්නේ, 40% ක ඡන්ද ප්‍රතිශතයකින් වුව ද, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ විලියම් ලායි තායිවානයේ මීළඟ ජනාධිපතිවරයා වීමට තවමත් බොහෝදුරට ඉඩ ඇති බව ය.