ෂී ජින්පිං ඒකාධිපතියෙකු යැයි, ජෝ බයිඩන් කියයි

    • Author, ඇන්තනි සර්කර් සහ ස්ටීවන් මැක්ඩොනෙල්, බීජිං සහ ලන්ඩනයේ ගැරත් එවන්ස් සිට
    • Role, බීබීසී පුවත්

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියාවේ පැවති අරමුදල් රැස් කිරීමේ උත්සවයකදී චීන ජනාධිපති ෂී ජින් පිං ඒකාධිපතියෙකු ලෙස හඳුන්වා දී තිබේ.

ඔහු මෙම ප්‍රකාශය කරනු ලැබුවේ සුපිරි බලවතුන් දෙදෙනා අතර පවතින ආතතීන් ලිහිල් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, බීජිං හිදී චීන ජනාධිපති ෂී ජින් පිං හමුවීමෙන් දිනකට පසුවය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග බීජිං හි පැවති සාකච්ඡා යම් ප්‍රගතියක් ලබා ඇති බව චීන ජනාධිපතිවරයා පැවසූ අතර දෙපාර්ශවය තවත් සාකච්ඡා සඳහා විවෘත බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් පෙන්වා දුන්නේය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රකාශයට චීනය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

අඟහරුවාදා රාත්‍රියේ පැවති අරමුදල් රැස්කිරීමේ උත්සවයේ දී ජනාධිපති බයිඩන් කියා සිටියේ එක්සත් ජනපදයට ඉහළ අහසේදී පුපුරුවා හැරි චීන ඔත්තු බැලීමේ බැලූනය සම්බන්ධ මෑතකාලීන ආතතීන් හේතුවෙන් ජනපති ෂී ජින්පිං අපහසුතාවට පත් වූ බවයි.

" ෂී ජින්පිං ඉතා කලබල වීමට හේතුව, කුඩා මෝටර් රථ දෙකක් තරම් විශාල ඔත්තු බැලීමේ උපකරණ පිරවූ මේ බැලුනය මම බිම හෙලන විට විට, ඔහු ඒ ගැන නොදැන සිටීමයි," ජෝ බයිඩන් පැවසීය.

"ඒකාධිපතියන්ට ඒක ලොකු ලැජ්ජාවක්. මොකද වුණේ කියලා ඔවුන් දැනගෙන හිටියේ නැහැ."

බ්ලින්කන්ගේ බීජිං සංචාරය - වසර පහකට ආසන්න කාලයක් තුළ එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් චීනයේ සිදු කරන ලද පළමු සංචාරය ලෙස සැලකෙයි.මේ සංචාරයේදී දෙරට අතර ඉහළ මට්ටමේ සන්නිවේදන සබඳතා නැවත ආරම්භ කරන ලදී. ජෝ බයිඩන් සහ ෂී ජින්පිං මෙය යහපත් වර්ධනයක් ලෙස ප්‍රශංසා කළහ. නමුත් බ්ලින්කන් පැහැදිලි කළේ දෙරට අතර ප්‍රධාන වෙනස්කම් තවමත් පවතින බවයි.

බීජිං සාකච්ඡාවලින් පසු ඇමෙරිකාවේ සහ චීනයේ හොඳ හිත වර්ධනය වෙයිද?

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ බීජිංහි දෙදින සංචාරයෙන් පසු එක්සත් ජනපදය සහ චීනය, දෙරට අතර පවතින නොරිස්සුම් තත්ත්වය අවම කර ගැනීමට ප්‍රතිඥා දී තිබේ.

මෙම ප්‍රතිවාදී සුපිරි බලවතුන් දෙදෙනා අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සන්නිවේදන කටයුතු නැවත ආරම්භ කිරීමේ සාකච්ඡා සඳහා බ්ලින්කන් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය.

එම සාකච්ඡාවලින් ප්‍රගතියක් ලද බව ෂී ප්‍රකාශ කළේ, වැඩිදුර සාකච්ඡා සඳහා දෙපාර්ශවය ම විවෘත බව බ්ලින්කන් පෙන්වා දුන් පසුම්බිමක ය.

නමුත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කළේ, දෙරට අතර තව ම ත් සැලකිය යුතු වෙනස්කම් පවතින බව ය.

"මම අවධාරණය කළා... වෙනස්කම් වගකීමෙන් කළමනාකරණය කිරීමට සහ පවතින තරගය ගැටුමක් බවට පත් නොවන බවට සහතික කිරීමට ඇති හොඳ ම ක්‍රමය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කෙරෙන තිරසර සන්නිවේදනය කියලා," යැයි ටියනන්මෙන් චතුරශ්‍රයේ පිහිටි ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්හි පැවති මිනිත්තු 35ක හමුවෙන් පසුව බ්ලින්කන් මහතා වාර්තාකරුවන්ට පැවසීය.

"චීන පාර්ශවයේ අදහස වුණෙ ත් ඒක ම තමයි," ඔහු පැවසීය. "අපි දෙගොල්ලෝ ම අපේ සම්බන්ධතාව ස්ථාවර කර ගැනීමට ඇති අවශ්‍යතාව පිළිබඳව එකඟ වුණා."

නමුත් 61 හැවිරිදි බ්ලින්කන් මහතා පැවසුවේ, තමා චීනය දෙස "විවෘත ඇසකින් බැලූ" බව ත් "අපි ගැඹුරින්, තද බල ලෙස පවා එකඟ නොවන" බොහෝ ගැටලු ඇති බව ය.

ට්‍රම්ප් යුගයේ සිදුවූ වෙළෙඳ යුද්ධයක නැගීම, තායිවානය පිළිබඳ බීජිංහි ස්ථාවරය නොවෙනස් වනසුලු ප්‍රකාශ සහ මෙම වසර මුලදී එක්සත් ජනපදයේ ඔත්තු බැලීමට යෙදවූ බව කියන චීන බැලූනයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු බීජිං සහ වොෂින්ටනය අතර සබඳතා ශීඝ්‍රයෙන් කඩා වැටිණි.

බ්ලින්කන්ගේ සංචාරය වසර පහකට පමණ පසු ඉහළ පෙළේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් සිදු කරන ලද පළමු සංචාරය යි.

ඔහු සහ ෂී මහතා අතර පැවති සාකච්ඡාවලදී රුසියාවේ යුක්රේන යුද්ධය, අමෙරිකාවේ ෆෙන්ටැනයිල් අර්බුදය, තායිවානය, උතුරු කොරියාව සහ චීනය විසින් සිදු කරන ලද බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව අවධානයට ලක් වුණු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ස්ථිරසාර විසඳුමක් නොලැබුණ ද, දෙරට අතර සබඳතා ධනාත්මක දිශාවකට ගමන් කරනු ඇතැයි ෂී මහතා ඉඟි පළ කළේ ය.

"දෙපාර්ශවය ප්‍රගතියක් ලබා ඇති අතර යම් නිශ්චිත කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට ද පැමිණ ඇත," යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඔහුගේ ප්‍රකාශවල පිටපතක සඳහන් වී ඇත. "මේක ඉතා හොඳ තත්ත්වයක්."

ෂී සමග පැවති හමුව බ්ලින්කන් පෙර සැලසුම් කළ පරිදි සිදු නොවූ අතර එය සිදු වන බව නිවේදනය කළේ, ඊට පැයකට පමණ පෙර ය.

කෙසේ වෙතත්, විශේෂයෙන් මයික්‍රොසොෆ්ට්හි සම-නිර්මාතෘ බිල් ගේට්ස් මෙම සතිය මුලදී බීජිංහිදී ෂී මහතා හමුවී තිබියදී ත් [ෂී සහ බ්ලිකන් අතර] හමුව සිදු නොවුණි නම්, එය අවඥාසහගත ක්‍රියාවක් ලෙස බොහෝ දෙනෙකු සැලකීමට ඉඩ තිබිණි.

ඒ වෙනුවට, අමෙරිකානුවන්ට ලේකම්වරයාගේ සංචාරය, චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන වැන්ග් යී සහ විදේශ අමාත්‍ය චින් ගැන්ග් සමග පැවති හමුවීම ද ඇතුළුව, මාස ගණනක් පුරාවට පැවති දැඩි සබඳතාවලින් පසු චීන රජය සමග සාර්ථකව නැවත සම්බන්ධවීමක් ලෙස පෙන්වා දිය හැකි වනු ඇත.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ වොෂින්ටනයේ නිලධාරීන් පවසා ඇත්තේ, ඔවුන් චීන ජාතිකයින් සලකන්නේ ප්‍රතිවාදීන් සහ තරගකරුවන් ලෙස මිස විරුද්ධවාදීන් ලෙස නොවන බව ය. කෙසේ වෙතත්, දෙරට අතර පවතින තරගය මිලිටරි වශයෙන් සහ ආර්ථික වශයෙන් උණුසුම් වන බැවින් එය අභියෝගාත්මක ය.

ෂී මහතාට අවශ්‍ය වූයේ, මෙම හමුව මගින් තම රජය එක්සත් ජනපදය සමග සක්‍රියව කටයුතු කරන්නේ යැයි යන පණිවිඩය ද චීන ජනතාවට ලබා දීමට ය.

තායිවානය යනු, දෙරට අතර මතභේදයට තුඩු දෙන විශාලතම ප්‍රදේශය වන අතර ඒ ඔස්සේ පවතින නොරිස්සුම් තත්ත්වය උත්සන්න වීමේ වැඩි ඉඩකඩක් පවතියි.

ස්වයං-පාලනයක් සහිත තායිවානය තම රටින් වෙන් වී ගිය පළාතක් ලෙස චීනය දකින අතර ෂී මහතා සිය නිල කාලය තුළ තායිවානය බීජිං පාලනය යටතට ගෙන ඒමට අපේක්ෂා කරන බවට අඟවා තිබේ.

කෙසේ වෙතත්, තමන්ගේ ම ව්‍යවස්ථාවක් සහ සහ රාජ්‍ය නායකයින් සිටින තායිවානය තමන් චීනයෙන් වෙන් වූ රාජ්‍යයක් ලෙස සලකයි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය වසරේ ප්‍රකාශ කළේ, චීනයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් එක්සත් ජනපදය තායිවානය ආරක්ෂා කරන බව ය. එය චීනය විසින් හෙළා දකින ලදී.

නමුත් සඳුදා බ්ලින්කන් නැවතත් අවධාරණය කළේ, වොෂින්ටනය තායිවානයේ ස්වාධීනත්වයට සහය නොදක්වන බව ත්, එක්සත් ජනපදය "ආර්ථික වශයෙන් ඔවුන්ව [චීනය] මැඩපැවැත්වීමට උත්සහ කරනවා" යන චීනයේ මතය "නිවැරදි කිරීමට" තමන් අපේක්ෂා කරන බව ත් ය.

චීනය ද යම් සහතිකයක් ලබා දුන් බව ඔහු පැවසීය. යුක්රේනයේ භාවිත කිරීම සඳහා රුසියාවට යුද්ධ ආධාර ලබා නොදෙන බවට චීනය නැවත ත් අවධාරණය කළ නමුත්, රුසියානු හමුදා වෙත ආධාර කරන පෞද්ගලික චීන සමාගම් පිළිබඳව බ්ලින්කන් සිය කනස්සල්ල පළ කළේ ය.

කෙසේ වෙතත්, සාකච්ඡාවල ප්‍රධාන අරමුණක් වූ දෙරටේ හමුදා අතර සන්නිවේදන කටයුතු නැවත ආරම්භ කිරීමේ එක්සත් ජනපද යෝජනාවක් චීනය ප්‍රතික්ෂේප කළේ ය.

අපේක්ෂා කළ පරිදි සංචාරයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගැනීමට නොහැකි වුව ද සිය ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් කරමින් බ්ලින්කන් පැවසුවේ, එය අනාගතයේදී වඩා ප්‍රතිඵලදායි සාකච්ඡා සඳහා සංඥාවක් නිකුත් කළ බවට තමන් බලාපොරොත්තු වූ බව ය.

"ප්‍රගතියක් අත් කර ගන්න එක අමාරු වැඩක්. ඒකට කාලයක් ගත වෙනවා. ඒක, එක හමුවකින්, එක සංචාරයකින්, එක සංවාදයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි," ඔහු පැවසීය.