මුස්ලිම් සිසුවාට පහරදෙන්නැ යි අනෙක් සිසුන්ට පැවසූ ගුරුවරිය විමර්ශනයට

හත් හැවිරිදි මුස්ලිම් සිසුවෙකුට කම්මුල් පහර දෙන්නැ යි පාසැල් ගුරුවරියක එම පන්තියේ අනෙකුත් සිසුන්ට පවසනු දැක්වෙන වීඩියෝවක් ඉන්දීය පොලිසිය විසින් විමර්ශනයට ලක්වෙමින් පවතියි.

කම්මුල් පහර ලබන දරුවා හඬන අයුරු වීඩියෝවේ දැක්වෙයි. ඔහුට පහරදෙන්නැ යි ගුරුවරිය ඉල්ලා ඇත්තේ දරුවාට ගුණන වගු වැරදීම නිසාබව කියැවෙයි.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ වෛරල් වූ අතර, මහත් කැළඹීමකට සහ හෙළාදැකීමකට මුල්විය.

ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල ගාන්ධි, ආගමික අසහනයට පිදුරු දැමීම පිළිබඳව රජයට දොස් පැවරීය.

මෙම පහරදීම සිදුවී ඇත්තේ, පසුගිය බ්‍රහස්පතින්දා (අගෝ 24) ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි පිහිටි පෞද්ගලික පාසැලක දී ය.

"ඇයි ඔයාලා එයාට ඔච්චර හෙමින් ගහන්නේ? හයියෙන් ගහන්න," පහර කෑ දරුවා හඬමින් සිටිද්දී ගුරුවරිය අනෙකුත් දරුවන්ට පවසනු ඇසෙයි.

"එයාගෙ ඉණ හරියට ගහන්න... එයාගෙ මූණ රතු වීගෙන එනවා, ඒ වෙනුවට ඉණ හරියට ගහන්න," ඇය වැඩිදුරටත් පවසයි.

මෙම වීඩියෝව සත්‍යබව තහවුරු කළ ඉන්දීය බලධාරීන්, ඔවුන් ඒ පිළිබඳ පියවරක් ගන්නාබව පැවසීය.

මෙම සිදුවීම මුසාෆර්නගර් දිස්ත්‍රික්කයේ පොලිසියට වාර්තා කළ දරුවාගේ පියා, දරුවා පාසැලෙන් ඉවත්කර ගෙන තිබේ. නමුත් ඔහු පැමිණිලි ගොනුකර නැත.

අගමැති නරේන්ද්‍ර මෝදි 2014 වර්ෂයේ දී ධුරයට පත්වීමෙන් අනතුරුව, ඉන්දියාවේ විශාල මුස්ලිම් සුළුතරයට එරෙහිව සිදුවන වෛරී ක්‍රියාවන් සහ ප්‍රචණ්ඩත්වය ඉහළගොස් ඇතැ යි මානව හිමිකම් කණ්ඩායම් අනතුරු අඟවා ඇත.

2017 වර්ෂයේ සිට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය පාලනය කරන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) යි.

ඉන්දියාව පුරාවට දැනී ඇති ආගමික ආතතීන්ට එම පක්ෂය දායක වූ බව ගාන්ධි පැවසීය.

"අහිංසක දරුවන්ගෙ හිත්වල වෙනස්කම් කිරීමේ විෂ වපුරමින්, පාසැල වැනි පූජනීය ස්ථානයක් වෛරයේ වෙළඳපොළක්බවට හරවනවා," ඔහු X සමාජ මාධ්‍ය ජාලයෙහි (පෙරදී 'ට්විටර්' යනුවෙන් හැඳින්වුණු) පළකළේ ය.

"ඉන්දියාවේ හැම අස්සක් මුල්ලක්ම ගිනි තියලා තියෙන්නේ BJP එක ඉහපු මේ ඉන්ධනවලින්."

ජූනි මාසයේ දී එක්සත් ජනපදයට යෙදුනු චාරිකාවක් අතරතුර දී, ඉන්දියාව තුළ "වෙනස්කොට සැලකීමට කිසිම ඉඩක් නැතැ"යි මෝදි මාධ්‍යවේදීන්ට පැවසීය.