ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මනිපූර් ප්‍රචණ්ඩත්වය: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
- Author, මෙරිල් සෙබෙස්තියන්
- Role, බීබීසී, කෝචි
මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විපක්ෂය සමග ඇතිවී තිබෙන ගැටුම මධ්‍යයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සිදුවනු ඇත.
විපක්ෂ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බදාදා (ජූලි 26) විශ්වාසභංග යෝජනාවක් සභාගත කළේ ය.
මෝදිගේ පක්ෂය සහ මිත්‍ර පක්ෂවලට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් පවතින හෙයින් ඔහුගේ රජය මෙම ඡන්ද විමසුමෙන් පරාජයට පත් නොවනු ඇත.
එහෙත්, විපක්ෂ නායකයින් පවසන්නේ, මෙම ක්‍රියාවලිය හරහා මනිපූර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව කතා කිරීමට අග්‍රාමාත්‍ය මෝදිට බල කෙරෙනු ඇති බව ය.
බහුතර මෙයිති ප්‍රජාව සහ ගෝත්‍රික කුකී සුළුතරය අතර මැයි මාසයේ දී ප්‍රාන්තය තුළ ඇති වූ වාර්ගික ගැටුම් පිළිබඳව ඔහු පාර්ලිමේන්තුව ඇමතිය යුතු බවට ඔවුන් බලකර ඇත.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තව ත් දසදහස් ගණනක් අවතැන් වී සිටිති.
පසුගිය සතියේ දී, මැර පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර මාර්ගයක රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ලෝක ප්‍රජාවගේ ප්‍රකෝපයට සහ හෙළා දැකීමට ලක්විය.
එමඟින් මනිපූර් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය නිශ්ශබ්දතාව බිඳ දැමීමට මෝදිට බල කෙරුණු අතර, මෙම සිද්ධිය "ඉන්දියාව ලැජ්ජාවට පත් කර ඇති" බව ත්, මැර පිරිසට ගැලවීමක් නොමැති බව ත් ඔහු පැවසුවේ ය.
එනමුත්, ප්‍රචණ්ඩත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට රජය සූදානමින් සිටි අතර විපක්ෂය එය වැළැක්වූ බවට ෆෙඩරල් ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ සතිය මුල දී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාව හමුවේ චෝදනා කළේ ය.
2014 වසරේ බලයට පත්වීමෙන් පසු මෝදිගේ රජය විශ්වාසභංග යෝජනාවකට මුහුණ දෙන දෙවන අවස්ථාව මෙය යි. 2018 වසරේ දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශේෂ වර්ගීකරණ තත්ත්වයක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු (නීති සම්පාදකයෙකු) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. පැය 12ක් පුරා පැවති විවාදයකින් පසුව එය පරාජයට පත් විය.
විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ ලෝක් සභාවට පමණක් වන අතර, එය භාරගනු ලබන්නේ, අවම වශයෙන් මන්ත්‍රීවරුන් 50 දෙනෙකු ඊට සහය පළ කරන්නේ නම් පමණි. එය භාර ගැනීමෙන් පසු දින 10ක් තුළ කතානායකවරයා විසින් ඡන්ද විමසීමේ දිනය නිවේදනය කරනු ලබ යි. බහුතරය ඔප්පු කිරීමට ආණ්ඩුවට නොහැකි වුවහොත්, එයට ඉල්ලා අස්වීමට සිදුවෙයි.
බදාදා දිනයේ දී, කොන්ග්‍රස් පක්ෂයේ සහ භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෝසම් දෙකක් ඉදිරිපත් කරනු ලැබූ අතර, පළමුවැන්න පිළිගනු ලැබී ය.
කතානායක ඕම් බිර්ලා ප්‍රකාශ කළේ, සර්ව පාක්ෂික නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු විවාදයට සහ ඡන්ද විමසීමට දිනයක් ප්‍රකාශයට පත් කරන බව ය.
"ඡන්ද ගණන ගැන සලකා බැලුවොත් අපට වාසිසහගත නැති බව අපි දන්නවා," විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන මනෝජ් කේ. ජා බදාදා පැවසීය. "මේක ඡන්ද ගණන බලාගෙන ගේන විශ්වාසභංගයක් නෙවෙයි. විශ්වාසභංග යෝජනාව ගෙනාවා ම අගමැතිට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව ඇතුළෙදි මේ ගැන කතා කරන්න."
"විශ්වාසභංග යෝජනාවක් ගේන්න විපක්ෂයට සිද්ධ වුණේ, ඔවුන්ගේ අන්තිම තුරුම්පුව (ආයුධය) ඒක නිසා යි," කොංග්‍රස් නායක මාණිකම් තාගෝර් පැවසීය.