ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මනිපූර් ගැටුමේ ගින්නෙන් දැවෙන කාන්තාවෝ
- Author, දිව්‍යා ආර්යා
- Role, බීබීසී ලෝක සේවය, මනිපූර්
ඊසාන දිග ඉන්දියාවේ පිහිටි මනිපූර් ප්‍රාන්තයේ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ අලුත් චෝදනා ඉදිරිපත් වන අතර, මැර පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර මාර්ගයක රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවකට ප්‍රතිචාර වශයෙන් අන් අයට හඬක් නැගීමට පෙළඹවීමක් ඇති වී තිබේ.
අවවාදයයි: ඇතැම් පාඨකයින් සංවේගයට පත් විය හැකි විස්තර මෙම ලිපියෙහි අන්තර්ගත විය හැක.
කුකී ප්‍රජාවට අයත් කාන්තාවක වූ මේරිට (ඇයගේ සැබෑ නම නොවේ) මාස දෙකකට අධික කාලයක් තිස්සේ පොලිසියට යාමට ධෛර්යයක් ඇති කර ගත නොහැකිව සිටියේ ය.
ඇගේ 18 හැවිරිදි දියණිය ඔවුන්ගේ නිවසින් පිටතදී පැහැරගෙන ගොස් රැයක් පුරා සමූහ දූෂණයට ලක් කර දරුණු ලෙස පහර දී නිවසේ දොරකඩ දමා ගොස් තිබිණි.
පුද්ගලයින් 130 දෙනෙකුට මරු කැඳවූ මැයි මාසයේ ඇරඹුණු මනිපූර්හි මෙයිති සහ කුකී ප්‍රජාවන් අතර ජනවාර්ගික ගැටුම්වලින් පසු ඔවුන් ජීවත් වූ සහන කඳවුරෙන් පිටතදී මා ඇයව මුණගැසුණු විට "ඒ ගැන කතා කළොත් මගේ දුව මරල දානවා කියලා තර්ජනය කළා," යැයි මේරි මට පැවසුවාය.
පසුව යම් වෙනසක් සිදුවී තිබේ.
කුකී කාන්තාවන් දෙදෙනෙකු මැර පිරිසක් විසින් නිරුවතින් මාර්ගයේ රැගෙන යනු ලබන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය.
එමගින්, පුළුල්ව පැතිරී ගිය කෝපය සහ හෙළාදැකීම්, පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තුඩු දුන්නේ ය.
මේරිට පොලිස් පැමිණිල්ලක් කිරීමට මෙම සිද්ධිය හරහා පෙළඹවීමක් ඇති විය.
"මේ දේ ඒ වෙලාවෙ මම නොකළොත්, මට ආයෙත් ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැති බව මට හිතුණා," ඇය පැවසීය. "මගේ දුවට අපරාධයක් කරපු අයට දඬුවම් කරන්න උත්සහයක්වත් නොගත්තොත් මට හැම දා ම දුක් වෙන්න වෙයි."
මේරි පවසන්නේ, තම දියණිය සියදිවි නසා ගන්නා බව පවසන නමුත්, ඇයට තවමත් ඇගේ ජීවිතයෙන් යමක් කළ හැකි බව තමන් ඇයට ඒත්තු ගන්වන බව ඇය පැවසීය.
තමාට ද එවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට 19 හැවිරිදි චීන් සියැන්චිං බියට පත්වී සිටින්නී ය.
ඇය සහ ඇගේ මිතුරිය කුකී ප්‍රජාවට අයත් බව වෙන්කර හඳුනාගෙන තිබූ අතර, ප්‍රාන්ත අගනුවර වන ඉම්ෆාල්හි හෙද අධ්‍යාපනය හදාරමින් සිටියදී ඔවුන් වාසය කළ නේවාසිකාගාරය තුළදී ප්‍රහාරයකට ලක්වූ බව ඇය පවසයි.
"උඹලගෙ මිනිස්සු අපේ ගෑනු දූෂණය කළ නිසා දැන් අපි උඹලාටත් ඒක ම කරන්නම් කියලා මැර කල්ලිය අපි හැංගිලා හිටපු කාමරේ දොරට ගහන්න ගත්තා," ඇය කියයි.
ඇය තම මවට කතා කළේ, ඇය තමාට කතා කරන අවසාන අවස්ථාව මෙය විය හැකි බව පැවසීමට ය. මිනිත්තු කිහිපයකට පසු තරුණියන් දෙදෙනා පාරට ඇදගෙන ගොස් සිහිසුන් වන තුරු පහර දී තිබිණි - සියැන්චිං සිතන්නේ ඔවුන් මිය ගිය බව සිතා ඔවුන් පලා ගිය බව ය.
ඔවුන්ගේ සිරුරු සොයා ගත් පොලිසිය ඔවුන් ජීවතුන් අතර සිටින බව දැන ගත්තේ, ඔවුන්ගේ නාඩි පරීක්ෂා කිරීමෙන් පසුව ය.
ගෞරවය සහ නින්දාව
කුකී පිරිමින් විසින් මෙයිති කාන්තාවන්ට ලිංගික අතවර කරන ලද බවට තහවුරු නොකළ වාර්තා ගැන කියමින්, චීන් සහ ඇගේ මිතුරියට එරෙහිව මෙයිති ප්‍රජාවට අයත් මෙම මැර කල්ලිය ප්‍රකෝප කරවීමක් කර තිබිණි.
ගැටුම් ඇවිළීමෙන් පසු විරසකය ඉක්මනින් පුළුල් වූ අතර, ඊට පෙර එකිනෙකා සමග ජීවත් වූ ප්‍රජාවන් දෙකක් සම්පූර්ණයෙන් ම වෙන් විය. මේ ප්‍රජාවන් දෙකේ ම දැන් ගම්වලට ඇතුළු වන ස්ථානවල බාධක ඇති අතර රාත්‍රිය පුරා දිගින් දිගට ම ගැටුම් වාර්තා වේ.
එහෙත්, කුකී කාන්තාවන් දෙදෙනා නිරුවතින් පාරේ ගෙන යන වීඩියෝ පටය සම්බන්ධයෙන් මෙයිති කාන්තාවෝ ද විරෝධය පළ කළහ.
මනිපූර්හි සිවිල් සමාජය තුළ ප්‍රබල භූමිකාවක් ඉටු කරන කාන්තාවන්ගේ දිගුකාලීනව පැවත එන සම්ප්රදායක් තිබේ. ඔවුන් අතරින් Meira Peibis හෙවත් ආලෝක පන්දම් දරන්නන් - මනිපූර්හි මව්වරුන් ලෙසද හැඳින්වෙන - ඔවුන් රාජ්‍යයේ සහ හමුදාවේ බලය අනිසි ලෙස භාවිත කිරීම සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව විරෝධය පළ කර ඇත.
වීඩියෝවේ දක්නට ලැබෙන කුකී කාන්තාවන් දෙදෙනාට පහර දුන් ගම්මාන සමූහයක Meira Peibis කණ්ඩායම මෙහෙයවන සීනම් ස්වර්ණලතා ලෙයිමා පවසන්නේ, ගම්වාසීන් විසින් ම ප්‍රධාන සැකකරු පොලිසියට භාර දෙනු ලැබූ බව ය.
පසුව Meira Peibis කණ්ඩායමේ ප්‍රාදේශීය සාමාජිකයින් එක්ව ඔහුගේ නිවසට ගිනි තැබූහ.
"ගිනි තිබ්බ එකේ තේරුම තමයි ඔවුන් කරපු සාහසික අපරාධය ප්‍රජාව විසින් හෙළා දැක්ක කියන එකේ සංකේතය. ඔවුන්ගේ ක්‍රියාවන්ට මෙයිති ප්‍රජාවගේ ගෞරවය කැළැල් කරන්න බෑ," ලෙයිමා පවසයි.
විත්තිකරුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ගම්මානයෙන් පිටුවහල් කර ඇත.
එහෙත් කාන්තාවන්ට උසස් ලෙස සලකන සමාජයක මැර කල්ලියක් එසේ ක්‍රියා කළේ ඇයි?
"ඒක කුකී පිරිමින්ගේ ප්‍රහාරයට ලක් වූ මෙයිති කාන්තාවන් වෙනුවෙන් ශෝකය පළ කිරීමක් සහ පළිගැනීමක්," ලීමා හේතු දක්වයි.
ඇය එවැනි ප්‍රහාර කිසිවක් පෞද්ගලිකව නොදන්නා නමුත්, මෙයිති කාන්තාවන් පවසන්නේ, එය නින්දාසහගත ක්‍රියාවක් ලෙස සලකන හෙයින් එවැනි අපරාධයක් ගැන කතා නොකරන බව ය.
ගැටුම් ආරම්භ වූ මුල් කාලයේදී ප්‍රාන්ත පොලිසිය පැවසුවේ, මෙයිති කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා ලැබී නොමැති නමුත් මෙයිති ප්‍රජාවේ ප්‍රකාශකයෙකු මට පැවසුවේ, වාර්තා නොවූ ප්‍රහාර රාශියක් ඇති බව ය.
"අපේ කාන්තාවන් තමන් මුහුණ දුන් මානව හිමිකම් කඩවීම් ගැන විවෘතව කතා කිරීමෙන් හෝ පොලිසියට පැමිණිලි කිරීමෙන් ඔවුන්ගේ ගෞරවය නැති කර ගැනීමට කැමති නැතැයි," කොකොමි නමැති මෙයිති සංවිධානයට අයත් කුරයිජාම් ඇතෝබා පවසයි.
ඔහුගේ මතය අනුව ලිංගික ප්‍රචණ්ඩත්වයට වඩා, ඝාතන සහ අවතැන් වූවන් පිළිබඳ ප්රශ්නය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
යුක්තිය
වීඩියෝව තුළ පාර දිගේ රැගෙන ගිය කුකී කාන්තාවකගේ සොහොයුරා මේ හැම ප්‍රශ්නයකින් ම පීඩා විඳිමින් සිටී.
ඔහුගේ සොහොයුරිය නිරුවත් කර ලිංගික අතවර කළ කල්ලිය ඔවුන්ගේ පියා සහ බාල සොහොයුරා ද මරා දැමූහ - ඔහු සහ මව ගැටුම් පැවති අවස්ථාවේ වෙනත් ගමක වෙසෙන පවුලක් මුණ ගැසීමට ගොස් සිටි හෙයින් බේරී තිබිණි.
23 හැවිරිදි මෙම පුද්ගලයා ඔහුගේ ඥාතියෙකුගේ නිවසක කුඩා කාමරයකදී මට මුණගැසෙන විට බොහෝවිට හිස් බැල්මකින් සිටියේ ය.
රජය සහ පොලිසිය කුමන ක්‍රියාමාර්ගයක් ගන්නවාට ඔහු කැමති දැයි මම ඔහුගෙන් අසමි.
"ඒ මැර කල්ලියෙ ඔක්කොම අත්අඩංගුවට ගන්න, විශේෂයෙන් මගේ තාත්තාව යි මල්ලිව යි මරලා දාපු අය," ඔහු පවසයි.
"ඒ වගේ ම ප්‍රජාවන් දෙකට ම සාධාරණව සලකන්න."
ප්‍රජාවන් දෙකෙහි ම ෆෙඩරල් සහ ප්‍රාන්ත රජය කෙරෙහි විශ්වාසය අඩු බව දක්නට ලැබේ.
මෙයිති ප්‍රජාවට අයත් මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එන්. බිරෙන් සිං පොරොන්දු වූයේ, "චූදිතයන්ට මරණීය දණ්ඩනය ඇතුළුව දරුණුතම දඬුවම්" ලබා දෙන බවට ය. එහෙත් ගැටුම විසඳීමට අසමත් වීම නිසා ඉල්ලා අස්වන ලෙස කරන ලද බල කිරීම් ගැන විමසූ විට, ඔහු පැවසුවේ, "මේ ප්රශ්නය නිසා මම යන්න ඕනේ නැහැ, මගේ කාර්යය ප්‍රාන්තයට සාමය ගෙන ඒම සහ වැරදිකරුවන්ට දඬුවම් කිරීම යි," යනුවෙනි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම ගැටුම සම්බන්ධයෙන් සිය නිශ්ශබ්දතාව බිඳ දැමුවේ, කාන්තාවන් දෙදෙනාගේ වීඩියෝව ජාතිය ප්‍රකෝප කිරීමෙන් පසුව ය.
"මනිපූර්හි දියණියන්ට වූ දේට කිසිදා සමාවක් දිය නොහැකි යි," ඔහු එසේ කියා සිටියේ කිසිදු වරදකරුවෙකු ඉතිරි නොකරණ බව ද අවධාරණය කරමිනි.
එහෙත්, ලෙයිමාට අනුව, අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මගින් ඇගේ ප්‍රජාව අනිසි වර්ණයකින් පින්තාරු කළ අතර 60,000 ක ජනතාවක් අවතැන් කිරීමට හේතු වූ මැයි මාසයේ සිට පැතිර ගිය ප්රචණ්ඩත්වය නොසලකා හැර තිබිණි.
"කුකී කාන්තාවන්ට පහර දුන් විට අගමැති කතා කළා. අපි මුහුණ දී ඇති සියලු දේ ගැන මොනවා ද කියන්නේ?, අපි මෙයිති කාන්තාවන් ඉන්දියාවේ පුරවැසියන් නොවේ ද?" ඇය අසයි.
එම වීඩියෝව අඛණ්ඩව පවතින මනිපූර් ගැටුමේ ස්ථානීය ආලෝකයක් බවට පත්ව තිබේ.
"මේ වීඩියෝව තිබුණේ නැත්නම්, අපට රජයෙන් සහ අනෙකුත් දේශපාලන පක්ෂවලින් මෙතරම් අවධානයක් ලැබෙන එකක් නෑ," යනුවෙන් හෙද ශිෂ්‍යාවක වන චීන් සියැන්චිං මෙන් ම, ගැටුම්වලට ගොදුරු වූවන්ට සහය දක්වන පර්යේෂකයෙකු වන ග්‍රේසි හඕකිප් පවසයි.
තම ජීවිතය යළි ගොඩනගා ගැනීමට උත්සහ කිරීමේදී ධෛර්ය සම්පන්නව තම අත්දැකීම් බෙදා ගත් දිවි ගලවා ගත් අයට එය උපකාර වන බව ඇය පවසයි.
ඇය තම ප්‍රදේශයේ පිහිටි වෙනත් හෙද ආයතනයකට ඇතුළත් වූ බව පැවසූ අවස්ථාවේ, ඇය තම ප්‍රජාවේ කාන්තාවන්ට කළ කතාව ගැන චීන් මට පවසයි.
"දෙවියන් වහන්සේ මාව ජීවතුන් අතර තිබ්බේ හේතුවක් ඇතිව බව මගේ මව මට පැවසුවා, එබැවින් මම මගේ සිහින අත් නොහරින්න තීරණය කළා."