ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දුනීසියානු විශ්ව රූ රැජිණ: ලිංගික අපයෝජන සිදු වූ බවට තරගකාරියන්ගෙන් චෝදනා
- Author, ජොයෙල් ගුයින්ටෝ සහ පීජර් අනුගරාහ්
- Role, සිංගප්පූරුව සහ ජකර්තා සිට
ඉන්දුනීසියාවේ විශ්ව රූ රැජිණ තරගයට සහභාගි වූ තරගකාරියන් කිහිප දෙනෙකු විසින් ලිංගික අපයෝජනයට ලක්වූ බවට චෝදනා කරමින් එහි සංවිධායකයින්ට එරෙහිව පොලිසියට පැමිණිලි කරනු ලැබ තිබේ.
අගෝස්තු 3 වන දා අවසන් මහා තරගයට දින දෙකකට පෙර "ශරීරය පරීක්‍ෂා කිරීම සඳහා" සහ ඡායාරූප ගැනීම සඳහා තමන්ගේ උඩුකය නිරුවත් කරන ලෙස ඔවුන් තරගකාරියන්ගෙන් ඉල්ලා ඇතැයි ඔවුන්ගේ නීතීඥවරයෙක් පැවසීය.
"ඔවුන්ගේ ශරීරවල ලප, කැළැල්, හෝ පච්ච ඇති දැයි පරීක්ෂා කළ යුතු" බවට සංවිධායකයින් එම කාන්තාවන්ට දැනුම් දී ඇති බව පැවසේ.
"මගේ අයිතිවාසිකම් කඩ වෙලා කියලා මට හැඟෙනවා," එක් තරගකාරියක් පැවසුවා ය.
"මට ඒක මානසිකව බලපෑවා. නිදාගන්න පවා මට අපහසු වුණා," යැයි ඇය පැවසුවේ, මෙම සතිය මුලදී අනෙකුත් පැමිණිලිකරුවන් සමග මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. දේශීය රූපවාහිනී නාලිකා ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා මුහුණු බොඳ කර ඒවා විකාශය කළේ ය.
පැමිණිලි ගොනු කළ තරගකාරියන් තිදෙනෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මෙලීසා අන්ග්‍රේණි පැවසුවේ, තවත් බොහෝ දෙනෙකු ඉදිරියට පැමිණෙනු ඇති බව ය.
ජකර්තා අගනුවර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔවුන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ය. ඉන්දුනීසියානු විශ්ව රූ රැජිණ සංවිධානය ද මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ප්‍රසිද්ධ ගායිකාවක සහ ව්‍යාපාරික කාන්තාවක වන එහි හිමිකාරිය, පෝපී කැපෙලා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා ය. ගෝලීය විශ්ව රූ රැජිණ සංවිධානය ද කියා සිටියේ, තමන් මේ පිළිබඳව සොයා බලන බව ත් ලිංගික අපයෝජන චෝදනා "ඉතා බැරෑරුම් ලෙස" සලකන බව ත් ය.
එරට තුළ ශරීර පරීක්ෂා සිදු කිරීම සාමාන්‍ය දෙයක් වන නමුත්, සාමාන්‍යයෙන් තරගකාරියන්ට නිරුවත් වන ලෙස ඉල්ලා නොසිටින බව ඉන්දුනීසියාවේ හිටපු රූ රැජිණ වන මරියා හර්ෆන්ටි පැවසුවා ය. ඇය පැවසුවේ, තරගකාරියන්ට උසට සරිලන බර ඇති ද යන්න පරීක්ෂා කිරීම සඳහා සංවිධායකයින් බොහෝ විට ඔවුන්ගෙන් ශරීර ස්කන්ධ දර්ශක ඉල්ලා සිටින බව ය.
සඳුදා පැවති මාධ්‍ය හමුවේදී එක් පැමිණිලිකාරියක කියා සිටියේ, ශරීර පරීක්ෂාව වැසූ කාමරයක් තුළ සිදු කළ නමුත් පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙකු ද එහි සිටි බව ය. එහි දොර සම්පූර්ණයෙන් ම වසා නොතිබුණු හෙයින් පිටත සිටි පිරිසට ද ඇතුළත සිදු වූ දෑ දර්ශන වූ බව ඇය වැඩිදුරට ත් පැවසුවා ය.
ඉන්දුනීසියාව තුළ රූප රාජිණියන් තේරීමේ තරග සඳහා බොහෝ කලක සිට අවසර දී ඇතත්, සමාජයේ ගතානුගතික කොටස්වල සිතුවිලිවලට හානි නොවන පරිදි කටයුතු කිරීමට සංවිධායකයින් සැලකිලිමත් වේ. මුස්ලිම් වැසියන් වැඩි වශයෙන් සිටින එරට 2013 වසරේදී පැවති ලෝක රූ රැජිණ තරගයේදී එහි බිකිනි ඇඳුමින් සැරසී තරග වැදීමේ වටය අවලංගු කෙරිණි.
73 වතාවක් පවත්වා ඇති විශ්ව රූ රැජිණ තරගය, ජයග්‍රාහකයින් ප්‍රසිද්ධ තාරකාවන් බවට සහ සමාජ මාධ්‍ය අභිප්‍රේරිකාවන් බවට පත් වන අග්නිදිග ආසියාවේ, විශේෂයෙන් ඉන්දුනීසියාව, පිලිපීනය සහ තායිලන්තයේ වැනි රටවල ජනප්‍රියත්වයක් උසුලයි.
තායි සංක්‍රාන්ති ලිංගික කාන්තාවක සහ මාධ්‍ය අධිපතිනියක වන එහි හිමිකාරිය, ඈන් ජැක්රජුටාටිප් විවාහක කාන්තාවන්ට, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සහ තනිකඩ මව්වරුන් ඇතුළු වැඩි පිරිසකට තරග කිරීමට ඉඩ සලසමින් ඒ තුළ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට උත්සහ කර ඇත.
පීජර් අනුගරාහ් ඉන්දුනීසියාවේ බීබීසී පුවත් සේවයේ වාර්තාකරුවෙකි