ග්‍රීසියේ බෝට්ටු අනතුරේ ඛේදවාචකය: 'මිනිස්සු ඇඳුම් වනමින් උදව් ඉල්ලලා කෑගැහුවා'

මුහම්මද් හම්සා නිවුණු සන්සුන් ඉරියව්වකින් සිටී. ඔහුගේ හඬෙහි කිසිදු හැඟීම්බර බවක් නැත. එය කම්පන තත්ත්වයක් විය හැකි නමුත්, 30 හැවිරිදි ඔහුට දිවි ගලවා ගැනීමට උපකාරී වූයේ, එය විය හැකි ය.
ලිබියානු වෙරළට ඔබ්බෙන් නැන්ගුරම් ලා තිබූ ධීවර යාත්‍රාවක් වෙත ජාවාරම්කරුවන් ඔහුව රැගෙන යද්දී ඔහු අසුරු සැණින් තීරණයක් ගත්තේ ය.
ඔහු යාත්‍රාවේ බඳ මත අසුන්ගෙන පසුපසට හිස පහත් කර දැහැනකට සම වැදී සිටියේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, පුද්ගලයින් 750 දෙනෙකු පමණ යාත්‍රාව තුළ සිර වී සිටි බව ය.
"කවුරුවත් මං ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ," ඔහු ග්‍රීසියේ අගනුවර වන ඇතන්ස්හිදී පැවසීය. ඒ, දිවි ගලවා ගත් සියලු දෙනා මුලින් රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීමෙන් පසු මාරු කර යැවූ ස්ථානයේ සිට ය.
ඔහු, සුන්බුන් වූ යාත්‍රාව මත සිට බේරා ගැනුණු පුද්ගලයින් 104 දෙනා අතර සිටි පකිස්තාන ජාතිකයින් 12 දෙනාගෙන් එක් අයෙකි. එම ධීවර යාත්‍රාව ජූනි 14 වන දා අලුයම් කාලයේ මධ්‍යධරණී මුහුදේදී මුහුදුබත් විය.
"බෝට්ටුවේ ඊජිප්තු සහ සිරියානු වැසියන් කිහිප දෙනෙක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් එක්ක හිටියා. මම තව ත් පකිස්තාන කට්ටියක් එක්ක මැද හරියේ හිටියේ. පකිස්තානයේ කට්ටිය ත් රැඳවුම් භාරයේ හිටියා," මුහම්මද් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Hellenic Coast Guard
ඔහු පවසන්නේ, යාත්‍රාවේ පකිස්තාන කාන්තාවන් කිසිවෙකුත් නොසිටි නමුත්, 10 හෝ 11 හැවිරිදි දරුවන් දෙදෙනෙකු දුටු බව ය. යාත්‍රාවේ උඩ කොටසේ පකිස්තාන වැසියන් 100 දෙනෙකු පමණ සිටි බවත් සෙසු පිරිස තට්ටුව යට සිටි බවත් ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙත ත්, ට්‍රෝලර් යාත්‍රාව මත සිටි පකිස්තාන වැසියන් සංඛ්‍යාව පිළිබඳ පරස්පර අදහස් තිබේ. පකිස්තාන වැසියන් 300ක් සිටි බව එරට බලධාරීන් පැවසුව ද, මුහම්මද් පවසන්නේ, එම සංඛ්‍යාව 350ක් බව ය.
"අපි (ලිබියාවේ සැඟවී සිටි ස්ථානය) කලින් හිටි ආරක්ෂිත ස්ථානයෙන් පිටත් වෙනකොට, අපි දන්නවා අපි එක්ක පකිස්තාන වැසියන් කී දෙනෙක් හිටියා ද කියලා.
"ඒත් අපි එක්ක සිරියාවේ සහ ඊජිප්තුවේ කට්ටිය කී දෙනෙක් හිටියා ද කියලා දන්නෙ නෑ.අපි අතරේ පකිස්තාන් කට්ටිය හරියට ම කී දෙනෙක් හිටියා ද කියලා අපි දැනගෙන හිටියා. ඒගොල්ලන්ගේ තැරැව්කාරයෝ කවුද කියල ත් අපි දැනගෙන හිටියා."
'පහර දී, වාඩි වී සිටින්නැයි බල කළා'
දිවි ගලවා ගත් බොහෝ අය සමග පොදුවේ, ඔහු මුහුදේ ගත කළ රාත්‍රී හය සහ දින පහ තුළ මුහුණ පෑ බිහිසුණු තත්ත්වයන් සහ දරුණු සැලකිලි ගැන ඔහු කතා කරයි.
"ඊජිප්තු සහ ලිබියානු වැසියන් අපට පහර දීලා ඉඳගෙන ඉන්න කියලා බල කළා," ඔහු පැවසීය.
"අපිට නැගිටින්න දුන්නේ නෑ. අපිට කකුල් දෙක දිග ඇර ගන්නවත් බැරි වුණා. එයාලා අපිට කතා කරන්නවත් දුන්නේ නැහැ."
ඔවුන්ගේ කෑමයි වතුරයි ඉවර වුණා. ඒ නිසා ඔවුන්ට සිදුවූයේ, මුහුදු වතුර පානය කිරීමට ය.
"වැකිසිළි තිබුණේ නැහැ. අපට මුත්‍රා පහ කරන්න වුණෙ ත් මුහුදට," ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහු පැවසුවේ, අවසන් දින තුනෙන් දෙකකදී ම, යාත්‍රාව මධ්‍යධරණී මුහුදේ කිලෝමීටර් 20-25ක් වන ප්‍රදේශයක් වටා පාවෙමින් තිබුණු බව ය.
යාත්‍රාව මුහුදුබත් වීමට පෙර පැය 24ක් ඇතුළත එම යාත්‍රාව ආසන්නයට නැව් තුනක් ළඟා වූ බව ඔහු පවසයි. ඔහු පැවසූ පරිදි පළමුවෙන් පැමිණි නෞකා දෙක "භාණ්ඩ ප්‍රවාහන නෞකා" වූ අතර ඉන් සරණාගතයින්ට ආහාර සහ ජලය ලැබිණි.
අදාළ නෞකා දෙක ධීවර යාත්‍රාව ආසන්නයට ළඟා වී ඇත්තේ, ජූනි 13 වන දා බව මුහුදු ගමනා ගමන දත්ත ඔස්සේ බීබීසී පුවත් සේවය අනාවරණය කර ගත්තේ ය.
එම නෞකාවල හිමිකරුවන් පැවසුවේ, අහාර සහ ජලය සපයන ලෙස ග්‍රීසියේ වෙරළාරක්ෂක භටයින් ඉල්ලීමක් කර තිබූ බව ය.
'උදව් ඉල්ලා කෑ ගැසීම'
අවසන් දිනය ගැන විස්තර කරද්දී මුහම්මද් එක් අවස්ථාවකදී පමණක් හැඟීම්බර විය.
"පීඩාවට පත් වෙලා හිටපු මිනිස්සු ටී-ෂර්ට් වනමින් උදව් ඉල්ලලා කෑ ගැහුවා," ඔහු පැවසීය.
ඔවුන් වෙත ළඟා වූ අවසන් නෞකාව ගැන විස්තර කීමට ඔහුට නොහැකි විය.
"ඒක වුණේ රෑ. ඒ නිසා මම දන්නෙ නෑ ඒ ගැන," ඔහු පැවසීය. "නැවේ ලොකු ලයිට් පත්තු වෙමින් තිබුණා."
"මම පිටිපස්සෙ ඉඳගෙන හිටියා. ඒ නැව තිබුණේ ඉස්සරහ. එතන හිටිය අය කිව්වා, නැවෙන් කඹ විසි කළා කියලා," ඔහු පැවසීය.
"මම ඉඳගෙන හිටියේ යාත්‍රාවේ දකුණු පැත්තට වෙන්න, යාත්‍රාව ගිලුණෙත් ඒ පැත්තෙන්. අපි ඉක්මනට පැන ගත්තා."
ග්‍රීක බලධාරීන් පවසන්නේ, බෝට්ටුව මුහුදුබත් වීමට පැය දෙකකට පෙර වෙරළාරක්ෂක භටයින් බෝට්ටුවට කඹයක් ගැට ගසා එමගින් යාත්‍රාව මතට ගොස් එහි තත්ත්වය පිරික්සීමට උත්සහ කළ බව ය.
කෙසේ වෙත ත්, ඉතාලිය බලා යාත්‍රා කිරීමට අවශ්‍ය වූ යාත්‍රාව මත සිටි සරණාගතයින් එම කඹය ඉවත් කිරීමට උත්සහ කළ බව බලධාරීහු පවසති.
බෝට්ටුව ගිලී ගිය පසු එය ඇදගෙන ගිය බවට හෝ එම අනතුරට වගකිව යුතු බවට එල්ල වන චෝදනා ග්‍රීක වෙරළාරක්ෂක බළකාය ප්‍රතික්ෂේප කර ඇත.
බෝට්ටුව ගිලීමට පැය භාගයකට පෙර එන්ජිම ක්‍රියා විරහිත වූ බවත්, බඳ කොටසේ සිටි මිනිසුන්ට කලබලයෙන් ඉහළ තට්ටුවට යාමට අවසර දුන් බවත් මුහම්මද් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එවිට ඔහු වතුරේ සිටියේය.
"අපේ නැව ගිලුණට පස්සේ භාණ්ඩ නැව් හතරක් පහක් පමණ ප්‍රදේශයේ තිබුණා," ඔහු පවසයි.
"ඔවුන් හතර පැත්තෙන් අපව වට කරා, නමුත් ඔවුන් යම් දුරකින් සිටියා. ළං වුණේ නැහැ. ඔවුන් අධීවේගී බෝට්ටුවක් යෙදෙව්වා."
"මම ඒ දිහාවට පිනමින් ඉද්දි ලීටර් එකහාමාරේ හිස් බෝතලයක් අල්ල ගත්තා. මම ඒක තද කරගෙනම අල්ලගෙන හිටියා."
"සිරියානු ජාතිකයෙක් සහ ඊජිප්තු ජාතිකයෙක් මට ඉදිරියෙන් සිටියා, ඔවුන්ට කුඩා ටියුබ් එකක් තිබුණා. ඔවුන් එක්ක එකතු වෙලා අපි පැය භාගයක් විනාඩි 40 ක් පීනුවා. ඊටපස්සේ අධීවේගී බෝට්ටුව ඇවිත් අපිව බේරා ගත්තා."
මුහම්මද් පකිස්තානයේ රැකියා විරහිතව සිටි අතර ඔහු වඩා හොඳ ජීවිතයක් සඳහා පිටත්ව ගිය බව පවසයි.
ඔහු තම ගමන සඳහා පකිස්තාන රුපියල් මිලියන 2.5 ක් (ඩොලර් 8,700) ගෙවා, කරච්චි සිට ඩුබායි දක්වා පියාසර කර, පසුව ඊජිප්තුවට ගොස් අවසානයේ ලිබියාවේ බෙන්ගාසි නගරයට ගොඩ බැස්සේය.
ඔහු මෙහි ජීවිතය ගත කිරීමට බලාපොරොත්තු වන අතර ඔහු පවසන්නේ පන්ජාබ්හි නගරයක් වන ගුජ්රන්වාලා හි තම පවුලේ අයට කතා කළ බවයි. ඔහු ජීවතුන් අතර නිසා එය ඔවුන්ගේ හිතට විශාල සහනයක් වී තිබේ.









