ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිජ් භූෂන් ශරන් සිං:ඉන්දියාවේ මල්ලවපොර ලොක්කාට ලිංගික අපයෝජන චෝදනා
- Author, ගීතා පාණ්ඩේ
- Role, බීබීසී පුවත්, දිල්ලි
ලිංගික අපයෝජන චෝදනා එල්ල කරමින් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මල්ලවපොර ක්‍රීඩකයින් විසින් මාස ගණනාවක් පුරා ක්‍රියාත්මක කරන ලද විරෝධතාවලින් පසුව, ධුරයෙන් ඉවත්ව යන එරට මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානියාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
රහසින් පසු පස හඹා යාම, වාචික හිංසනය, හිරිහැර කිරීම සහ බිය ගැන්වීම යන චෝදනා බ්‍රිජ් භූෂන් ශරන් සිං වෙත එල්ල වී ඇත.
පාලක භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු වන සිං එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
කෙසේ වෙතත්, බාලවයස්කරුවෙකු සම්බන්ධ චෝදනාවක් ඉවත් කිරීමට පොලිසිය නිර්දේශ කර ඇති අතර එම චෝදනාවට අනුව ඔහු අත්අඩංගුවට පත් වීමට ඉඩ තිබිණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව බාලවයස්කාරිය විසින් එල්ල කරන ලද චෝදනාවල "සනාථ කළ හැකි සාක්ෂි කිසිවක්" සොයාගත නොහැකි වූ බව පැමිණිල්ලේ නීතිඥවරයා බ්‍රහස්පතින්දා පැවසීය.
විශේෂයෙන් ම, දිල්ලි අගනුවර පිහිටා ඇති ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත විරෝධතා පාගමනක් යාමට තැත් කිරීමේදී මල්ලවපොර ක්‍රීඩකයින් පොලිසිය විසින් රඳවා තබා ගනු ලැබීමෙන් පසු මෙම විරෝධතා වෙත ගෝලීය වශයෙන් දැඩි අවධානයක් යොමු විය.
ඔලිම්පික් පදක්කම්ලාභීන් වන සක්ෂි මලික් සහ බජ්රංග් පුනියා සහ දෙවරක් ලෝක ශූරතාව දිනූ පදක්කම්ලාභී විනේෂ් ෆෝගාට් පාරේ ඇදගෙන ගොස් පොලිස් වෑන් රථවලින් රැගෙන යන අයුරු දැක්වෙන වෛරල් වූ වීඩියෝ ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ විපක්ෂ දේශපාලනඥයන්ගේ විවේචනයට තුඩු දුන්නේ ය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද මෙම මල්ලවපොර ක්‍රීඩකයින්ට සලකන ආකාරය හෙළා දැක ඇති අතර ඔවුන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
අප්‍රේල් මාසයේ සිට විරෝධතාවල නිරතව සිටි මල්ලවපොර ක්‍රීඩකයින් මේ මස මුලදී ස්වදේශ ආරක්ෂක කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ක්‍රීඩා අමාත්‍ය අනුරාග් ඨාකුර් හමුවීමෙන් පසු ඔවුන්ගේ විරෝධතා නවතා දැමීමට එකඟ විය.
ජූනි 15 වන දා වන විට සිංට එරෙහිව චෝදනා ගොනු කරන බවට ඨාකුර් ඔවුන්ට සහතික විය.
බාලවයස්කාරියක ඇතුළු කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් හත් දෙනෙකු, පුහුණු කඳවුරු සහ තරගාවලිවලදී තමන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම සහ අනිසි ලෙස ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් සිංට චෝදනා කරමින් පොලිසියට පැමිණිලි කර තිබිණි. බාලවයස්කරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිසිය විසින් දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කිරීමේ (Pocso) දැඩි පනත අනුගමනය කරනු ලැබ තිබේ.
සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති සිං , මල්ලවපොර ක්‍රීඩකයින් "දේශපාලන න්‍යාය පත්‍රයක් මගින් මෙහෙය වෙන" බවට චෝදනා කරන අතර මෑතකදී ප්‍රකාශ කළේ, තමාට එරෙහිව ඇති "එක් චෝදනාවක් හෝ ඔප්පු වුවහොත් තමන් එල්ලා මැරෙන" බවට ය.
බ්‍රහස්පතින්දා දිල්ලි පොලිසිය අධිකරණ දෙකක් වෙත වෙනස් ලේඛන දෙකක් ඉදිරිපත් කළේ ය. ඉන් එකක සමස්ත චෝදනා සම්බන්ධයෙන් ඔවුන් කළ විමර්ශනය පිළිබඳ විස්තර කෙරෙන පිටු 1,000කින් සමන්විත චෝදනා පත්‍රයක් සහ දෙවැන්නේ බාලවයස්කාර පැමිණිලිකරුගේ සිද්ධිය සම්බන්ධ කෙටි චෝදනා පත්‍රයක් විය
බ්‍රහස්පතින්දා දිල්ලි පොලිසිය අධිකරණ දෙකක් වෙත වෙනස් ලේඛන දෙකක් ඉදිරිපත් කළේ ය. ඉන් එකක සමස්ත චෝදනා සම්බන්ධයෙන් ඔවුන් කළ විමර්ශනය පිළිබඳ විස්තර කෙරෙන පිටු 1,000කින් සමන්විත චෝදනා පත්‍රයක් සහ දෙවැන්නේ බාලවයස්කාර පැමිණිලිකරුගේ සිද්ධිය සම්බන්ධ කෙටි චෝදනා පත්‍රයක් විය.
පසුගිය දින කිහිපය තුළ, මෙම බාලවයස්කාරිය සිය චෝදනා ඉල්ලා අස් කරගත් බව වාර්තා වී තිබුණේ, එම "චෝදනා ඉල්ලා අස්කර ගැනීමට බලපෑම් එල්ල වී ඇති බවට" පළවූ වාර්තා මධ්‍යයේ ය. සිං මේ, චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණේ "නීතියට කටයුතු කරන්න ඉඩ දෙන්න" යැයි පවසමිනි.නීති විශාරදයින් පවසන්නේ, එම නිර්දේශය පිළිගෙන නඩුව තවදුරට ත් පවත්වා ගෙන යනවා ද? නැද්ද? යන්න තීරණය කිරීම විනිසුරුවරයා සතු බව ය. නඩුව ජූලි 4 වන දා විභාගයට ගැනීමට නියමිත ය.
බ්‍රහස්පතින්දා, සිංට එරෙහි චෝදනා පිළිබඳ තොරතුරු හෙළි වීම ආරම්භ වූ අවස්ථාවේ නීති විශාරදයින් සහ විශ්ලේෂකයින් පැවසුවේ, ඒවායින් බොහොමයක් ඇප ලබා දිය හැකි වැරදි බව ය. එයින් අදහස් වන්නේ, සිං නොදුරේදී අත්අඩංගුවට ගැනීමක් නොවන බව ය.
මල්ලවපොර ක්‍රීඩකයෝ ජනවාරි මාසයේදී ඔවුන්ගේ පළමු විරෝධතාව පැවැත්වූ නමුත් ක්‍රීඩා අමාත්‍යංශය විසින් සිංගේ පරිපාලන බලතල ඉවත් කරනු ලැබීමෙන් පසුව සහ ඔවුන්ගේ පැමිණිලි විමර්ශනය කිරීමට රජය පොරොන්දු වීමෙන් පසුව එය අත්හිටුවීමට පියවර ගත්හ. කෙසේ වෙතත්, පසුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුහු සිය විරෝධතාව යළි ආරම්භ කළහ.
පසුගිය මාසයේදී ඔවුහු තම පදක්කම් ඉන්දියාවේ ශුද්ධ වූ ගංගාව වන ගංගා නදියට විසි කරන බවට තර්ජනය කළහ. එහෙත් ප්‍රබල ගොවි කණ්ඩායමක් වන භාරතීය කිසාන් සංගමයේ (BKU) නායකයෝ, සිං අත්අඩංගුවට නොගතහොත් රට පුරා විරෝධතා දියත් කරන බව පවසමින්, එසේ නොකරන ලෙස ඔවුන්ව පොළඹවා ගත්හ.
සිං ආණ්ඩු පක්ෂයේ සාමාජිකයෙකු බැවින් ඔහුට එරෙහිව දැඩි හෝ ඉක්මන් ක්‍රියා මාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විවේචනයට ලක්ව ඇත. රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බව පැවසීය.