සිල්වියෝ බර්ලුස්කෝනි අභාවය:ඉතාලි දේශපාලනයේ නොනැවතුණු ආකර්ෂණීය මිනිසා

Berlusconi smiled and gestures with an open palm in this close-up 2010 photo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බර්ලුස්කෝනි ඉතාලි ව්‍යාපාර, මාධ්‍ය සහ දේශපාලනය යන ක්ෂේත්‍ර තුළ කැපී පෙනෙන චරිතයක් විය

නොයෙක් අවුල්වලින් පිරි ඉතාලි දේශපාලන ලෝකයේ, සිල්වියෝ බර්ලුස්කෝනි යනු, අන් කිසිවෙකුට වඩා තම ව්‍යාපාර සහ සමාජ ජීවිතය ඒකාබද්ධ කරගත් මිනිසෙකු වන 'නූල් සූත්තරකාර දේශපාලනඥයෙකි.'

ඔහුගේ ආකර්ෂණීය පෞරුෂය ඉතාලි ඡන්දදායකයින්ගේ සිත් ඇදබැඳ ගත් අතර, ඔවුහු ඔහුට එරෙහිව නැගුණු දූෂණ සහ 'දෙපිටකාට්ටු ක්‍රියා' පිළිබඳ චෝදනා නොතකා සිය අඛණ්ඩ සහය ලබා දුන්හ.

ඔහු සිව් වතාවක් අගමැති ධුරයට පත් වුණු අතර, ඒ සෑම අවස්ථාවක ම ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් බව පෙනී ගියේ ය. කෙසේ වෙතත්, ඔහු තම විවේචකයන් ව්‍යාකූලත්වයට පත් කරමින් යළි සිය ගමන් මගට පැමිණීමට සමත් විය.

බදු වංචාවක් සම්බන්ධයෙන් රාජ්‍ය නිලතල තහනම් වී වසර නවයකට පසු, ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අතර 86 වන වියට පත් වීමට පෙර 2022 සැප්තැම්බර් මාසයේදී ඔහු ඉතාලියේ සෙනෙට් සභාවට තේරී පත් විය.

නමුත් බොහෝ විට ඔහුගේ පෞද්ගලික ජීවිතය එනම්, රූමත් තරුණියන් තමා වටා තබා ගැනීමට ඔහු තුළ වූ ඇල්ම සහ ඉන් පසුව විවිධ ලිංගික කටයුතු හේතුවෙන් ඇති වූ අපකීර්තිය ලොව පුරා පුවත් මවන සිදුවීම් විය.

වයස අවුරුදු 86දී අභාවප්‍රාප්ත වූ බර්ලුස්කෝනි කිසි දා දේශපාලනය අත් නොහරින ලද මාධ්‍ය අධිපතියෙකු, පාපන්දු සමාජයක හිමිකරුවෙකු සහ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු විය. ඔහු දශක ගණනාවක් පුරා ඉතාලියේ ප්‍රතිරූපය හැඩගැස්වීමට දායක විය.

මිලානීස් ධන කුවේරයා

සිල්වියෝ බර්ලුස්කෝනි 1936 සැප්තැම්බර් 29 වන දින මිලානෝහි මධ්‍යම පාන්තික පවුලකට දාව උපත ලැබීය. දෙවන ලෝක යුද්ධ සමයේදී ඔහු හැදී වැඩුණේ නගරයෙන් පිටත වූ ගමක ය.

ශිෂ්‍ය අවධියේ සිට ම ඔහු මුදල් ඉපැයීමේ හැකියාව පෙන්නුම් කළ අයෙකු විය. විශ්වවිද්‍යාලයේ නීතිය හදාරන අතරතුර, ඔහු ශිෂ්‍ය සංගීත කණ්ඩායමක ඩබල් බේස් වාදනය කළ අතර ගායකයෙකු ලෙස කීර්තියක් අත් කර ගනිමින්, රාත්‍රී සමාජශාලාවල සහ මගී ප්‍රවාහන නෞකාවල සේවය කළේ ය.

Silvio Berlusconi singing on board a cruise ship

ඡායාරූප මූලාශ්‍රය, Rex Features

ඡායාරූප ශීර්ෂ වැකිය, බර්ලුස්කෝනි කලක් මගී ප්‍රවාහන නෞකාවල ගායකයෙකු ලෙස කටයුතු කළේ ය

ව්‍යාපාර කටයුතු සඳහා වූ සහජ හැකියාව ඔහු මුල් වරට භාවිත කළේ, 'වැකියුම් ක්ලීනර්' වෙළෙන්දෙකු ලෙස සහ සිය සහෝදර සිසුන් වෙත නිබන්ධ ලියා අලෙවි කිරීම සඳහා ය.

උපාධිය ලැබීමෙන් පසු, ඔහු එඩිල්නෝර්ඩ් නමැති තමන්ගේ ම සමාගමක් ඔස්සේ මිලාන් නගරය අද්දර දැවැන්ත නිවාස සංකීර්ණයක් ඉදි කරමින් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඇතුළු විය. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලැබුණු ආකාරය අබිරහසක් විය.

1973 වසරේදී මෙම ව්‍යවසායකයා තම ගොඩනැගිලි සඳහා රූපවාහිනී සේවාවක් සැපයීමට 'Telemilano' නමින් දේශීය කේබල් රූපවාහිනී සමාගමක් ආරම්භ කළේ ය.

වසර හතරකට පසු ඔහුට තව ත් රූපවාහිනී ආයතන දෙකකට සහ මිලාන් නගරයේ මධ්‍යම කොටසේ පිහිටි චිත්‍රාගාරයකට හිමිකම් කීවේ ය. දශකය අවසන් වත් ම, ඔහු තම ව්‍යාපාර කොටස්වල වේගවත් ව්‍යාප්තිය කළමනාකරණය කිරීම සඳහා 'Fininvest' නම් පරිපාලක සමාගම නිර්මාණය කළේ ය.

අවසානයේදී, එය ඉතාලියේ විශාලතම මාධ්‍ය ආයතනය සහ එරට විශාලතම පෞද්ගලික රූපවාහිනී ආයතනවල හිමිකරු වන 'Mediaset' සමාගම සහ ඉතාලියේ විශාලතම ප්‍රකාශන ආයතනය වන 'Mondadori' සමාගම හිමි කර ගත්තේ ය.

අභාවය වන විට, ඔහු ඉතාලියේ ධනවත් ම පුද්ගලයින් අතරින් කෙනෙකු වූ අතර ඔහුගේ පවුල සතු ධනය ඩොලර් බිලියන ගණනකි. ඔහුගේ දරුවන් වන මරීනා, බාබරා, පියර් සිල්වියෝ, එලියෝනෝරා සහ ලුයිජි ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ පැවැත්ම තහවුරු කිරීමේ කටයුතුවල නියැළී සිටිති.

1986 වසරේදී ඔහු උපන් නගරයේ පාපන්දු සමාජය වන 'ඒසී මිලාන්' බංකොලොත් භාවයෙන් මුදා ගැනීම ඇතුළුව එම ධනයෙන් කොටසක් ඔහුගේ පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කර ඇත.

Berlusconi with AC Milan players

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඒසී මිලාන්' පාපන්දු සමාජය ඔහුගේ ව්‍යාපාරික ව්‍යාපාර කටයුතුවලින් එකක් පමණි

එම ආයෝජනයෙන් දශක තුනකට පසු එනම්, 2017 වසරේදී ඔහු ඉන් ප්‍රතිලාභ ලැබුවේ ය. ඒ, ඔහු එම පාපන්දු සමාජය චීන ආයෝජකයින්ට පවුම් මිලියන 628කට (යුරෝ මිලියන 740ක්) අලෙවි කිරීමත් සමග ය.

ඔහු තුළ පාපන්දු පිළිබඳව වූ ඇල්ම කිසි විටෙකත් ගිලිහී නොගියේ ය. ඔහු පසුව 'මොන්සා' පාපන්දු සමාජය මිල දී ගත් අතර එය එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතාලි පාපන්දු ලෝකයේ ඉහළ ම ස්ථානය වන 'Serie A' වෙත පැමිණි සතුට ද භුක්ති වින්දේ ය.

දේශපාලන බලය සහ දූෂණ විමර්ශන

බර්ලුස්කෝනිට නිරන්තරයෙන් අධිකරණ කටයුතුවලට මුහුණ දීමට සහ දේශපාලනය තුළ ඔහුගේ ජනප්‍රියත්වය පවත්වා ගැනීමට තිබුණේ අසමසම හැකියාවකි.

විශේෂයෙන් තමන් උපන් මිලාන් නගරයේ ම පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥයින් අතින් තමන්ට අත්විඳින්නට වූ අකටයුතුකම් පිළිබඳව ඔහු නිතර චෝදනා කළේ ය. ඔහු වරක් කියා සිටියේ, තමන් වසර 20ක් පුරා නඩු 106ක් වෙනුවෙන් අධිකරණය හමුවේ 2,500 වතාවක් පෙනී සිටි බව ය.

වසර ගණනාවක් පුරා එල්ල වුණු චෝදනා අතරට මූල්‍ය ප්‍රතිපාදන අවභාවිත කිරීම, බදු වංචා සහ මූල්‍ය වාර්තා වැරදි ලෙස නිරූපණය කිරීම සහ විනිසුරුවරයෙකුට අල්ලස් දීමට උත්සහ කිරීම ඇතුළත් වේ. අවස්ථා කිහිපයකදී ඔහු නිදොස් කොට නිදහස් වීම හෝ ඔහුට එරෙහිව ලබා දුන් තීන්දු අවලංගු වීම සිදු විය.

ඔහු පිළිබඳ වූ විවිධ මතභේද ඉතා ප්‍රසිද්ධියට පත් වූ අතර ඒවා ඔහුගේ දේශපාලන ජීවිතය පුරාවට ම නිරන්තරයෙන් පැවතිණි. ඔහු අගමැති ධූරය දැරූ සමයේ ඔහුගේ විලාවක පැවැත්වූ කුප්‍රකට "බුංගා බුංගා" සාද ගැන සාවද්‍ය තොරතුරු සැපයීම සඳහා සාක්ෂිකරුවන්ට අල්ලස් දීමේ චෝදනාවලින් 2023 වසරේ පෙබරවාරි මාසය තෙක් ම ඔහුට නිදහස් වීමට නොහැකි විය.

ඔහු වසර 30කට පෙර එනම්, 1993 වසරේදී ඔහුගේ ම දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අතර වසරක් ඇතුළත සිය අණසක පැතිරීමට සමත් විය.

පාපන්දු සඳහා වූ තම උද්යෝගය යොදා ගනිමින්, ඔහු තම පක්ෂය නම් කළේ, පාපන්දු ක්‍රීඩාලෝලීන් අතර නිතර ඇසෙන 'ෆෝසා ඉටැලියා (Forza Italia)' (එය Go Italy යන අර්ථය ගෙන දේ) යන පාඨයෙනි. එකල, ඉතාලියේ මධ්‍යම-දක්ෂිණාංශික දේශපාලන ධාරාව පිළිබඳව ඇති වූ අපකීර්තිය හේතුවෙන් ඉස්මතු වූ නායකත්ව අර්බුදයට පිළියමක් ලෙස බර්ලුස්කෝනි වාමාංශික නොවන එම ඡන්දදායකයින්ට විකල්පයක් ඉදිරිපත් කළේ ය.

ඔහුගේ ම රූපවාහිනී නාලිකා ඔස්සේ දියත් කළ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරය, 1994 මැතිවරණයේදී ඔහු ජයග්‍රහණය කරා ගෙන යාමට ඉවහල් විය.

A younger Silvio Berlusconi sits in an ornate wood-panelled office with nine very large (for 1986) televisions arrayed in a grid on the wall behind him

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1986දී ගත් ඡායාරූපයක සිටින බර්ලුස්කෝනි නම් රූපවාහිනී ව්‍යවසායකයා

කෙසේ වෙතත්, දේශපාලනය කෙරෙහි ඔහු තුළ වූ නව රුචිය, ඔහුගේ ව්‍යාපාර කිහිපයක් විමර්ශනයට භාජනය වීමෙන් අනතුරුව, දූෂණ චෝදනාවලින් රැකීමට ගත් උත්සහයක් ලෙස සැලකිණි.

නමුත් ඔහු එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේ ය. "බලය ගන්න මට රජයේ තනතුරක් ඕනේ නෑ. මට ලෝකේ පුරා ම ගෙවල් තියෙනවා. වෙන කොහෙවත් නැති විධියේ බෝට්ටු, ආකර්ෂණීය ගුවන් යානා, ලස්සන බිරිඳක්, ලස්සන පවුලක් ඉන්නවා. මම මේ කරන්නේ කැපකිරීමක්."

වරක ඔහු බලයේ සිටි අවස්ථාවකදී, බර්ලුස්කෝනිගේ රජය ඔහුට සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ට ධුරයේ රැඳී සිටියදී නඩු පැවරීමට නොහැකි වන අයුරින් මුක්තිය ලබා දුන් නීතියක් සම්මත කළ නමුත් ව්‍යවස්ථා අධිකරණය විසින් පසුව එය ඉවත දමන ලදී.

රජෙකුගේ පුනරාගමනය

බර්ලුස්කෝනිගේ පළමු සභාග රජය පැවතියේ මාස කිහිපයක් පමණි. ඒ, යම්තාක් දුරකට එහි සිටි විවිධ පක්ෂ අතර ඇති වූ ඝට්ටන හේතුවෙන්, සහ තව ත් අතකට මිලාන් අධිකරණයක් විසින් බදු වංචාවක් සම්බන්ධයෙන් බර්ලුස්කෝනිට එරෙහිව ගොනු කරන ලද බව කියන අධිචෝදනා හේතුවෙනි.

ඔහු 1996 මැතිවරණයෙන් වාමාංශික දේශපාලන බලවේගයකට පරදින විට ඔහුගේ දේශපාලන ජීවිතය ආරම්භ වූවා පමණි.

2001 වසරේදී, හවුස් ඔෆ් ෆ්‍රීඩම්ස් (House of Freedoms) නමින් හැඳින්වෙන නව සභාගයේ ප්‍රධානියා ලෙස බර්ලුස්කෝනි නැවත ත් අගමැති ධුරයට පත් විය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කරුණු වූයේ ඉතාලි ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම, බදු ක්‍රමය සරල කිරීම සහ විශ්‍රාම වැටුප් ඉහළ දැමීම යන පොරොන්දු ය.

නමුත් නරක අතට හැරෙමින් තිබුණු ගෝලීය ආර්ථිකයක් තුළ ඉතාලියේ ආර්ථිකය ද අර්බුදකාරී තත්ත්වයක සිටි අතර බර්ලුස්කෝනිට ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට නොහැකි විය. ඔහු 2006 වසරේදී වාමාංශික දේශපාලන බලවේගයට පැරදුණු නමුත් 2008 වසරේදී නැවත ජයග්‍රහණය කළේ ය.

ඔහු 2011 වසර වන තෙක් ඉතාලි දේශපාලනයේ ස්ථාවරව රැඳී සිටි අතර එය ඔහුගේ දේශපාලන දිවියේ වඩා ත් ම අභියෝගාත්මක වසර විය.

යුරෝපීය කලාපයේ උද්ගත වුණු ණය අර්බුදය හමුවේ ඉතාලිය ද ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු පොළී අනුපාතවල සැලකිය යුතු ඉහළ යාමකට මුහුණ දුන්නේ ය. ඒ හේතුවෙන් අගමැතිවරයාට හිමි වී තිබුණු සහය ක්‍රමයෙන් ගිලිහී ගිය අතර පාර්ලිමේන්තු බහුතර බලය අහිමි වීමෙන් පසු ඉල්ලා අස්වීමට පවා සිදු විය.

එම වසරේ ම, ව්‍යවස්ථා අධිකරණය ඔහුට සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට තාවකාලික මුක්තිය ලබා දෙන නීතියේ කොටසක් ඉවත් කළේ ය.

Berlusconi leaves Milan judicial offices in April 2014

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බර්ලුස්කෝනි අවසානයේ බදු වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වීමට ලද දඬුවමක් ලෙස ප්‍රජා සේවයේ නිරත විය.

2011 අවසන් වන විට ඔහුට බලය අහිමි විය. 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී බදු වංචාවක් සම්බන්ධයෙන් ඔහුට වසර හතරක සිර දඬුවමක් නියම වූ අතර රාජ්‍ය සේවය තහනම් කෙරිණි. බර්ලුස්කෝනි තමන් නිර්දෝෂී යැයි ප්‍රකාශ කළ අතර එය "අධිකරණමය කුමන්ත්‍රණයක්" යැයි පැවසීය.

නමුත් ඒ වන විට ඔහු වයස අවුරුදු 75 ඉක්මවා තිබුණු අතර ඒ වෙනුවට ඔහුට ප්‍රජා සේවය සිදු කිරීමට නියම විය. ඔහු මිලාන් නගරයේ පිහිටි කතෝලික සත්කාරක නිවාසයක වැඩිහිටි ඩිමෙන්ශියා රෝගීන් සමග සතියකට පැය හතරක කාලයක් සේවය කළේ ය.

ඔහුට රජයේ නිලතල ද තහනම් විය. එය නැවත බලයට පැමිණීමට පෙර වසර කිහිපයක් පමණක් පැවති තහනමකි.

බුංගා බුංගා සාද සහ ප්‍රසිද්ධ පෞද්ගලික ජීවිතය

දේශපාලනයෙන් ඔබ්බට ගිය කල බර්ලුස්කෝනිගේ පෞද්ගලික ජීවිතය ද පුවත් මවන්නක් විය. එය බොහෝ අවස්ථාවලදී ඉතා ප්‍රසිද්ධියට පත්වූවකි.

ළාබාල කාන්තාවන් පසුපස හඹා යාමට තමා තුළ වූ ඇල්ම මෙම ආකර්ෂණීය අගමැතිවරයා සමාජයෙන් සැඟවූයේ නැත. ඔහු මෑත කාලයේ ඇසුරු කළ ඔහුගේ සහකාරිය මෙන් ම, පක්ෂයේ හවුල්කාරියක ද වූ මාර්ටා ෆැසිනා ඔහුට වඩා අවුරුදු 50ක් වයසින් බාල ය. ඔහු තරුණ බව පෙන්වීමට හිසකෙස් බද්ධ කිරීම සහ ප්ලාස්ටික් සැත්කම් සිදු කරන බව බොහෝ දෙනෙකු දැන සිටි කාරණාවකි.

ඔහුට ඔහුගේ දෙවන බිරිඳ වන වෙරෝනිකා ලැරියෝ මුණගැසුණේ, ඇය උඩුකය නිරුවතින් රඟපෑ නාට්‍යයකට පසුව ය. තරුණියන් සමග තම සැමියාගේ හැසිරීම් ගැන ඇති වූ කලකිරීම පිළිබඳව ඇය කිහිපවරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ය.

නිරූපිකාවක වන නොයෙමි ලෙටීසියාගේ 18 වන උපන්දින සාදයට ඇගේ සැමියා සහභාහි වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප දුටු ඇය ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍ය පියවර ගත්තා ය.

ඔහු දැඩි ලෙස අපකීර්තියකට ලක් වූයේ, ඔහුගේ විලාවෙහි පැවති නළඟනන් සහභාගි වූ "බුංගා බුංගා" යැයි පැවසෙන සාදයකදී බාලවයස්කාර ගණිකාවකට ලිංගික කටයුතු සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් වරදකරු වීමෙනි.

A composite image shows Silvio Berlusconi, left, leaning casually in the golden chair of parliament in 2010, while on the right is pictured Karima El-Mahroug, seated in a rather more ornate golden chair at a nightclub photoshoot, wearing a black dress and raising a glass of champagne

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අපකීර්තිය මධ්‍යයේ, සිල්වියෝ බර්ලුස්කෝනි සහ කරීමා එල් මහරුග් යන දෙදෙනා ම ඔවුන් ලිංගිකව හැසිරුණු බව ප්‍රතික්ෂේප කළහ

2010 වසරේදී අගමැතිව සිටියදී බර්ලුස්කෝනි පොලිස් ස්ථානයකට දුරකතනයෙන් අමතා සොරකම් කිරීමේ චෝදනාවට ලක්ව සිටින රූබි හාර්ට්-ස්ටීලර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 17 හැවිරිදි කරීමා "රූබි" එල් මහරුග් නිදහස් කරන ලෙස ඉල්ලා ඇති බව අවසානයේදී හෙළි විය. ඇය "බුංගා බුංගා" සාදවල ආගන්තුකයෙකු වූ බවට වාර්තා ද පළ විය.

ඉතාලි මාධ්‍ය වාර්තා කළේ, මෙම දැරිය ඊජිප්තු ජනාධිපතිවරයාගේ ලේලිය හෝ මිනිබිරිය බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර එය ඔහු රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් මගහරවා ගැනීමට ගත් උත්සහයක් බව ය.

2013 වසරේදී බර්ලුස්කෝනි ඇයට ලිංගික කටයුතු සඳහා මුදල් ගෙවීම සහ ඔහුගේ බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ නමුත් එම තීන්දුව ඊළඟ වසරේදී අවලංගු විය.

බර්ලුස්කෝනි සෑම විට ම තමන් ලිංගික කටයුතු සඳහා කිසිදු කාන්තාවකට මුදල් ගෙවා ඇති බව යන්න ප්‍රතික්ෂේප කළේ, එසේ කිරීම "කාන්තාවක ඒ සඳහා පොළඹවා ගැනීමෙන් ලැබෙන සතුට මගහැරෙන" බව පවසමිනි. නමුත් ඔහු තමන් "සාන්තුවරයෙකු" නොවන බව ද පිළිගත්තේ ය.

නැවත වරක් 'ෆෝසා ඉටැලියා'

ජාතික අයවැය ගැටලුවලින් සහ පෞද්ගලික අපවාදවල පැටලීමෙන් පීඩනයට පත්ව සිටි බර්ලුස්කෝනිගේ පීපල් ඔෆ් ෆ්‍රීඩම් පක්ෂය 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී දුර්වල ලෙස ක්‍රියා කළ අතර, ඒ හේතුවෙන් ඔහුගේ උපන් නගරය සහ බලය රඳවා ගෙන සිටි මිලාන් නගරය ඔහුට අහිමි විය.

නමුත් ඔහුගේ ජනප්‍රියත්වයේ අඩුවක් නොවිණි. 2013 වසරේ ජාතික මැතිවරණ ජයග්‍රහණය ඔහුට අහිමි වී ගියේ 1%ක ප්‍රතිශතයකිනි. අවසානයේදී, ඔහුගේ පක්ෂය දෙකඩ වූ අතර බර්ලුස්කෝනි එය එහි මුල් නම වන 'ෆෝසා ඉටැලියා' නමින් නැවත ආරම්භ කළේ ය.

ඔහුගේ මැතිවරණ පරාජයන් සහ ඔහු සිදු කළ අපරාධමය වරදවල් හමුවේ රාජ්‍ය නිලතල දැරීම තහනම් වීම හේතුවෙන්, ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් වූ බවක් පෙනෙන්නට තිබිණි.

Silvio Berlusconi in 2019, pointing to his temples while a Forza Italia flag can be seen in the background

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 වසරේදී, බර්ලුස්කෝනි නැවත වරක් මැතිවරණයට ඉදිරිපත් වූ අතර එය ජයග්‍රහණය කළේ ය.

එහෙත් 'ෆෝසා ඉටැලියා' පක්ෂය 2018 වසරේ මැතිවරණයේදී තෙවන ස්ථානයට පත් වූයේ එහි සන්නාමයට බර්ලුස්කෝනිගේ නම ඈඳා තිබීම හේතුවෙන් වන අතර, ජනතාවාදී, ස්ථාපිත අධිකාරියට විරෝධය පළ කරන 'ෆයිව් ස්ටාර්' පක්ෂය සහ 'ෆෝසා ඉටැලියා' පක්ෂයේ ම දක්ෂිණාංශික මැතිවරණ හවුල්කරු වන ලීග් පක්ෂය එහි පෙරමුණ ගත්තේ ය.

රජයක් පිහිටුවීම සඳහා ලීග් පක්ෂයේ නායක මටෙයෝ සල්වීනි දරන උත්සහයට "අවංකව සහය දීමට" බර්ලුස්කෝනි පොරොන්දු විය. නමුත් ලීග් පක්ෂය ෆෝසා ඉටැලියා පක්ෂයේ සහය නොමැතිව පාලන කටයුතු සිදු කිරීමට තීරණය කළේ ය.

නැවත වරක්, බර්ලුස්කෝනිගේ දේශපාලන ජීවිතය අවසන් වන බවක් පෙනෙන්නට තිබිණි. නමුත් 2018 වසරේදී, ඔහුට නැවත වරක් රාජ්‍ය තනතුරක් දැරිය හැකි බවට අධිකරණය තීන්දු කළේ, ඔහු "පුනරුත්ථාපනය වී ඇති" බව ප්‍රකාශ කරමිනි.

මෙම තීරණය 2018 වසරේ පැවති මැතිවරණය සඳහා ප්‍රමාද වැඩි වූ නමුත් 2019 වසරේදී මෙම 'සදාකාලික ඡන්ද ජයග්‍රාහකයා' නිවේදනය කළේ, ඔහු යුරෝපීය පාර්ලිමේන්තුවට තරග කරන බව ය. ඔහුගේ පක්ෂයේ ලැයිස්තුවේ ඉහළින් ම සිටි අපේක්ෂකයා ලෙස තරග වැදුණු ඔහු පහසුවෙන් ම යුරෝපීය පාර්ලිමේන්තුවේ ආසනයක් දිනා ගත්තේ ය.

වසර තුනකට පසුව, ඔහු නැවත ඉතාලි පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අතර ඔහුගේ ෆෝසා ඉටැලියා පක්ෂය ජෝර්ජියා මෙලෝනිගේ දක්ෂිණාංශික සභාගයේ කනිෂ්ඨ පක්ෂයක් බවට පත් විය.

කුප්‍රකට චරිතයක්

පසු පසට පීරා ඇති ඔහුගේ අඳුරු පැහැති හිසකෙස් සහ ලිංගික වශයෙන් මතභේදයට තුඩු දෙන ඔහු ලද අපකීර්තිය සමගින්, බර්ලුස්කෝනි සමාජයේ කැපී පෙනන චරිතයක් වූ අතර එය ඔහුට අමුතු ආකාරයක පෞරුෂයක් ආරෝපණය කළේ ය.

සිය මතභේදාත්මක හාස්‍ය රසය සම්බන්ධයෙන් ඔහු කුප්‍රකට වූයේ අවස්ථා කිහිපයකදී ඔහු අවිචාරවත් ලෙස බස හැසිරවීම හේතුවෙනි. එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එක් අවස්ථාවක, ඔහු යුරෝපා පාර්ලිමේන්තුවේ ජර්මානු සභිකයා දේශපාලනික සිරකරුවන් රඳවා සිටින කඳවුරක මුරකරුවෙකු ලෙස හොඳින් කටයුතු කරනු ඇතැයි පැවසීය. තව ත් අවස්ථාවකදී, මුසෝලිනි සැබවින් ම මොළොක් ගති ඇති නායකයෙකු බව කියා සිටියේ ය.

ඔහු මෙම ප්‍රකාශ විහිළුවක් ලෙස බැහැර කළේ ය. කෙසේ වෙතත්, ඔහු ව්ලැදිමීර් පුටින්ගේ දිගුකාලීන මිතුරෙකු වූ අතර ඔහුගේ ම රජය යුක්රේනයට සහය දක්වන පසුබිමක රුසියාවේ ආක්‍රමණය සම්බන්ධයෙන් යුක්රේනයට දොස් පැවරීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: සිල්වියෝ බර්ලුස්කෝනිගේ ජීවිතයේ අමතක නොවන අවස්ථා හතරක්

ඔහුගේ විවේචකයන් වඩා ත් කෝපයට පත් කළේ, ඉතාලි ජනයාගේ ජීවිතයේ සෑම අංශයකට ම පාහේ සිදු වූ ඔහුගේ මැදිහත්වීම විය හැකි ය. විශේෂයෙන් ම ඔහු සතු මාධ්‍ය බලය, මැතිවරණවලදී ඔහුට අසාධාරණ වාසියක් ලබා දුන් බවට බොහෝ දෙනෙක් පවස

ඔහු වෙනුවෙන් ඡන්දය භාවිත කළ බොහෝ ඉතාලි ජාතිකයින් විශ්වාස කළේ, ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයෙකු ලෙස ඔහු ලද සාර්ථකත්වය ඔහුගේ හැකියාවන් ප්‍රදර්ශනය කර රට මෙහෙයවීමට සුදුසු අපේක්ෂකයෙකු බවට පත් කළ බව ය.

ව්‍යාපාර සහ දේශපාලනය මිශ්‍ර කිරීම සමස්තයක් ලෙස ඉතාලියට වඩා පෞද්ගලිකව ඔහුට වඩා ත් ප්‍රයෝජනවත් වූ බවට කරන ප්‍රකාශ බර්ලුස්කෝනි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

"සෑම කෙනෙකුගේ ම අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙද්දි, මම මගේ ම දේවල් ගැන ත් සැලකිලිමත් වෙනවා. එතැනදී ඔබට බැඳියාවන් අතර ගැටුමක් ගැන කතා කරන්න බෑ," ඔහු ප්‍රකාශ කළේ ය.