ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට

L-R: Sylvie Goulard (defence minister); Agnès Buzyn (health); Laura Flessel (sports); Françoise Nyssen (culture)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක, සෞඛ්‍ය, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුර කාන්තාවන්ට

කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරයි.

ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එකොළහක් කාන්තාවන්ට හිමි වේ.

ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්.

සිල්වි ගුලාර්ඩ් ආරක්ෂක ඇමති ධුරය සඳහාත් ෆෙන්සින් ක්‍රීඩා (කඩු හරඹවලට සමාන ක්‍රීඩාවක්) ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පත් කර ඇත.

line
line

සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපති මැක්‍රෝන් ගත් තීන්දුව හමුවේ දක්ෂිණාංශික කණ්ඩායම් වික්ෂිප්තව ඇති බව වාර්තාකරුවෝ පවසති.

"ආර්ථික සහ මුදල් ඇමති ධුර සඳහා ජනාධිපති මැක්‍රෝන් පත් කර තිබෙන්නේ දක්ෂිණාංශික නියෝජිතයන් දෙදෙනෙක්. අභ්‍යන්තර සහ විදේශ කටයුතු සඳහා සමාජවාදීන් ද ආරක්ෂක සහ අධිකරණ කටයුතු සඳහා මධ්‍යස්ථ මතධාරීන් ද පත් කර තිබෙනවා" පැරිසියේ සිටින බීබීසී වාර්තාකරු මාක් ලොවෙන් පැවසීය.

Laura Flessel during the 2006 Fencing World Championships in Turin, Italy

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල්

ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්‍රෝන්ට සහාය දෙන බව පවසමින් ප්‍රකාශයකට අත්සන් තැබීම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ගණනක් විසින් මීට ඉහතදී විවේචනය කරනු ලැබීය.

ප්‍රංශ මහ මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.

මධ්‍යස්ථ මතධාරියෙකු වන ජනාධිපති මැක්‍රෝන් සිය අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබූ එදුවාර්ද් ෆිලිපේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකි.