ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
MH370 විහිළුව: ප්‍රහසන ශිල්පිනියක සොයා දෙන ලෙස මැලේසියාවෙන් ජාත්‍යන්තර පොලිසියට ඉල්ලීමක්
- Author, නිකොලස් යෝන්ග්
- Role, බීබීසී පුවත්
අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් සිදුකළ විහිළුවක් හේතුවෙන් නිවියෝක් හි සිටින ප්‍රහසන ශිල්පිනියක සොයා මැලේසියාව ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා තිබේ.
පොලිසිය පැවසුවේ සිංගප්පූරුවේ හැදී වැඩුණු අමෙරිකානු එක්සත් ජනපද පුරවැසියෙකු වන ජොසලින් චියා සම්බන්ධයෙන් මැලේසියානු නීතිය යටතේ වරදක් කිරීමට පොළඹවන සහ අහිතකර අන්තර්ජාල අන්තර්ගතයන් මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.
පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරන ලද ඇගේ විහිළුව හේතුවෙන් මැලේසියාවෙන් නිල විරෝධතාවක් මතු වූ අතර සහ සිංගප්පූරුවෙන් සමාව අයැදීමක් ද සිදුවිය.
2014 මාර්තු මාසයේදී ක්වාලාලම්පූර් සිට ගුවන්ගත වීමෙන් පසු MH370 යානය අතුරුදන් විය.
ඉන්දියන් සාගරයේ වසර හතරක් පුරා සෝදිසි කළද යානයේ ප්‍රධාන බඳ කොටස කිසිදා සොයා ගැනීමට නොහැකි වූ අතර එම යානයේ සිටි මගීන් 239 දෙනාම මියගොස් ඇතැයි අනුමාන කෙරේ.
අඟහරුවාදා මැලේසියානු ජාතික පොලිස් ප්‍රධානී ඇක්‍රිල් සානි අබ්දුල්ලා සානි කියා සිටියේ චියාගේ "පුර්ණ අනන්‍යතාවය" සහ ඇය සිටින "නවතම ස්ථානය" සොයා ගැනීම සඳහා බදාදා (අද) ජාත්‍යන්තර පොලිසියට අයදුම්පතක් ගොනු කරන බවයි.
මැලේසියානු පොලිසිය තමන්ගෙන් සහය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව බීබීසීය විසින් නගන ලද පැනයට ජාත්‍යන්තර පොලිසිය ප්‍රතිචාර දක්වා නැත.
තම සාමාජික රටවල නීතිය ක්‍රියාත්මක කරන්නන්ගෙන් ඔවුන් පිටුවහල් කිරීමට පෙර අපරාධ නඩු පැවරීමට හෝ සිරදඬුවම් වලට මුහුණ දෙන අය සොයා තාවකාලිකව අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියට "රතු නිවේදනයක්" නිකුත් කරමින් ඉල්ලා සිටිය හැකිය.
මැලේසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පිටුවහල් ගිවිසුමක් ඇත - කෙසේ වෙතත් මැලේසියානු බලධාරීන් තවමත් චියා මහත්මියට නඩු පැවරීමට හෝ චෝදනා කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කර නැත. ඔවුන්ගේ විමර්ශනයේ විෂය පථය තවමත් අපැහැදිලි ය.
මැන්හැටන් හි 'කොමඩි සෙලර්' නම් ස්ථානයේදී චියා මහත්මිය මෑත කාලීනව සිදුකළ ප්‍රහසනයකට අදාළ වීඩියෝ පටයක් පළ කිරිමෙන් පසු මෙම ආරවුල ආරම්භ වී තිබේ.
කෙටි කලක් එකම රටක කොටසක් වූ සිංගප්පූරුව සහ මැලේසියාව අතර ඓතිහාසික එදිරිවාදිකම් පිළිබඳ රූටිනයක් එහි අඩංගු විය.
මැලේසියාව තවමත් " සංවර්ධනය" වෙමින් පවතින අතරතුර සිංගප්පූරුව "ලෝකයේ ප්‍රධාන රටක්" ලෙස ඉහළට ගොස් ඇති බව සඳහන් කළ ඇය, මැලේසියානු ගුවන් යානාවලට "පියාසර කළ නොහැකි" බවට විහිළු කළාය.
චියා මහත්මිය තවදුරටත් මෙසේ පැවසුවාය: "මැලේසියානු ගුවන් යානා අතුරුදහන් වීම හාස්‍යජනක නෑනේ? සමහර විහිලු ගොඩබාන්නේ නැහැ."
මැලේසියාවේ කැළඹීමක් ඇති කළ එම වීඩියෝව, වෛරී කථන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමක් ලෙස උපුටා දක්වමින් TikTok සමාජ ජාලාවෙන් ඉවත් කරන ලදී.
මැලේසියාවේ සිංගප්පූරු තානාපතිවරයා පැවසුවේ චියා මහත්මිය සිංගප්පූරු වැසියන් වෙනුවෙන් කතා නොකළ බවයි. සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් ඇයගේ ප්‍රකාශ "බිහිසුණු ප්‍රකාශ" ලෙස හෙළා දුටුවේය.
පසුගිය ඉරිදා, චියා මහත්මිය CNN වෙත පැවසුවේ ඇය කිසිදු ගැටලුවක් නොමැතිව මෙම රූටිනය නිතිපතා "100 වතාවකට වඩා" සිදු කළ බවයි.
තමන් සිදු කළ විහිළුව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, එම වීඩියෝ පටය සන්දර්භයෙන් ඉවත් කොට හුවා දක්වා ඇති බවත් ඇය පැවසුවාය.