'රැජිණ කලින් ආවා' - දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයේ මතකයන්

අප බොහෝ දෙනෙකුට, තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය එක්සත් රාජධානියේ නව රජෙකු ඔටුනු පැළඳීම දකින පළමු අවස්ථාව වනු ඇත. නමුත් අනෙක් අයට මෙය ඔවුන් දුටු දෙවන හෝ තුන්වන රාජාභිෂේකය යි. 1953 වසරේ රාජාභිෂේකයට සහභාගි වූ තිදෙනෙක් සිය මතකයන් මෙලෙස බෙදා ගත්හ.

'බේකරිකරුට මාව ස්ටේෂමට ගිහින් දාන්න සිද්ධ වුණා'

දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය දිනයේ ළා පැහැති ඇඳුමකින් සහ සුදු තොප්පියකින් සැරසී රැකියා ස්ථානය බලා යමින් සිටි ඊව් මොරිස් අනෙක් සියල්ලන් අතරින් වඩා ත් හොඳින් කැපී පෙනුනා ය. එදින ධාරාණිපාත වැසි ඇදහැලුණු දිනයක් වූ බැවින් "සැවොම වැස්සෙන් ආරක්ෂා වීම සඳහා වැහි කබා පැළඳ සිටියා,"යි ඇය සිහිපත් කරයි.

ඒ වන විට ඊව්ට වයස අවුරුදු 17ක් වූ අතර ඇයගේ පවුලට මෝටර් රථයක් නොතිබිණි. "ඒ නිසා බේකරිකරුට මාව දුම්රිය ස්ථානයට ගිහින් දාන්න සිද්ධ වුණා," ඇය පවසයි.

ඊව්, මේෆෙයාර්හි විලාසිතා නිර්මාණ ශිල්පී ශ්‍රීමත් නෝමන් හාර්ට්නෙල්ගේ වැඩපොළේ ආධුනික සේවිකාවක වූවා ය. ශ්‍රීමත් නෝමන් යනු, දෙවන එලිසබෙත් රැජිණගේ ප්‍රියත ම ඇඳුම් නිර්මාණ ශිල්පියා වූ අතර ඇයගේ මංගල ඇඳුම නිර්මාණය කරනු ලැබ තිබුණේ ද ඔහු විසිනි. සිය එම්බ්‍රොයිඩර් භාවිතය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ ඔහුට ඇය රාජාභිෂේකය සඳහා ඇඳි මිලෙන් අධික ගවුම නිර්මාණය කිරීමට ද පැවරී තිබිණි.

රාජාභිෂේකය දිනයේ තම බෑගයේ ඉඳිකටුවක් සහ නූලක් ද ඇතිව ඊව් සිටියේ වෙස්ට්මින්ස්ටර් ඇබීහි ය.

"කාගේ හරි බොත්තමක් ගැලවුණොත්, නැත්නම් මැහුමක් ලිහුණොත්, මම එතන හිටියේ ඒවා කරන්න," ඊව් පවසයි, "ඒත් වාසනාවකට වගේ එහෙම දෙයක් කිසි ම වෙලාවක සිද්ධ වුණේ නෑ."

රාජාභිෂේකය සංවිධානය කිරීම භාරව සිටි නොර්ෆොක් ආදිපාදවරයාගෙන් ඇයට ලැබුණු ලිපියක එදින ඇය පිළිපැදිය යුතු උපදෙස් ඇතුළත් විය. එහි ලියා තිබුණේ: "කරුණාකර ඔබ සමග සැන්විචස් සහ, කෝපි ලබා ගන්න නොහැකි බැවින් කෝපි ප්ලාස්කුවක් ද රැගෙන එන්න."

ඇබීහි රාජකීය මැදිරිය ඉදිරිපිට සිටි ඊව්ට, රැජිණගේ අලංකාර ඇඳුම හොඳින් දැක බලාගත හැකිවිය. එය සැබවින් ම "කදිම තැනක්", ඇය සිහිපත් කරයි, "ඇත්තට ම ආසනයකට වඩා හොඳයි."

රාජාභිෂේකයට පෙර සති කිහිපයේ, ඊව් වැඩපොළේ වැඩකටයුතුවලට අවශ්‍ය රෙදිපිළි ද්‍රව්‍ය එහා මෙහා ගෙනයන්නියක ලෙස කටයුතු කර තිබිණි. "එම්බ්‍රොයිඩර් එකට ගැලපෙන සේද රෙදි හොයා ගන්න මට තොග කාමරයට යාමට සිද්ධ වුණා," ඊව් පවසයි.

ඇයට සහ ඇයගේ සගයාට දූවිලි ආවරණයකින් වසා තිබුණු මහත් බරකින් යුක්ත වූ රාජාභිෂේක ගවුම වීදියේ එක් කෙලවරක ඇති එම්බ්‍රොයිඩර් වැඩපොළේ සිට අනෙක් කෙළවරේ ඇති ඇඳුම් මහන්නාගේ වැඩපොළ දක්වා එහා මෙහා ගෙන යාමට පැවරී තිබිණි.

දැනට 87 වන වියේ පසුවන ඊව්, තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයේ ද ගවුම් දෙස බලා සිටිනු ඇත. "මම බොහෝදෙනෙකුට වඩා විවේචනාත්මක වේවි," ඇය පවසයි.

ඊව්ට අනුව, දෙවන එලිසබෙත් රැජිණ සිය රාජාභිෂේකය සඳහා ඇඳි ගවුම "මෑතක ඕනෑ ම ඇඳුමක් පරදා ඉදිරියට පැමිණෙනු ඇත."

'රැජිණ ටිකක් කලින් ආවා'

1952 වසරේ දී හයවන ජෝර්ජ්ගේ හදිසි අභාවයත් සමග දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයට තමාට සහභාගි වීමට සිදු වනු ඇතැ යි එවකට වෙස්ට්මින්ස්ටර් පාසලේ 15 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ගැවින් රොස් දැන සිටියේ ය.

වෙස්ට්මින්ස්ටර් ඇබී වෙත නව රජුගේ පැමිණීම පිළිබඳව දැනුවත් කිරීම 1685 වසරේ සිට එම පාසලේ ශිෂ්‍යයන් වෙත පැවරී තිබුණු කාර්යයකි. එය ලතින් භාෂාවෙන් "විවාට් රිජයිනා!" (රැජිණට දීර්ඝායු වේවා) හෝ "විවාට් රෙක්ස්!" (රජුට දීර්ඝායු වේවා) ලෙස හඬ නගා කියමින් සිදු විය.

"1902 වසරේ දී, හත්වන එඩ්වඩ්ට මනා සංගීතයකින් සමන්විත නියම ආකාරයේ රාජාභිෂේකයක් පවත්වන්න ඕනේ වුණා," ගැවින් පවසයි, "ඒ නිසා සංගීත රචකයෙක් වන හියුබට් පැරී "I was Glad" යන ගීතය රචනා කළා". උත්සවයේ අඩක් අවසන් වූ පසු සංගීතය නතර වන අතර එම අවස්ථාවේදී නව රජු හෝ රැජිණ පිළිගැනීම සඳහා ශිෂ්‍යයෝ "විවාට්" යැයි හඬ නගා කියති.

එම සංගීත ඛණ්ඩය 1953 වසරේ දී ද භාවිත කරන ලද අතර, උත්සවය සඳහා සූදානම් වීමට පැය දෙකකට පෙර තමන් එහි පැමිණි අයුරු ගැවින් සිහිපත් කරයි.

ඔහු ඇබී තට්ටුවට ඉහළින්, එනම් "සිංහාසනයට ඉහළින් දකුණු පස අඩි 60ක් (මීටර් 18), ඉහළින්" පිහිටි ගැලරිය වන ට්‍රයිෆෝරියම් වෙත ගෙන යන ලදී.

පුළුල්ව සිදු කෙරෙනු පෙරහුරු ඔවුන්ගේ "සංගීතමය කෑගැසීම" ප්‍රමාණවත් තරම් ඇසෙන්නේදැ යි සහතික කර ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කර තිබිණි.

ඉතා උස් ස්ථානයක සිටිය ද "අපි 40 දෙනෙක් හිටිය ත්, අපි ගොඩක් හයියෙන් කෑ ගැහුවොත් මිසක් ඒක හොඳට ඇහුනේ නැහැ,"යි ගැවින් පවසයි.

ගැවින්ට චකිතයක් දැනුනේ නැත. නමුත් සියල්ල කාලසටහන අනුව ම සිදු නොවූ බව ඔහු සිහිපත් කරයි.

"රැජිණ සංගීතයට ටිකක් කලින් ආවා," ගැවින් පවසයි, "ඉතින් අපි, විවාට් රිජයිනා එලිසබෙතා! කියලා කියන්න කලින් ඇය ටිකක් ඇතුළට ගිහින් තිබුණා."

එම අවස්ථාවේ සැබෑ සුබවාදී හැඟීමක් පැවති බව ගැවින් පවසයි. එය තරුණ රැජිණක් සිංහාසනයේ සිටි පශ්චාත් යුද්ධ සමය විය. සලාක ක්‍රමය අවසන් වුණු [ඇතැම් නිෂ්පාදන සඳහා] විවිධ දේ විවෘත වෙමින් පැවති, මිනිසුන්ට අවස්ථා හිමි වුණු, එය අදට වඩා වෙනස් ලෝකයක් වුණා," ඔහු පවසයි.

මේ වන විට 85 වන වියේ පසුවන ගැවින් චාල්ස් රජුගේ රාජාභිෂේකයේ මෙම විශේෂිත කොටස දෙස සමීපව බලා සිටිනු ඇත. වෙස්ට්මිනිස්ටර් ඇබී විසින් විවාට් පිළිගැනීමේ වචන සහ සංගීතය මේ වන විට නිකුත් කරනු ලැබ ඇති අතර, පළමු වරට ඒවා පිරිමි දරුවන් විසින් මෙන්ම ගැහැණු දරුවන් විසින් ද ගායනා කරනු ලැබේ.

'රන් යෂ්ඨිය ගන්න ගිනි දෙකක් ගෙවන්න සිද්ධ වුණා'

තෙවන චාල්ස් රජුගේ උත්සවයෙන් පසු ශ්‍රීමත් සයිමන් බෝව්ස්-ලයන් රාජාභිෂේක තුනක් දැක තිබෙණු ඇත.

1937 වසරේ දී බකිංහැම් මාළිගයේ නිදන කාමරයක කවුළුවක් තුළින් හයවන ජෝර්ජ් සහ ඔහුගේ නැන්දා වන එලිසබෙත් රැජිණගේ [පසුව මව් රැජිණ ලෙස ලෙස හැඳින්වූ] රාජාභිෂේක පෙරහැර නරඹන විට ඔහුට යන්තම් වයස අවුරුදු හතරකි. එදින ශ්‍රීමත් සයිමන්ගේ ළමා කාලයේ මතකයන් අතරට උදේ ආහාරය සඳහා ගත් "රසවත් වූ ස්ක්‍රැම්බල් කරන ලද බිත්තර" සහ "රන් අශ්ව කරත්තය හා එහි බැඳ සිටි අශ්වයන් සියල්ලන් ම" ඇතුළත් ය.

1953 වසරේ දී, එනම් එවකට වයස අවුරුදු 20 දී, ඔහුගේ පළමු ඥාති සොහොයුරිය වන දෙවන එලිසබෙත් රැජිණ කිරුළු පැළඳීම දැකීමට ඔහුට වෙස්ට්මිනිස්ටර් ඇබී වෙත ආරාධනා ලැබිණි. මුලදී, ඔහුට අසුන් පනවන්නෙකු ලෙස කටයුතු කරන ලෙස දන්වා තිබුණු අතර උපදෙස් අනුව තම ගමන් වියදම්, නවාතැන් වියදම් තමන් විසින් ම දරා ගනු ලැබිය යුතු බව මෙන් ම තමන් ළඟ තබා ගත යුතු රන් යෂ්ඨිය ද මිලට ගත යුතු බව දන්වා තිබිණි.

"රන් යෂ්ඨිය ගන්න ගිනි දෙකක් [එවකට භාවිත වූ මුදල් ඒකකයක්] ගෙවන්න සිද්ධ වුණා," ඔහු පවසයි.

කෙසේ වෙතත්, අවසානයේ දී, ඔහුගේ පවුලේ අයට ආසන පිරිනැමූ විට, ඔහුට රාජකාරි කිරීමට සිදු නොවූ අතර සභාවේ සෙසු අය සමග එය නැරඹීමට හැකි විය. එහෙත් ඔහුට අසුන් පනවන්නාට නියමිත රාජකාරිමය ඇඳුමින් ම සැරසී සිටීමට සිදු විය.

කෝට් එක, ඔප දැමූ බොත්තම් සහිත ඉනෙන් පහළට දිග වෙල්වට් කෝට් එකක්, රැලි දමන ලද රෙදි පටියක් සහ සුදු පැහැති වේස්ට්කෝට් එකක්,' ශ්‍රීමත් සයිමන් පවසයි. "ඒක හරි ම, හරි ම කඩවසම්."

පූජාව අවසන් වූ පසු, ශ්‍රීමත් සයිමන් සහ ඔහුගේ සහෝදරිය නැවතත් ඔවුන්ගේ ලන්ඩන් මහල් නිවාසයට ගොස් ඇඳුම් මාරු කර, වීදිවල ධජ අතැතිව ප්‍රීති ඝෝෂා නගමින් සිටි "ප්‍රීතියෙන් පිනා ගිය ජනතාව" සමග එක් වූහ. මාලිගාවේ බැල්කනියේ අලුතින් කිරුළු පැළඳි රැජිණ සිටින අයුරු ද ඔහු දුටුවේ ය.

ඔහුගේ පවුලේ සාමාජිකයින්ට 1937 සහ 1953 වසරවල රාජාභිෂේකයන්හි ඔවුන් වෙස්ට්මිනිස්ටර් ඇබීහි අසුන් ගෙන සිටි පුටු ද ඇතුළුව ඇතැම් සිහිවටන මිල දී ගැනීමට හැකි විය.

"ඒවා හරි ම සැප පහසුයි," ශ්‍රීමත් සයිමන් පවසන අතර, ඔහු අද දක්වා ම හර්ට්ෆර්ඩ්ෂයර්හි පිහිටි සිය නිවසේ ඇති එම පුටුවල අසුන් ගනියි. රාජාභිෂේක දේව මෙහෙය පැය තුනකට ආසන්න කාලයක් පවතින බැවින් සුවපහසු පුටුවක් යනු අත්‍යවශ්‍ය කාරණයකි.

ශ්‍රීමත් සයිමන් පවසන්නේ ඔහුගේ පවුලේ අය ඇබී පියගැට පෙළෙහි එළා තිබූ බුමුතුරුණු කිහිපයක් ද මිල දී ගත් බව ය.

"මම හිතන්නේ අවුරුදු 10කට කලින් අපි ඒක මාරු කළා, ඒ කියන්නේ අවුරුදු 60ක් විතර තිබුණා," ඔහු පවසයි. "ඒත් මෙහේ තියෙන දේවල් ඒතරම් කාලයක්වත් තියෙන්න ඕනේ. අපට අවශ්‍ය නම් මිස අපි බුමුතුරුණු මාරු කරන්නේ නෑ."

දැන් 90 වන වියේ පසුවන ශ්‍රීමත් සයිමන් බලාපොරොත්තු වන්නේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය "බොහෝ සැමරුම්වලට හේතු වනු ඇත" කියා ය.