විවේක් රාමස්වාමි: එක්සත් ජනපදයේ ජනාධිපතිවීමට සිහින දකින ඉන්දියානු-ඇමරිකානුවා

ඡායාරූප මූලාශ්‍රය, Vivek2024.com
මේ වන විට එක්සත් ජනපද ජනපතිවරණ සටනට පිවිසෙතැ යි නිවේදනයකර ඇති රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂකයින් තිදෙනාගෙන් දෙදෙනෙක් ඉන්දියානු-ඇමරිකානුවන් වෙති. ඔවුන්ගෙන් 'නිකී හේලි' යන්න හුරුපුරුදු නමක් වෙතත්, පුදුමයක් ගෙන දෙමින් අපේක්ෂක සටනට එක්වූ විවේක් රාමස්වාමි එතරම් ප්‍රසිද්ධ තැනැත්තෙකු නොවේ. කැලිෆෝනියාවේ සිටින මාධ්‍යවේදිනී සවීතා පටේල් ඔහුට ජයග්‍රහණය සඳහා ඇති ඉඩකඩ සහ වෙනසක් ඇති කිරීමට ඔහුට හැකි ද යන්න තක්සේරු කරයි.
කෝටිපති ව්‍යවසායකයෙකු ද, Woke, Inc. කෘතියේ කතුවරයා ද වන රාමස්වාමි පෙබරවාරි 21 දා ෆොක්ස් පුවත්හි වැඩසටහනකට පෙනී සිටීමෙන් හා ඔහුගේ දේශපාලන අදහස් දක්වන වීඩියෝවක් ඉදිරිපත් කිරීම මඟින් තම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කළේ ය. ඔහුට අවශ්‍යව ඇත්තේ "විශිෂ්ටත්වය හඹා යාම" මත පදනම්ව "නව ඇමරිකානු සිහිනයක් නිර්මාණය කිරීම සඳහා සංස්කෘතික ව්‍යාපාරයක්" දියත් කිරීමට යි. මිනිසුන් "එකිනෙකා හා බඳවා තබන වඩාත් විශිෂ්ට යමක් නැතිකොට, විවිධත්වය අර්ථ විරහිතබව" ඔහු පවසයි.
එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ උපත ලද 37-හැවිරිදි ඔහු හාවඩ් සහ යේල්හි අධ්‍යාපනය ලබා ජෛව තාක්‍ෂණ ව්‍යවසායකයෙකු ලෙස මිලියන ගණනක් උපයා ඇති අතර, පසුව වත්කම් කළමනාකරණ සමාගමක් ආරම්භ කළේ ය.
ඔහු, ජාතිවාදය සහ දේශගුණය සම්බන්ධයෙන් ආයතනික ලෝකය පෙන්වන "අවදිවීම" ලෙස හඳුන්වන දෙය ව්‍යාපාරවලට සහ රටට හානියක්බව පවසමින්, ඒ ගැන සිය පිළිකුල ප්‍රකාශ කරයි. සමාගමක සමාජයීය සහ පාරිසරික බලපෑම මනිනු ලබන ESG (පරිසර, සමාජ සහ ආයතනික පාලනය) මුලපිරීම්වලට ඔහු විශේෂයෙන් විරුද්ධ වෙයි.
ඔහු උසස් අධ්‍යාපනයේ ස්ථිර ක්‍රියාමාර්ග ද ප්‍රතික්ෂේප කරන අතර එක්සත් ජනපදය චීනය මත ආර්ථිකව යැපීම අවම කිරීම අවශ්‍යබව ප්‍රකාශ කරයි.
2022 මධ්‍ය වාර මැතිවරණයේ දී දී නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයෙන් එක්සත් ජනපද සෙනෙට් සභාවට තරග කළ සහෘද රිපබ්ලිකන් පක්ෂ සාමාජික වික්‍රම් මන්ෂරමානි වැනි ඇතැමුන්ගේ අදහස් සමග රාමස්වාමිගේ අදහස් ගැලපෙන අතර, මන්ෂරමානි පසුගියදා රාමස්වාමිගේ ප්‍රාන්තයේ සංචාරය කළ විට ඔහු හමුවිය. මන්ෂරමානි ඔහුගේ ඉන්දියානු-ඇමරිකානු සමයා "ඉතා ආකර්ෂණීය, කතාවට දක්ෂ සහ කල්පනාකාරී" තැනැත්තෙකු වශයෙන් විස්තර කරන අතර, "ඇමරිකාවට බෙදීම වෙනුවට එක්සත් කිරීම" සඳහා වන ඔවුන්ගේ අදහස් ගැලපෙනබව ද පවසයි.
"අනන්‍යතා දේශපාලනය එක්සත් ජනපදය ඇතුළේ මුල් බැහැලා තියෙනවා. ඒක එන්නේ එක්සත්වීමේ ප්‍රවණතාවකට වඩා බෙදීමේ ප්‍රවණතාවක් එක්ක. අපි ගොඩනැගෙන්න ඕනෑ අපට පොදුවේ ඇති දේවල් මත යි," ඔහු පවසන අතර, ඔහුගේ පවුලේ තැනැත්තන් ද මෑතක දී නිව් හැම්ප්ෂයර්හි නිකී හේලිට සත්කාරකත්වය ලබාදුන්බව ද සඳහන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Ramaswamy campaign
එහෙත් රාමස්වාමිගේ දේශපාලනයට එකඟ නොවන, ඔහුගේ ව්‍යාපාරයේ ගැඹුරක් නැතැ යි සිතන ඉන්දියානු-ඇමරිකානුවන්, දේශපාලන බෙදුමේ අනෙක් පැත්තේ සිටියි.
AAPI (ආසියානු ඇමරිකානුවන් සහ ශාන්තිකර දූපත්වාසීන්) වික්ටරි ෆන්ඩ්හි නිර්මාතෘ සහ සභාපති වන, ඩිමොක්‍රටික් පාක්ෂික ශේකර් නරසිංහන් පවසන්නේ, ආසියානු-ඇමරිකානුවන් දේශපාලනය තුළ වැඩි වැඩියෙන් ප්‍රමුඛත්වය ලබාගැනීම ගැන තමා සතුටුවනමුත් රාමස්වාමිගේ අදහස් ගැන තමාට විශ්වාසයක් නැති බවකි.
"ඔහු ව්‍යාපාරිකයෙක්, පෙර වැරදිත් නැහැ, නමුත් ඔහුගේ පොරොන්දු මොනවද?" නරසිංහන් අසයි. "ඔහු වයස්ගත තැනැත්තන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ගැන සැලකිල්ලක් දක්වනවද? යටිතල පහසුකම් වෙනුවෙන් වියදම් කරන්න ඔහුට තියෙන සැලසුම් මොනවද? ඔහුට නිශ්චිත ස්ථාවරයක් නැහැ වගේම ඔහු තමන්ගේ ප්‍රතිපත්ති තවමත් ප්‍රකාශ කරලා නැහැ.
නරසිංහන්, රාමස්වාමිගේ මැතිවරණ ව්‍යාපාරය "ක්වික්සොටික්" (අප්‍රායෝගික ලෙස පරමාදර්ශ්‍රී) ලෙස හඳුන්වමින්, රාමස්වාමි "ඔහුට කීමට යමක් ඇතිබවත්, ජනාධිපතිවරණයට තරග කිරීමෙන් ජනතාව ඔහුට ඇහුම්කන් දෙනු ඇතැ"යි විශ්වාස කරනබවත් යෝජනා කරයි. සහෘද ඉන්දියානු-ඇමරිකානුවා ඔහුගේ උරුමය "අදාළ නැති අයුරින් ක්‍රියා කරනවා" වෙනුවට, "ඔහුගේ උරුමය ප්‍රමාණවත් ලෙස පිළිගෙන පිළිගෙන තිබේ ද" යන්න ද නරසිංහන් ප්‍රශ්න කරයි.
වසර ගණනාවක් රිපබ්ලිකන් පක්ෂයට සහාය ලබාදුන් එම ප්‍රජාවේ බොහෝ සාමාජිකයින් පවසන්නේ රාමස්වාමි තරගයට පිවිසෙන තෙක් ඔවුන් ඔහු ගැන අසා නොතිබූ බව ය.
"මට කවදාවත් එයාව හම්බවෙලා නැහැ. එයාට සල්ලි තියෙනවා, එයා උගත් විදියට කතාබහ කරනවා කියලා මට ආරංචියි. ඒත් එයා අපේක්ෂකයින් රැසකගෙන් එක්කෙනෙක් විතර යි. එයාට ලොකු චාන්ස් එකක් නැහැ," ප්‍රසිද්ධ රිපබ්ලිකන් ආධාරකරුවෙකු හා අරමුදල් රැස්කරන්නෙකු වන වෛද්‍ය සම්පත් ශිවංගි පවසයි.
අනෙක් තැනැත්තන් ද ඔහු හා එකඟ වෙයි.
ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ සිට සියලුම රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයින් සඳහා අරමුදල් රැස්කර ඇති හෝටල්හිමියෙකු වන ඩැනී ගයික්වාද්, "එයා [රාමස්වාමි] තමන්ගෙ අපේක්ෂකත්වය කලින්ම ප්‍රකාශ නොකළා නම්, කවුරුවත්ම ඔහු ගැන දැනගන්න ඉඩක් තිබුණෙ නැහැ," යි ප්‍රකාශ කරයි.
ගයික්වාද්, ජනාධිපතිධුරයට තරග කිරීම සඳහා රාමස්වාමි තුළ ඇති ධෛර්යය අගය කළ ද, ඔහුට "ඉන්දියානු-ඇමරිකානුවන්ට වාසියක් ලබාදෙන අන්දමේ" උපායමාර්ගයක් තිබීම අතවශ්‍යබව ද පවසයි.
තවමත් ගෙවෙන්නේ ජනපතිවරණ තරගයේ මුල් දිනබව පවසන ඔහු, ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් පමණක් ප්‍රබල අපේක්ෂකයින් දෙදෙනෙකුම ඉදිරිපත් වනබව ද පෙන්වා දෙන්නේ, ජනපතිවරණ ලංසුවක් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් සහ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සඳහන් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියානු-ඇමරිකානු රිපබ්ලිකන් පාක්ෂිකයින් "ට්‍රම්ප්, ඩිසැන්ටිස් සහ හේලි අතර තුන්කොන් තරගයක්" පුරෝකථනය කරමින් සිටින අතර, විශේෂයෙන් හිටපු ජනපතිවරයා සම්බන්ධ නීතිමය සටන් තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බැවින්, වේලාසන සන්ධාන ඇතිකර ගැනීම වෙනුවට බලා සිටීමට කැමැත්තක් දක්වයි.
හේලිගේ ආක්‍රමණශීලී ප්‍රචාරක විලාසය තමා අගය කරනබවත්, ට්‍රම්ප්ට තරගයෙන් ඉවත්වීමට බල කෙරුණොත් ඇයට සහාය දෙනබවත් ශිවංගි පවසයි. "ට්‍රම්ප් මහත්මයට ශ්‍රේණිගතකිරීම්වලින් 40%ක් තිබ්බට හේලි ඉන්නේ තවමත් තනි ඉලක්කම් සංඛ්‍යාවල. නමුත් එයා අපේ අපේක්ෂිකාව. අපි එයාට සමීපවෙන්න ප්‍රධාන හේතුව තමයි එයා ඉන්දියානු-ඇමරිකානුවෙක් වීම," ඔහු පවසයි.
ඉන්දියානු-ඇමරිකානු ප්‍රජාව දේශපාලන භේද නොතකා, විශේෂයෙන්ම පසුගිය මැතිවරණ චක්‍ර තුන පුරාවට, තම දේශපාලන සහභාගීත්වයේ තියුණු වර්ධනයක් ඇතිව තිබීම ප්‍රීතිවන අතර තමන්ගෙන්ම එකෙකුගේ නැගීසිටීම ගැන ආඩම්බර වෙති.
"ලස්සන දෙයක් සිද්ධවෙමින් තියෙන්නේ: ඉන්දියානු-ඇමරිකානුවෝ ඉදිරි පෙළට එනවා," ගයික්වාද් පවසයි. නවතම උත්සාහය හේතුවෙන්, ප්‍රාදේශීය මට්ටමින් පවා මැතිවරණවලට තරග කිරීමට තවත් ඉන්දියානු-ඇමරිකානුවන් දිරිමත් වනු ඇතැ යි ද ඔහු කියා සිටියි.
දේශපාලන විරුද්ධවාදීන් පවා ඊට එකඟ වෙයි.
"රාමස්වාමි වගෙ නමක් තියෙන ඇමරිකානුවො තරග කරනවා අපේ දරුවන් දැක්කොත්, ඛන්නා කෙනෙක්ට හරි ක්‍රිෂ්ණමූර්ති කෙනෙක්ට හරි දිනන්න පුළුවන් නම්, ඒක හොඳ දෙයක්," නරසිංහන් පවසයි.












