ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ග්‍රීසියේ දුම්රිය දෙකක් ගැටී පුද්ගලයෝ 29 දෙනෙක් මිය යති
- Author, ඇලිස් ඩේවිස්
- Role, බීබීසී පුවත්
උතුරුදිග ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම ලෙස ජීවිත 29ක් අහිමිවී, තවත් දුසිම් ගණනක් මඟීන් තුවාල ලබා ඇතැ යි එරට හදිසි සේවා පවසයි.
ග්‍රීසියේ ලැරිසා නගරය ආසන්නයේ දුම්රිය අනතුර සිදුවන අවස්ථාවේ දී එක් දුම්රියක සිටි මඟීන් මුදාගැනීම සඳහා ගලවාගැනීමේ භටයින් රාත්‍රිය පුරා කටයුතු කරමින් සිටියේ ය.
මෙම දුම්රිය, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටෙද්දී එහි මඟීන් 350ක් පමණ සිටි බව පැවසෙයි.
එරට ප්රවෘත්ති වෙබ් අඩවිවල පළකර තිබූ දර්ශන වලින් පෙන්නුම් කෙරුණේ පීලි පැන තිබූ දුම්රිය මැදිරි වලින් ඝන දුමාරයක් පිටවන ආකාරය යි.
ගිනි නිවන භටයින් 150ක් පමණ දෙනා සහ ගිලන් රථ 40ක් පමණ එහි පැමිණි බව ගිනි නිවන සේවාව පැවසීය.
ග්‍රීසියේ තෙසලොනිකි හා ලැරිසා අතර ගමන් කරමින් තිබූ මඟී දුම්රිය අනතුරට ලක්වූයේ කෙසේදැ යි තවමත් අපැහැදිලි ය.
"අපට විශාල ශබ්දයක් ඇහුණා," මඟියෙකු වූ ස්ටෙර්ජියොස් මිනෙනිස් පැවසූබව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තාකර තිබුණි.
"ඒ තත්පර දහය නරක හීනයක් වගේ. කලබලෙ ඉවරවෙලා, අපි පැත්තට වැටෙනකල්ම අපි මැදිරිය ඇතුළෙ කැරකි කැරකි, පෙරළි පෙරළි හිටියේ. ඊට පස්සෙ කට්ටිය ගොඩක් කලබල වුණා. කේබල්, ගින්දර. ගින්න ඉක්මණටම ඇතිවුණා."
"අපි පෙරලෙද්දී අපිව පිච්චුනා. ගින්දර හැමතැනම... තත්පර 10ක් 15ක් යනකල් හෙණ කලබලයක් තිබ්බේ. අපිව පෙරළෙනවා, මෙහෙන් ගින්නක්, කේබල් එල්ලෙනවා, ජනෙල් බිඳෙනවා, මිනිස්සු කෑ ගහනවා, මිනිස්සු හිරවෙලා. අපිට එළියට එන්න මීටර් දෙකක් විතර උඩක ඉඳන් පනින්න වුණා. එතන පල්ලෙහා කැඩිච්ච යකඩ කෑලි එහෙමත් තිබ්බා, ඒ වුණාට අපි වෙන මොනවා කරන්න ද?"
ඇන්ජෙලොස් සියමූරස් නම් තවත් මඟියෙකු එරට මාධ්‍යයට පවසා තිබුණේ, දුම්රිය ඝට්ටනය භූ කම්පනයක් මෙන් දැනුණු වගකි.
ලැසොස් යන නම ඇති තවත් මඟියෙකු, එම අත්දැකීම "දැඩි කම්පනයක් ඇතිකරනසුළු" බව ප්රොටොතෙමා පුවත්පතට පවසා තිබුණි.
"ඒක මහ ප්‍රබල ගැටීමක්," තෙසලි කලාපයේ ප්‍රාදේශීය ආණ්ඩුකාර කොස්ටාස් ඇගොරස්ටොස් එරට රජයේ රූපවාහිනියේ ප්‍රකාශ කරන ලදුව AP පුවත් ඒජන්සිය විසින් උපුටා දක්වා තිබුණි. "ඒක මහා භයානක රැයක්... ඒ සිද්ධවෙච්ච දේ විස්තර කරන්න අමාරු යි."
"ඝට්ටනයේ බරපතලකම" නිසාවෙන් එහි තත්ත්වය ගලවාගැනීමේ සේවකයින් සඳහා "ඉතා දුෂ්කර" වූ බව ගිනි නිවන සේවාවන්හි මාධ්‍ය ප්‍රකාශක වැසිලිස් වර්තකොයියානිස් වාර්තාකරුවන්ට පැවසීය.