සුන්බුන් අතරින් ගලවාගත් අලුත උපන් බිළිඳිය මාමා සහ නැන්දා හදාවඩා ගනියි

සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට උපත ලබා සිටිය දී සොයාගනු ලැබූ බිළිඳියක් ඇගේ නැන්දා සහ මාමා විසින් හදාවඩා ගැනීමට භාරගෙන තිබේ.

වයඹදිග සිරියාවේ සිදුවූ දැවැන්ත භූ කම්පනයකින් පසු ඇය මුදාගත් අයුරු දැක්වෙන විඩියෝව අන්තර්ජාලයේ වෛරල් විය.

අලුත උපන් බිළිඳිය දරුකමට හදාවඩා ගැනීම සඳහා දහස් ගණනක් දෙනා ඉදිරිපත්ව ඇත. බිළිඳිය මුදාගන්නා මොහොතේදීත් ඇගේ පෙකණි වැල හරහා ඇගේ මියගිය මවට සම්බන්ධවී සිටියා ය.

අරාබි බසින් 'ආශ්චර්යය' යන අරුත දෙන 'අයා' නමින් බලධාරීන් ඇය මුලින් නම්කර තිබුණ ද, බිළිඳිය දැන් ඇගේ නැසීගිය මවගේ නම වූ 'අෆ්රා' නාමය දරයි.